කොට ඇඳුමක් ඇඳලා නිර්මාණයක් කළොත් මහා අපරාධයක් කරපු කෙනෙක් විදිහට හංවඩු ගහන අවස්ථා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොචනා හංසමාලි ජයකොඩි ඇගේ නම වුවත් ඇයව ඔබත් මමත් හඳුනන්නේ ”‍ලෝචි”‍ කියනා ආදරණීය නාමයෙනි.  ඇය  කළ සෑම කලා නිර්මාණයකින්ම ඔබේ ආදරයට පාත්‍ර විමට තරම් ඇය වාසනාවන්ත වුයේ ඇගේ දක්ෂතාවය නිසාම විය හැක. ”‍ටික් ටොක්”‍ නිර්මාණ  ”‍කලා නිර්මාණ”‍ කටයුතු ගැන බොහෝ දේ කතා කරන්න  ඇතත් මා අද ඇය මුණ ගැසුණේ සුරූපී ඇය කරනා වෙනස්ම  ආකාරයේ විලාසිතා ගැන අලු‍ත්ම විදිහට කතා කරන්නයි.

විලාසිතා වලට බොහොම ආස කෙනෙක් නේද ඔබ ?

අම්මෝ ඔව් .කොටින්ම කිව්වොත් අලු‍ත් ඇඳුමක්  ගත්තොත් ඒක ඇඳගෙන එළියට යනකම් මට සිහියක් නැහැ. මම හරිම ආසයි අලු‍ත්  අලු‍ත්  විලාසිතා කරන්න .කාගෙන්වත් එන කමෙන්ට් වලට මම මගේ විලාසිතා කරන එක පාලනය කරන්න ඉඩ තියලා නැහැ .මම ස්වාධීන කෙනෙක්. ඒ නිසා ස්වාධීනව  මට ගැළපෙන දේ තෝරා බේරා ගෙන විලාසිතා කිරීමේ අයිතියක් මට තියෙනවා කියන එක මම නිතර හිතනවා.

සැබෑවටම විලාසිතාවක් කියන්නේ මොකක් කියලද ඔබ දකින්නේ ?

මම හිතන්නේ අපි  ජීවිතේ අලු‍තෙන් කරන සෑම දෙයක්ම විලාසිතාවක් කියලා. ඇඳුම් පැළඳුම් විතරක් නොවේ අපි කන බොන විදිහ, අඳින විදිය හැසිරෙන විදිහ විතරක් නෙමෙයි කරන අලු‍ත් නිර්මාණයක් පවා විලාසිතාවක් විදිහටයි මම  දකින්නේ.

විලාසිතා කියන්නේ ජීවිතයට අවශ්‍යම දෙයක් කියලද ඔබ හිතන්නෙ ?

ඔව් මම හිතෙනවා විශේෂයෙන්ම මම නියැලෙන වෘත්තියෙ පැවැත්මට වගේම, ප්‍රේක්ෂක ආකර්ෂණයටත් ලස්සනට ඉන්න එකටත් ලස්සන  විලාසිතාවකින්  මහඟු‍ පිටිවහලක් ලැබෙනවා කියලා.

ඔබ කරන විලාසිතා අන් අයගේ  අනුකරණයට භාජනය වෙනවා ද?

ඔව්. බොහෝවිට ෆොටෝශුට්  එකක් කලත්,  විශේෂ අවස්ථාවකට ඇඳුමක්  ඇන්දාමත්  පමණක් නොවේ. සාමාන්‍ය ගමනකට අදින ඇඳුමක් පවා ඇඳලා  පින්තූරයක් දැම්මත් ”‍අනේ අක්කේ ඔයා ඔයා ඇඳුම  ගත්තේ කොහෙන්ද කියල නිතර අහන  අවස්ථා තියෙනවා .සමහර අය මම කරන විලාසිතා එ විදිහටම  මහලා පින්තූර එවන අවස්ථා ත්  තියෙනවා .  ලඟදි මගේ  හෙයා කට් එක වෙනස් කලහම බොහෝ තරුණ යුවතින් ලෝචිගේ හෙයාර්  කට් එක කියලා එයාලගේ දිග කොණ්ඩ පවා  මගේ විදිහට වෙනස් කරගෙන තිබුනා. ඒ හැමදේම ඇත්තටම ඔවුන් කරන්නේ මට තියෙන ආදරේට .ඒ ආදරේට මමත් ගොඩක් ආදරෙයි.

ඔබට විලාසිතාවක් තෝරා ගැනීමේදී යම් කෙනෙක් අනුගමනය කරනවා ද ?

