කකුලත් තුවාල කරගෙන අමාරුවෙන් සින්දු කියලා වේදිකාවෙන් බැහැලා ගියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කණ්ඩායම් සංගීතය හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ජූඩ් රොගැන්ස් දේශිය ප්‍රසංග කලාව තුළ වෙනසක් ඇති කරන්නට පූරෝගාමි වූ තරුණ ගායකයෙකි. කාලයෙන් කාලයට බිහිවෙන තරු ගායකයින් සමග නිරන්තරයෙන්ම තම අනන්‍යතාවය තහවුරු කරන්නට සමත් වූ ඔහු අදටද ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ජනප්‍රිය ගායකයෙකි.

ඔබ ගායකයෙක් නොවුණා නම් මොන වගේ වෘත්තියක් තෝර ගනියිද?

ගායකයෙක් වෙන්න කලින් මම බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ පියතුමෙක් වෙන්න ඉගෙන ගනිමින් හිටියා. ඒ 1996 වසරේ. ගායකයෙක් වෙන අදහසක් ඇත්තටම මගේ හිතේ තිබුණේ නැහැ. නමුත්, මගේ දෛවය මාව නොහිතපු වෙලාවක වෙනස් කළා සංගීතය පැත්තට යොමු වෙන්න.

ඔබ ගායකයෙක් වෙන්න කලින් ඩ්‍රම්ස් වාදකයෙක්?

ඔව්, ආසාවට මම ඩ්‍රම්ස් වාදනය කළා. හැබැයි මම වාදකයෙක් වෙන්න හිතාගෙන නෙමෙයි එකත් කළේ. දන්නේ නැද්ද කොල්ලා කාලේ ඉතින් විවිධ දේවල්වලට ආසයි නේ. මාත් ඩ්‍රම්ස් වාදනය කලා ආසාවට. නමුත්, ඩ්‍රම්ස් වාදන ශිල්පියෙකු විදිහට කටයුතු කරමින් ඉන්න කොට හෙදිසියේම වගේ මාව රිය අනතුරකට ලක්වුණා. ඒ අනතුරින් මගේ වම් අත දෙකට මැදින් කැඩුනා. එතැනින් පස්සේ ඩ්‍රම්ස් ගහන හීනෙත් එහෙම්මම මගේ අවසන් වුණා.

එතකොට ඔබ ගායකයෙක් වෙන්න පාර හැදුණේ?

මම අර කලින් කිව්වා වගේ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ ඉදිද්දි මට මුණ ගැහෙනවා අල්මේදා කියලා කෙනෙක්. ඔහුත් මම වගේම පියෙතුමෙක් වෙන්න ඉගෙන ගන්න ආපු කෙනෙක්. ඔහු මට හඬ පුහුණුව ලබා දෙනවා කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඔහු තමයි මාව ගායකයෙක් කරන්න මුල් අඩිතාලම දැම්මේ.

ඔබගේම ගීතයක් කළේ කවද්ද එතකොට?

1997 වසරේ ඔබ මගේ කියා.. ඒක ලියලා සංගීතවත් කළෙත් මම. මට මතක හැටියට මම මුලින්ම ඔය ගීතය පටිගත කළේ ඒ කාලේ තිබුණ TDK කැසට් පටයකට. තාමත් ඒ ගීතය පටිගත කරපු වෝක්මන් එක මා ගාව තියෙනවා. ඉතින් ඒ කාලේ ඔය දැන් වගේ ෆේස්බුක්, යූ ටියුබ් කියලා දෙයක් තිබුණේ නැහැ. අනික ස්මාට් පෝන් ගැන අපි දන්නෙත් නැ. තිබුණේ අර අංක ඔබන්න පුළුවන් පොඩි පෝන් විතරයි. කොහොම හරි ඔය පටිගත කරපු ගීතය මම මගේ යාළුවන්ට අහන්න දුන්නා.

ඔබගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂය විදිහට ඔබ දකින්නේ?

2010 වසරේ මම නිකුත් කළ යාන්තමින් ඇස් විහිදලා.. ගීතය හා හොරෙන් බලා.. කියන ගීත දෙක. ඒ ගීත දෙක තමයි මාව මිනිස්සු අතර ජනප්‍රිය කළේ. ඊට පස්සේ එක දිගට මගේ ගීත ජනප්‍රිය වෙන්න ගත්තා. අම්මා.. හිමාලයට වඩා උසයි.. කියන ගීතත් ඒ අතර තිබුණා. ගායකයෙක් විදිහට ඒ තමා මම හිතන විදිහට මගේ හොඳම කාලය.

ප්‍රසංග වේදිකාවේදී ගීත ගයන කොට අමතක නොවන සිදුවිම් එහෙම වෙලා තියෙනවද?

කිහිපයක් තියෙනවා. කොළඹ ආසන්නයේ පැවති ප්‍රසංගයකදී වුණා නියම වැඩක්. මට මතක හැටියට ඒ 2008 වසරේ. ගීත ගායනා කර කර ඉන්න කොට වේදිකාවේ තිබුණ ලීයක් එකපාරටම කඩාගෙන වැටුණා. ඒ එක්කම මගේ කකුල හිරවුණා ඒ කඩාගෙන වැටුණ කොටසේ. මම කකුලත් හිර කරගෙනම ගීතය ඉවර වෙනකම්ම එහෙම්ම වාඩිවෙලා ගායනා කළා කාටත් නොදැනෙන්න. සංගීත කණ්ඩායමේ හිටිය අයටත් තේරුණා මම මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා කියලා. පස්සේ ගීතය ගායනා කරලා අවසන් වෙන කොටම ඒ අය ඇවිල්ලා මාව උස්සලා ගත්තා. කකුලත් ටිකක් හිරිලා හැබැයි ඒ බව පෙන්වන්නේ නැතිව මම තව ගීත කිහිපයකුත් කියලා අමාරුවෙන් වේදිකාවෙන් බැහැලා ආවා.

බුද්ධික සේනාධීර