ඔයා නේද ‘චන්දෝලි’ එකේ ශාරද පොඩි හාමුදුරුවන්ට ඉන්නෙ කියලා අහනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයට අලුතින්ම එකතු වුණු නිර්මාණ අතරින් ‘චන්දෝලි’ කියන්නෙ මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබමින් ඉදිරියෙන්ම තිබෙන ටෙලි නිර්මාණයක්. තුෂාරි අබේසේකරගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් පුංචි තිරයට එකතු වන මෙම නිර්මාණය අතීත සිදුවීම් රැසක් පාදක කර ගනිමින් නිර්මාණය වූවක්. මේ නිර්මාණය හරහා කලා ක්ෂේත්‍රයට එකතු වුණු නවක රංගන ශිල්පීන් අතරින් වැඩි ප්‍රේක්ෂක අවධානයකට සහ ආදරයකට ලක්වුණු චරිතයක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඒ මෙම නිර්මාණයට දායක වන ඉංග්‍රීසි කතා කරන සාමනේර හාමුදුරුවන්ගේ චරිතයට දායක වන ළමා රංගන ශිල්පී නෙළුජ නවද් වික්‍රමපතිරණ සමඟින්.

නෙළුප් කොහොමද සාමනේර හාමුදුරුවන්ට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඒ ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මාව දැක්කම දැන් ගොඩක් දෙනෙක් අඳුන ගන්නවා. ඔයා නේද ‘චන්දෝලි’ එකේ ශාරද පොඩි හාමුදුරුවන්ට ඉන්නෙ කියලා අහනවා. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් තියෙනවා.

කොහොමද නෙළුප්ට මේ චරිතය ලැබෙන්නෙ?

මේ චරිතය මට ලැබුණෙ මේ වෙනුවෙන් තිබුණු තිර පරික්ෂණයකට සම්බන්ධවීමෙන් පසුව. ඇත්තටම මේ චරිතය ටිකක් වෙනස් චරිත රංගනයක්. ඉංග්‍රීසි කතා කරන සිංහල සාමනේර හාමුදුරු නමක්. ඉතින් මේ චරිතයන්ට තෝරා ගද්දි ලොකු පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. මුලින්ම මම බය වුණා සම්බන්ධ වෙලා හිටපු පිරිස වැඩි නිසා. නමුත් මාව මේ වෙනුවෙන් තෝරා ගත්තට පස්සෙ ඒ බය නැති වුණා.  මට පුදුම හිතුණා මට මේ චරිතය ලැබීම සම්බන්ධයෙන්.

මීට පෙර රංගනය පිළිබඳ අත්දැකීම් තිබිලා තියෙනවද?

පාසලේදී පන්තිය තුළ නම් පොඩි පොඩි රංගනයන් කරලා තියෙනවා. ලොකු අත්දැකීමක් නම් තිබිලා නැහැ. නමුත් මම පාසලේදී සෞන්දර්ය විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව තමයි හදාරන්නේ.

රංගනය ගැන අත්දැකීමකුත් නැතිව කරන මුල්ම රංගනය නිසා ලොකු අභියෝගයක් වෙන්න ඇති?

ඔව්, ඇත්තටම ලොකු අභියෝගයක්. නමුත් මම එයට සාර්ථකව මුහුණ දුන්නා කියලා හිතනවා ලැබෙන ප්‍රතිචාරවලින්. කොහොමත් මට ඕනැම දේකට බය නැතිව ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. පාසලේදී වුණත් ඒ විශ්වාසය  ඇතිව මම වැඩ කරන්නෙ. ඉතින් මේ චරිතය මට අභියෝගයක් වගේම ලොකු අත්දැකීමක්  වුණා. ඒ මගේ මුල්ම රංගනය නිසා.

ඒ වගේම මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ඒ ලබා ගත්තු දේවල් සහ විශේෂයෙන් මෙහි අධ්‍යක්ෂතුමිය තුෂාරි අබේසේකර මහත්මියගෙන් ඒ ලැබුණු සහයෝගය මට ජීවිතේටම ලොකු අත්දැකීමක්. ඒ හැම දෙනාගෙන්ම ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඉතින් හරි සතුටුයි මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්නට ලැබීම ගැනම.

නෙළුප්ගෙ පළමු අත්දැකීම ටිකක් වෙනස්නෙ ඉතින් සාමනේර නමක් වෙලා සිවුර ඇඟට දාගත්තම මොකද හිතුණෙ?