ලෝකයේම ජනප්‍රිය ගායිකාවන් ,නිරූපිකාවන්, රංගන ශිල්පිනියන්ගේ විලාසිතා ගැන මම බොහොම කැමැත්තෙන් අවධානයෙන් හොයා බලන කෙනෙක්.  ඉන්දියානු සුරූපී නිළි ප්‍රියංකා චොප්රාගේ විලාසිතා වලට මම ගොඩක් කැමතියි .ඒ වගේම විශේෂ අවස්ථා වලට සහභාගී වීමේ දී ඒ වගේම සැරසෙන්න මම උත්සාහ කරනවා....විලාසිතා කියන්නෙම අනුකරණය මත සිද්දවෙන  දෙයක් නේ. ඒ නිසා මමත් මම ආසම චරිත අනුකරණය කරන වෙලාවල් තියෙනවා .....ඒක කියන්න ලැජ්ජ වියයුතු නැහැ . ජනප්‍රියම චරිත වගේම ජනප්‍රිය නොවන සාමාන්ය කෙනෙක් අඳින විලාසිතාවක් පවා මම බොහෝම  අගය කරන අවස්ථා තියෙනවා . මට ගැළපෙනවා නම් මම එවැනි විලාසිතා මට තෝරා ගන්න අවස්ථා ඕනතරම් තියෙනවා .අපි හැමෝම මිනිස්සු කියන මතයේ මම නං ඉන්නේ .

ඔබට වඩාත්ම ගැළපෙන ගැලපෙන විලාසිතාව කුමක් ද ?

 

මම  ආසම විලාසිතාව නම් ඉන්දියානු සම්ප්‍රදායේ විලාසිතාවලට. ඒ විදිහට සැරසුනාම හැමෝම අගය කිරීමක් කරනවා. ගැළපෙන විලාසිතා කියලා දෙයක් නම්  නැහැ..  ඔය කොයි ඇඳුමත් මගේ ඇඟට හුරුයි කියලයි මම නම් හිතන්නේ.

ඔබ කරන ඇතැම් විලාසිතා අන් අයගෙ විවේචනයන්ට ලක් වී තිබෙනවා ද ?

සමහරවිට.කොට ඇඳුමක් ඇඳලා නිර්මාණයක් කළොත් මහා අපරාධයක් කරපු කෙනෙක් විදිහට හංවඩු ගහන අවස්ථා තියෙනවා. ආයෙ දිගට ඇඳුමක් ඇඳලා නිර්මාණයක් දැම්මොත් හරි හරියට අගය කරනවා. ඒ සෑම දේම මිනිස්සු විලාසිතා කියන විෂය අපේ රටේ දකින විදිහ .ඒ කිසිම කමෙන්ට් එකක් ගැන මම ලොකුවට හිතන්නේ නැහැ..විශේෂයෙන් ම මම මාව පාලනය කරන්න කිසිවෙකුගේත් සිතිවිලිවලට ඉඩ තියලත් නැහැ.

මෑතකදී ලස්සනටම විලාසිතාවකින් සැරසුණු දවස මතක් කළොත් ?

සැප්තැම්බර් මාසයේ දී පැවැති මාගේ 28 වන උපන්දිනය වෙනුවෙන් කළ ෆොටෝශුට් එකට මම සැරසී තිබුන විදිහට මමත් ගොඩක් ආසයි. ඒ වගේම ගොඩක් ආදරණීය කමෙන්ට් ලැබුණා.

ඔබ කරන විලාසිතාවලට ගැලපීම් සිද්ධ කරන්නේ කොයි විදිහටද ?

විශේෂ අවස්ථාවකට සැරසෙන විට ඇඳුමට ගැලපෙන විදියට සපත්තු, හැන්ඞ් බැග්  ගලපන එක නම් මගේ විලාසිතාවෙම කොටසක්. ඊට අමතරව මම හිතනවා දාන මේකප් එකෙනුත්, අප කරන හෙයාර්ස් ස්ටයිල්  එකෙනුත් ලොකු වටිනාකමක් විලාසිතාවට ලැබෙනවා කියලා.

පෞද්ගලිකව ඔබ ඔබට විලාසිතාවක් කිරීමේ දී මොන වගේ  කරුණු කෙරෙහි ද  සැලකිලිමත් වෙන්නේ ?

