ඒයි කොල්ලෝ උඹේ කකුල්වලට ’’ස්ප්‍රීන්’’ හයි කරලද? - සර් ජෝන්ගෙන් ප්‍රෙඩීට ප්‍රශ්නයක්
දන්න මිනිසුන්ගේ නොදනා කතා රැගෙන එන අපේ සති අන්ත යාත්‍රාවට අද ඔබ ගොඩ වෙන්නේ අපූරු ශ්‍රී ලාංකිකයෙක් සමඟ ගමනක් යන්න. ඇත්තට මේ චාරිකාව ඔබ යනවා නම් තරණය කරන්න වෙන්නේ ඉන්දියන් සාගරය නම් නෙවෙයි, සිනහා සාගරය. එහෙනම් කවුද මේ අමුත්තා. අපිට ඔහුව මෙන්න මෙහෙම හඳුන්වා දෙන්න පුළුවන්. මෙන්න පිළිගන්න සිංහල සිනමාවේ විකට රජු ප්‍රෙඩී සිල්වා.
සිංහල සිනමාවේ මහා රංගධරයෙක් වුණු ප්‍රෙඩී සිල්වා අද අපි අතර නෑ. නමුත් තවමත් පුංචි තිරයෙන් රිදී තිරයේ මතක අරගෙන ඉඳහිට ඔහු අපේ ආලින්දයට ගොඩ වෙනවා. අපි කතා කරන්නේ ප්‍රෙඩී සිල්වාගේ සිනමාවෙන් එපිට ජීවිතය ගැන. අපි හොයා යන අපූරු රසකතා අපිට හම්බවෙන්නේ එතකොට. ඇත්තට වර්තමාන පරම්පරාව නම් ප්‍රෙඩී සිල්වා හඳුනා ගන්නේ ප්‍රහසන රංගවේදියෙක් විදිහට විතරයි. නමුත් රංගනයන් එපිට ජීවිතේ අපූරු කතා තියෙනවා ඔහු ගැන.
ඉතින් අපිට ඔහු ගැන කනින් කොනින් ඇහුණු කතාන්දර, වටින් පිටින් හොයලා බලපු තොරතුරු, වගේම පත පොතේ ලියවුණු විස්තරත් එකතු පහදු කරගෙන තමා අලුත් පරපුරේ රසකාමී මිත්‍රවරුන් වෙනුවෙන් මේ සටහන ලියලා තියෙන්නෙ. ගැඹුරක් පතුලක් හොයලා අමනාප වෙන්න කාරි නෑ. එහෙනම් අපින් පටන් ගමු ප්‍රෙඩී සිල්වා ගමේ හිටපු කාලේ කතාවක්.
මොරටුව පළාතේ හල්පේ ලියනගේ මොරිස් ජෝශප් සිල්වාට හොඳ මිත්‍රයෝ දෙන්නෙක් ඉඳලා තියනවා. වරදවා ගන්න එපා ප්‍රෙඩීගේ මුල් නම. කොහොම හරි මේ යාළුවෝ අතරින් එකෙනෙක් තමා රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා කියන්නේ. එහෙම කිව්වත් ඔයාලා දන්නේ නෑ. ඒත් හැමෝම දන්නවා සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් තබපු රෝයි ද සිල්වාව. ඔව්, රෝයි කියන්නේ ප්‍රෙඩීගේ ගමේ ගජ මිත්‍රයෙක්.
එතකොට තව එක්කෙනෙක් හිටියා. ඔහු තමයි ක්‍රිස්ටෝපර් පෝල්. සංගීත කලාවට ආදරය කරන කොයි කවුරුත් ඔහුව දන්නවා. ඔහු අපේ ගීත ලෝකයට එකතු කරපු ''හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා... මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩවෙලා...'' අදටත් ජනප්‍රියයි.
එක කාලෙක ප්‍රෙඩී සිල්වාම කියලා තියෙන විදිහට, ඒ කාලේ මේ තුන් කට්ටුව මොරටු පුරේ පුදුම අමුතු වැඩ තමා කරලා තියෙන්නෙ. මේ කාලේ මොරටුව පළාතේ විවාහ මංගල උත්සව වැඩිමනක් මොරටුව නගර ශාලාවේ තමා පවත්වලා තියෙන්නෙ. ඉතින් මේක තමන්ගේ වාසියට පෙරළා ගත්ත ගජ මිත්‍රයෝ තුන්දෙනා මංගල්‍ය උත්සවවලට සහභාගි වෙලා හොඳට කාලා බීම හෙමින් සීරුවේ මාරුවෙනවලු ඒ කාලේ. පතේ පොතේ අපිට මුණගැහුණු විදිහට පසුකාලීනව අතිශය ජනප්‍රිය චරිත වුණ ප්‍රෙඩී, රෝයි සහ ක්‍රිස්ටෝපර්ගේ මේ රස කතා ප්‍රෙඩී සිල්වාම තමා හෙළිදරව් කරලා තියෙන්නෙ.
