කටාර්වල ඉන්න කොට මට සංගීතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා
මෙවර අපේ කතා බහට එකතු වෙන්නේ තවත් තරුණ සංගීතවේදියෙකු වන දිලිප ලියනගේ. කාලයක් තිස්සේ කටාර් හි රැකියාවක නිරත වී සිටි ඔහු මේ වනවිට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. දැනට ගී නිර්මාණ පණහකට අධික ප්‍රමාණයක් සඳහා සංගීත නිර්මාණය කර ඇති දිලිප නුදුරේම නව නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට සූදානමින්ද සිටියි.
පාසල් කාලය මතකද ඔබගේ?
ඔව්, මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයෙන්. මම ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. ඒ හින්දා මට අවස්ථාව ලැබෙනවා හත්වැනි වසරේ අධ්‍යාපනය ලබන කාලේම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට යන්න. එහිදි තමයි මම සංගීතය පිළිබඳව ඉගෙන ගන්නේ. මගේ අම්මාත් සංගීත විශාරදවරියක්. ඒ ආභාෂය මට පිහිටලා තිබුණ නිසාම මම පාසල් කාලේම සංගීතය පැත්තට නැඹුරු වුණා කිව්වොත් හරි.
මුලින්ම කරපු නිර්මාණය?
10 වැනි වසරේ අධ්‍යාපනය ලබන කොට මගේ යාළුවෙක් ලියපු නවකතාවකට කරපු ගීතයකට මම සංගීතය නිර්මාණය කළා. ඒක ඩිජිටල් විදිහට තමයි මම හැදුවේ. ඒක තමයි මම කරපු පළමු වැඩේ. ඒ වැඩෙන් පස්සේ මම ගීත ගායනයටත් යොමු වුණා. මගේම ගීතවලට මම සංගීතය නිර්මාණය කළා. ඔය විදිහට තමයි සංගීතඥයෙක් විදිහට මගේ ගමන ආරම්භ කළේ. පස්සේ මම අ.පො.ස උසස් පෙළ විභාගයටත් විෂයක් විදිහට සංගීතය කළා. විශ්වවිද්‍යාලයට තේරුණත් මම ඒක අත්හැරලා කටාර්වලට ගියා මම.
ඔබ කාලයක් විදෙස් ගත වෙලා හිටියා?
රැකියාවක් කරන අතරේ මම මගේ සංගීත වැඩකටයුතු කරගෙන ගියා. අවුරුදු ගාණනක් කටාර්වල හිටියත් ඒක මගේ සංගීත වැඩවලට බාධාවක් වුණේ නැහැ. එහිදි මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර මට්ටමේ සංගීත ශිල්පින් එක්ක පවා වැඩ කරන්න. දකුණු අප්‍රිකානු ජාතික බර්නින් සෙරෙස්කා කියන්නේ මම වැඩ කරපු ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවක්. ඇයගේ ගීත කිහිපයක්ම අඩංගු ගීත ඇල්බමයක් මම සම්පුර්ණයෙන්ම සංගීතය නිර්මාණය කරලා දුන්නා. කටාර්වල ඉන්න කොට මම කෙටි චිත්‍රපට කිහිපයකුත් කළා. ඒවාට හොඳ පිළිගැනීමකුත් එහිදි ලැබුණා. තව මමයි මගේ මිතුරෙක් වුණ ඇන්ජලෝ එක්ක එකතු වෙලා ජාතික 26ක් සමග ඒ රටේ තේමා ගීතයක් කළා. ඒ හරහා බොහෝ දෙනෙකු මාව අඳුනගත්තා. ලෝ ප්‍රකට අල්ජසිරා රූපවාහිනි නාළිකාවල පවා මේ ගීතය වෙනුවෙන් අපිට සම්මුඛ සාකච්ඡාවලට පවා ආරාධනා කළා.
විදෙස් රටක වසර ගාණක් සිටිම පාඩුවක් කියලා හිතුණේ නැද්ද?
එහෙමත් හිතුණා. නමුත්, මම කටාර්වල රැකියාවක් කරන අතරේම සංගීත කටයුතුවල නිරත වෙලා හිටිය නිසා මට ඒක ලොකුවට දැනුණේ නැහැ. ඒ වගේම තමයි මට එහිදි අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර සංගීතය ගැන අත්දැකිම් ගොඩක් ලබාගන්න. ලංකාවේ සංගීතයයි ජාත්‍යන්තර සංගීතයයි කියන්නේ වෙනස්ම පැතිකඩවල් දෙකක්. ගිය අවුරුද්දේ මම ලංකාවට ආවා. දැන් මගේ ඉලක්කය කටාර්වලදි ඉගෙන ගත්ත දේවල් එක්ක මගේම කියලා අනන්‍යතාවයකින් ලංකාවේ අයත් එක්ක වැඩ කරන්න.
මොනවද ඉදිරි වැඩ කටයුතු ඔබගේ?
දැනට මම හිතාගෙන ඉන්නේ මගේම කියලා ගීත ඇල්බමයක් නිකුත් කරන්න. මම ගීත ගායනා කරලා හරි නැත්නම් වෙනත් ගායකයොන්ට ඒ අවස්ථාව දීලා මම සංගීතය නිර්මාණය කරලා හරි මේ ඇල්බමය එළිදක්වන්න. දැනට මම දුමාල් වර්ණකුල හා බාචි සුසන් වැනි ලංකාවේ තරුණ පිරිස් අතර ජනප්‍රිය ගායන ශිල්පින් සමග වැඩ කරලා තියෙනවා. නුදුරේම ඒ නිර්මාණ එළිදක්වන්න සුදානම් කරලා තියෙනවා. ඒ වගේම මම ගොඩක් ආසාවෙන් ඉන්නවා දේශිය සංගීතය එක්ක ජාත්‍යන්තර සංගීතය මුසු කරලා අලුත් විදිහට මගේම කියලා සංගීත නිර්මාණ කරන්නත්.
දිලිප තනිවම මේ ගමන ආවේ නැහැ..
ඔව්, ගොඩක් අය මට උදව් කළා. විශේෂයෙන්ම මගේ පවුලේ අය. අම්මාව ආදරයෙන් මතක් කරන්න ඕනා. මාව කටාර්වල ගත්තු ඇන්ජලෝ. කටාර්වලදී මට ගොඩක් උදව් කරපු රොකී. අන්සාෆ් අමිර්, ශනාස්, සෆ්රාස්, රූබි පාසලේ සංගිතය උගන්වපු නයනා, රංජනි ගුරුතුමියන්. ඒ වගේම මගේ ආදරණිය බිරිඳ මනේකා මතක් කරන්න ඕනා. ඇය තමයි හැමවෙලාවෙම මාව දිරිමත් කරන්නේ.
බුද්ධික සේනාධීර