ගැලපීම ගැන නම්  සියයට සියක් හිතන  කෙනෙක් මම. මොකද මොන තරම් වටිනා, ලස්සන ඇදුමක් උනත් ඒක මට ගැළපෙන්නේ නැත්නම් එවැනි විලාසිතා කීයටවත් මම කරන්නේ නැහැ. මුදලක් වියදම් කරලා, කාලය වැය කරන අපි විලාසිතාවක් කරන්නේ අපේ පෙනුම වැඩි කරල පෙන්නන්න. ඒ නිසා මළ ගෙදරකට ඇඳිය  යුත්තේ කෙසේද ,පන්සලකට යා යුත්තේ කෙසේද ,උත්සව අවස්ථාවකට සහභාගි විය යුත්තේ කෙසේද, වගේ ම පාන් රාත්තලක් ගන්න සාමාන්‍ය කඬේකට යා යුත්තේ කෙසේද කියන එක හොඳින් හඳුනාගෙනයි මම විලාසිතා කරන්නේ .

ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියලා ඔබ හිතනවාද ?

කොහෙත්ම බැහැ .හොඳට ලස්සනට,චාම්ව,ඇඳගෙන ඉන්න කෙනෙක් ඇතුලේ  මහා  සතෙක් ඉන්න පුළුවන්.

පච්ච කොටලා, කං විදලා, නහය විදලා, ඇඟ පොඞ්ඩක් පේන්න අදින   කෙනෙක්ගේ ලස්සන හදවතක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඇඳුමකින් කෙනෙකු මනින්න බැහැ. කොටින්ම කියනවා නම් අපිට මතුපිටින් කෙනෙකු මනින්න බැහැ. ආශ්‍රරය කරලාමයි  කෙනෙක්ගෙ  ලස්සන හදවතක්  අපිට හදුනා ගන්න පුළුවන්.

ගැලපෙන විදිහට විලාසිතාවක් කලහම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නෙ ?

ගැලපෙන විදිහට හිතේ හැටියට විලාසිතාවක් කරලා කණ්නාඩි ඉස්සරහට ගියහම මගේ හිතට මගේ ගැනම හිතෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම් .

”‍මම ගොඩක් ලස්සන කෙනෙක් ”‍

”‍මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා”‍

”‍ මට  හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්

”‍මේ යන හැම ගමනක්ම මට  ආත්ම විශ්වාසයෙන් යන්න පුළුවන්”‍ කියන හැඟීම තත්පර ගානදි හිතට දැනෙනවා.

විලාසිතා වෙනුවෙන් මුදල් වැඩිපුර වියදම් කරන කෙනෙක් ද ඔබ ?

ගණන් වැඩිම ඇඳුම්, බ්‍රෑන්ඩඩ්  ඇඳුම්ම අදින්න ඕනෙ කියන  මානසික මට්ටමක් නම් මට නැහැ. නමුත් මම සහභාගි වන තැනට උපරිමයෙන් සහභාගිවීමට මම නිතරම උත්සාහ කරනවා .මම ආසම විලාසිතා කිරිමේදි මුදල ගැන ලොකුවට  හිතන්නේ නෑ. ඉහළ මිල ගණන් යටතේ විලාසිතා වගේම පුංචි මුදලකට මට ගැළපෙන වනම් ඕනෑම  විලාසිතාවක් තෝරා ගන්න  මම දෙවරක් හිතන්නේ  නැහැ.

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය කොයි විදියට ද මතකයේ තියෙන්නේ ?

මගේ අම්මා හරිම ලස්සනට විලාසිතා කරපු කෙනෙක් .මම පුංචි කාලේ ඉඳලම ඇගේ සුන්දරත්වය දැක්කම .ඒ වගේම මමත් ලස්සනට අඳින්න උත්සාහ කරා .ඇය අඳින විදිහට ඇන්දා . ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා ,ලස්සන ඇඳුම් ඇදලා ,උස අඩි සපත්තු දාගෙන, සින්දු දාගෙන නටන අවස්ථා ඕන තරම් මතකයේ තියෙනවා.ඉස්සර මටයි, මගේ නංගිලා දෙන්නටයි අවුරුද්දට අම්මා ඇඳුම් මහන්නේ එක්කම රෙද්දෙන්. එකම විදිහට. ඒවත් හරිම ආදරණීය මතක . ඉස්සර කවුරු හරි ඇවිත් මගෙන් ඇහුවෙත් ලොකු වෙලා කවුද වෙන්නේ කියලා මම කියන්නෙම ”‍නිළියක්”‍ වෙනවා කියලා ...(අද ඒ හීනේ සැබෑ වෙලා)

අසුන්තා එදිරිසූරිය