ඒක ඇත්තටම වෙනම හැඟීමක්. මොකද ඒ හැඟීම කවරදාකවත් විඳලා නැහැනෙ. මුලදි ටිකක් නුහුරුයි වගේත් තිබුණා. ඒත් සිවුර මුලින්ම ඇඟට දාද්දි පොඩි ආසාවකුත් ආවා. ඒ සිවුර දාගෙන පළවෙනි වතාවට  කැමරාව ඉදිරියට යද්දි. ඒ වගේම මම සිවුරක් දාගෙන රඟපානවා  ටීවී එකේ දකිද්දි මේ මමමද කියලත් හිතුණා.

මම ගෙදරට වෙලා සාමාන්‍ය විදියට පාසල් ගිහින් හිටපු ළමයෙක්නෙ. ඉතින් හිතුවෙවත් නැති විදියට ඉතාම කෙටි කාලෙකින් ජීවිතේ ලොකු වෙනසක් සිදුවුණා  වගේ හැඟීමක් තමයි දැනුණෙ ඒ රංගනයත් එක්ක.

ඇත්තටම මහණ වෙන්න එහෙම හිතුණෙ නෑනෙ නේද?

එහෙම නම් නැහැ. නමුත් සිවුර ඇඟට දාගෙන ඉද්දි නම් පහන් හැඟීමක් දැනෙනවා.

මේ රංගනය තුළ නෙළුජට දෙබස් කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ දක්ෂතාවය ගැනත් කියමු?

මම ඉගෙන ගන්නෙ කොළඹ තර්ස්ටන් විදුහලේ. පාසල තුළ මම ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා මට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමත් මම ඉංග්‍රීසි භාෂාවට ගොඩක් කැමතියි. මම පොඩි කාලෙදි මුලින්ම ඉංග්‍රීසි පන්තියකට ගියාට පස්සෙ තමයි ඒ ආසාව ගොඩක් දැනුණෙ. ඉංග්‍රීසි භාෂාවට සහ එහි කතා විලාශයට ආසාවක් හිතුණ නිසා තමයි වැඩිපුර හදාරන්න හිතුවෙත්. දැන්  නම් කිසි ප්‍රශ්නයක් නැතිව ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න පුළුවන්.

නෙළුප් දිගටම රංගනයට සම්බන්ධ වෙන්නද කැමැත්ත?

ඔව්, මම කැමතියි දිගටම රංගනයට සම්බන්ධ වෙන්න. තවත් ඉදිරියේදී නිර්මාණ ලැබුණොත් කැමතියි ඒ වෙනුවෙන් දායක වෙන්න. ඒත් එක්කම අධ්‍යාපන කටයුතුත් කර ගන්න ඕනෑ. මූලිකවම අධ්‍යාපනය පැත්තෙන් මගේ තියෙන එකම බලාපොරොත්තුව මෘදුකාංග  ඉංජිනේරුවෙක් වීම තමයි.

නෙළුප්ට ගෙදර කව්ද ඉන්නේ?

අම්මයි, තාත්තයි, අයියයි, මමයි තමයි ගෙදර ඉන්නේ.

ගෙදර අයගෙන් කොයි වගේ සහයක්ද ලැබෙන්නෙ නෙළුප්ගෙ අරමුණුවලට යන්න.

අම්මගෙන් තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා නර්තන ගුරුවරියක්. අම්මා කලාවට ටිකක් නැඹුරුයි.

මට රංගන කටයුතුවලට මේ ටිකේ ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.

තාත්තාත් ඒ වගේම තමයි. අම්මගේ තාත්තාගේ ශක්තිය වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මගේ පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුදිත වික්‍රමසිංහ සර් ඇතුළු මගේ පන්තිභාර ගුරුතුමිය චන්දි සෙනරත්, ඒ දෙදෙනාගේ අවසරය ආශිර්වාදය  එක්ක තමයි මම රංගනයට සම්බන්ධ වුණේ. මාව ගොඩක් දිරිමත් කළා මේ වෙනුවෙන්. පාසලෙන් කිසිදු බලපෑමක් තිබුණෙ නැහැ. මේ වෙනුවෙන් සම්බන්ධ වෙනවට ඒ හැම දෙනාගෙම සුබපැතුම් ආශිර්වාද  එක්ක මගේ ආදරණීය යාළුවන්ගේ ප්‍රතිචාරත් මගේ ගමනට ලොකු ශක්තියක් වෙලා තියෙනවා මේ වෙද්දි.

ධනු විජේරත්න