ඒ නිසා යහපත් දේ වැරදියි කියලා මම හිතන්නෙ නැහැ
“රන්වල බළකායේ අපි රට වටේ තියෙන විවිධ ආයතන, මාධ්‍ය ඔස්සේත් විදෙස්ගතවත් තමයි වැඩි වශයෙන් අවුරුද්ද සමරන්නේ. ඇත්තටම මම පුංචි කාලේ ඉඳන්ම අලුත් අවුරුද්ද සැමරුවේ ගෙදරින් පිටම තමයි. නමුත් මෙවර නම් ගෙදර ඉඳලාම අවුරුදු සමරන්න සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නවා. ඒ, මගේ ආදරණීය බිරිඳ, පුතා සහ පවුලේ අය සමගින්.”
මේ විදිහට අවුරුදු සැමරීම සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කළේ,
“මේ අවුරුදු කාලේ
හිනා වෙයන් රාලේ
තෙල් ඉහිරුණු
කැවුම් ගෙඩිය වාගේ...”
කියලා කියන ප්‍රවීණ කලාකරු සහන් රන්වල.
වර්තමානයේ ඔබ අලුත් අවුරුද්ද එක්ක බැඳිලා ඉන්නේ කොහොම ද කියන දේ මුලින්ම කතා කරමු ද?
“වර්තමානය වෙද්දී අලුත් අවුරුද්ද කියන මාතෘකාව මිනිසුන්ට දැනෙන දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒ දේ මේ දශක දෙක තුනක පමණ සිට දකින්න තියෙනවා. එහිදී පවුල් පිටින් ඒ සාම්ප්‍රදායික දේවල් ඒ ආකාරයටම සිදු නොකළත් තමන්ට හැකි පමණින් මිනිස්සු අවුරුදු සමරනවා.
පෞද්ගලිකව මම ගැන කතා කළොත්, සමහර අවුරුදු තියෙනවා මම කිසිම වැඩක් භාර නොගෙන අලුත් අවුරුදු නැකැත් පවුලේ අයත් එක්ක එක්ව සමරපු. නැත්නම් වඩුවාගේ ගෙදර පුටුව නැහැ වගේනේ වෙන්නේ. ඉතින් මට හිතුණා බිරිඳ, පුතා සහ පවුලේ අය එක්ක අවුරුදු සමරන්න ඕනෑ කියලා.
එතකොට මම භාර ගන්නේ පටිගත කිරීම් සිදු වෙන වැඩසටහන් විතරයි. සමහර වෙලාවට විදෙස් රටවල අවුරුදු සමරන්න වුණු අවස්ථාත් තිබුණා එහි සිටින ශ්‍රී ලාංකිකයන් එක්ක.
සාමාන්‍යයෙන් අපිට මාර්තු මාසේ මැද සිට මැයි මාසේ මැද වනතුරු වගේ විවිධ විදිහේ අලුත් අවුරුදු වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ සියලුම වැඩසටහන් එකිනෙකට වෙනස්. ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා වැඩ කළත් ඒ වැඩසටහන් පවා නාළිකාවෙන් නාළිකාවට වෙනස්. ඒ වැඩසටහන් ඒ අවශ්‍ය ස්වභාවය අනුව අපි කණ්ඩායමක් එක්ක එකතු වෙලා කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ අපේ ‘රන්වල බළකාය’ මේ කණ්ඩායමේ පිරිස දැන් අවුරුදු ගණනාවක සිටම මේ අවුරුදු සැමරීම පොදු දෙයක් බවට පත් කරගෙන තියෙනවා.”
ඔබේ ළමා කාලයේත් අවුරුදු සැමරීම සිදු වුණේ ගෙදරින් පිට ද?
“ඔව්. මට මතක කාලෙක පටන්ම අවුරුදු සැමරුවේ ගෙදරින් පිටත. එතකොට තාත්තාගේ කණ්ඩායමේ හිටපු පිරිස එක්ක රට වටේ ගියා. ඒ කාලේ ගීත නිර්මාණයන් හැදුණා, ඒවාගේ පටිගත කිරීම් සිදු වුණා. අපිට දැන් කණ්ඩායමක් එක්ක කරන්න නිරන්තරයෙන් වැඩ තිබුණට ඒ කාලේ එහෙම නැහැ. කණ්ඩායමේ පිරිස වැඩිපුර මුණගැහෙන්නේ අවුරුදු කාලෙට. ඉතින් අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා අපේ යාළු මිත්‍රයන් ටික මුණගැහෙන්න. ඒ කාලේ ඉතින් අපි රට වටේම ගියා අවුරුදු කාලෙට. ඉතින් හරිම සුන්දරයි. දැන් වගේ ලොකු වගකීමක් ඒ කාලේ තිබුණෙත් නැහැනේ.”
දැන් තියෙන වගකීම් එක්ක බිරිඳ සහ පුතා එක්ක අවුරුදු සමරන්න, ඇඳුම් ගන්න යන්න වගේ දේවල්වලට ඉඩක් වෙන් කරන්න කියාවක් තියෙනවා ද?
“ඇත්තම කියනවා නම් ඇඳුම් ගන්න වගේ දේවල්වලට මාව පොඩ්ඩක් ගෙනියන්න අමාරුයි. ඒ නිසා මගේ බිරිඳම තමයි ඒවා හොයලා බලලා සූදානම් කරන්නේ.
සමහර අවස්ථාවලදී මම ඇයගෙන් ඇඳුම් සම්බන්ධ කාරණාවලදී බැනුම් අහලාත් තියෙනවා. මොකද ඇය ලස්සන ඇඳුමක් තෝරලා මට ඒකෙ ඡායාරූපයක් එව්වම හොඳයි ද කියලා එහෙම අහලා, මම කියන්නේ ඒක හොඳයි නම් අපේ කණ්ඩායමටත් හොඳයි මේ වගේ ඇඳුමක් නම් එහෙම කියලා. ඉතින් ඒ සමහර වෙලාවට ඇය කෑගහනවා ඔයාට ඇඳුමක් හදාගන්නේ නැද්ද කියලා. ඉතින් ඒ කාලෙට කොහොමත් මගේ ඔළුවේ වැඩ කරන්නේ කණ්ඩායම ගැනම තමයි.
මම කොහොමත් ඇඳුම් ගන්න ෂොපින් කරන්න කම්මැලියි. පිටරටවල සංචාරවලට ගියත් ඕනෑම කෙනෙක් ආසම කරන දෙයක්නේ ඒ. නමුත් මම කැමැති රටකට ගියත් ඒ රටේ සුන්දරත්වය විඳින්න. ලංකාව තුළත් එහෙමයි. කඩවල් තුළ රසවිඳින්න දෙයක් නැහැ මට. අවශ්‍ය වෙන්නෙම ඇවිදින්න තමයි. ඒ ගැන ඉතින් බිරිඳත් දන්න නිසාම මට ඒ සම්බන්ධව වැඩි වශයෙන් කරදර කරන්නෙත් නැහැ. ඇයම දැන් මට ගැළපෙන ඇඳුම් තෝරලා දෙනවා.
ඇඳුම් සම්බන්ධව එහෙම වුණාට සාමාන්‍යයෙන් මට ගෙදර අවුරුදු සමරන්න ලැබුණොත් ඒ චාරිත්‍ර හැමදේම කරනවා. ඒ, බිරිඳ, පුතා සහ මගේ ඥාතීන් එක්ක. මගෙත් බිරිඳගෙත් අම්මලා දෙන්නා ඉන්නේ අපේ ගෙදර. ඒ වගේම මගේ අයියා ඉන්නෙත්, බිරිඳගේ ඥාතීන් ඉන්නෙත් ළඟ පාතම තමයි. ඉතින් ඒ සියලු දෙනා එක්ක සිරිත් හැමදේම කරනවා.
ඒ වගේම අපේ පුංචි දරුවෝ වෙනුවෙන් අවුරුදු උත්සව, අවුරුදු සෙල්ලම් හැමදේම සිදු වෙනවා. කැවිලි පෙවිලි වුණත් හදනවා ගෙදර. මොකද ඒ දවසට අපේ ගෙදරට ලොකු පිරිසක් යන එන නිසා.”
අවුරුදු සෙල්ලම්, කැවිලි පෙවිලි ගැන කතා කළ නිසාම සහන්ගේ පුංචි කාලේ ඒ දේවල් සිදු වීම සම්බන්ධයෙන් තියෙන මතක කොහොම ද?
“මගේ පුංචිම කාලේ අවුරුදු සම්බන්ධව තියෙන සුන්දරම මතකයන් තමයි අම්මගේ ගමේදී අවුරුදු සැමරීම සම්බන්ධ මතක. අපේ අම්මගේ ගම මඩකුඹුර. මඩකුඹුර කියන්නේ කොත්මලේ තියෙන ලස්සන ගමක්. පුංචි කාලේ අපි එහෙ යනවා. ඒ යන්නෙත් බෑග් උස්සගෙන එහෙමනේ. මොකද ඒ කාලේ වාහන එහෙමත් නැහැනේ දැන් වගේ. ඉතින් අපි හරිම ආසයි ඒ ගමේ සුන්දරත්වය විඳින්න, සෙල්ලම් කරන්න, රස කැවිලි කන්න, තවත් ගොඩක් තියෙනවනේ සුන්දර දේවල්.
ඒ ගමට ඉර පායද්දිත් උදේ 8.00ට වගේ වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ ලොකු කන්දක් තියෙනවා. ඒ කන්දට එහා පැත්තෙන් තමයි ඉර පායාගෙන එන්නේ. කූඩැල්ලෝ ඉන්න හරිම සීතල ගමක්. ඒ අවුරුදු කාලෙට එහෙ ගියාම රාත්‍රී කාලයේදී ගිනි මැල ගහගෙන අපි සින්දු කියනවා, සෙල්ලම් කරනවා. ඒ වගේම කන්නෙ බොන්නෙත් ගමේ විදිහට. හරිම රස කෑම තමයි ලැබෙන්නෙත්. ඉතින් ඒ ගමේ හැමෝම වගේ අපිව හඳුනනවා. ඉතින් අයියායි මමයි නාට්‍ය එහෙමත් රඟපානවා. ඒවාට ඒ කාලේ සල්ලි එහෙමත් ලැබෙනවා. ඒ කාලේ ඉතින් හම්බ කරලාත් තියෙනවා. ඒ කාලේ ඉතින් අවුරුද්ද එනකම් බලන් ඉන්නෙම ගමේ යන්න තමයි.
අද ඉතින් ඇත්තටම ඒ පැතිවල යැවෙන්නේ නැති තරම්. ඒක එක පැත්තකින් බැලුවාම ලොකු අවාසනාවක්. අද ගොඩක් වෙලාවට ඒ ගම්වලට යැවෙන්නේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් වගේ වුණාම විතරයි. ඒ කාලේ හිටපු වැඩිහිටියොත් ගොඩක් දෙනෙක් දැන් නැහැනේ. තියෙන්නේ ඉතින් එදා ඒ මතකය විතරයි. එදා ඒ ගමත් අද ඒ විදිහටම නැහැ.
නමුත් ඒ පරිසරය, ඒ ලෙන්ගතුකම් නම් ඒ විදිහම තමයි. ඒ මතකයන් නම් හරි සොඳුරුයි. ඒ සොඳුරු බව විඳින්න ගමේ යන්න නොහැකි වීම ඇත්තටම දුකයි. අපේ කාර්ය බහුලත්වයත් ඒ දේට ගොඩක් බලපාලා තියෙනවා.”