ප්‍රෙඩී සිල්වාගේ දැවැන්ත රංග ප්‍රතිභාව සහ සිනමා ප්‍රතිරෑපය නිසා ඔහු ගැන කතා කරන ගොඩක් දෙනකුට ප්‍රෙඩී සිල්වා කියන ගායකයාව අමතක වෙනවා. ඒත් ප්‍රෙඩීගේ ගීයක් නොගැයෙන සංගීත ප්‍රසංගයක් හොයාගන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ හාස්‍ය උත්පාදන ගීත කලාවේ පීතෘත්වය හිමිවෙන්න ඕනෑ ප්‍රෙඩී සිල්වාට. මුවට සිනහවක් නංවන අතරේ අර්ථ සහිතව ඔහු ගැයූ ගී අදටත් ජනප්‍රියයි. ඒ වගේමයි ප්‍රෙඩීගෙන් පස්සේ මේ වැඩේ හරිට කරන්න පුළුවන් වුණු පිරිස එක අතක ඇඟිලි ගණනටත් වඩා අඩුයි.
දැන් අපි කියන්න යන්නේ ප්‍රෙඩී සිල්වා ගායකයා බිහිවීම පිළිබඳ තවත් අපූරු කතාවක්. ප්‍රෙඩීගේ ගායන හැකියාව ඔහුගේ මිතුරු හවුලේ කවුරුත් දැනගෙන හිටියා. ගායනයටම විතරක් නෙවෙයි වාදනයටත් ප්‍රෙඩී සිල්වාට හැකියාවක් තිබුණා කියලා කියනවා. නාඹර තරුණ වයසේම ප්රෙඩීලා ක්රිස්ටෝපර්ලා මොරටු පුරේ සාජ්ජවල සිංදු කිව්වා. සිංදු කිව්වා විතරක් නෙවෙයි ප්‍රෙඩී හොඳට ඩාන්ස් කර කර තමා සින්දු කිව්වේ. පනහේ හැටේ දශකවල ලෝකය පුරා ජනප්‍රිය වුණ රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් ස්ටයිල් එකට ප්‍රෙඩී සිල්වාට තිබුණේ අපූරු හැකියාවක්.
ඔන්න පනස් ගණන්වල ප්‍රෙඩී සිල්වාට විශේෂ සාදයක ගී ගයන අවස්ථාවක් ලැබුණා. මේ ආරාධනා ලැබුණෙ මේ කාලේ මොරටු පුරේ ජනප්‍රිය සී.එල්. ෆොන්සේකාගෙන්. ''ජෝන්ගේ කඳවලවත්තේ පාටියක් තියෙනවා. මමත් යනවා උඹත් වරෙන්'' සී.එල්. ප්‍රෙඩීට කරලා තිබුණේ මේ වගේ යෝජනාවක්. පතේ පොතේ ලියැවිලා තිබෙන විදිහට මේක සර් ජෝන්ගේ කඳවලවත්තේ පැවැත්වුණ උපන් දින සාදයක්.
කොහොම හරි අඩියක් ඉස්සරහට යන්න බලාගෙන හිටපු ප්‍රෙඩීට අපූරු අදහසක් පහළ වෙලා. මේ වෙනකොටත් ප්‍රෙඩී සිල්වා ඇතුළු කලාවට සම්බන්ධ ගොඩදෙනෙක් දැනගෙන ඉඳලා තියෙනවා සර් ජෝන් කොතලාව ජොලි සිංදුවලට කැමතියි කියලා. ඒ නිසාම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතපු ප්‍රෙඩී මේ වෙනකොටත් සිනමාවේ ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් වෙලා හිටපු ඇලන්සන් මෙන්ඩිස්ට ගිහිල්ලා කියලා තියෙනවා.... ඔහු ලිපු ගයපු
''බාර් බාර් බාර් බාර් එකෙන් බීලා
සූර් සූර් සූර් වෙන්න ගහලා...''
ගීතය කඳවලවත්තේ පාටියේ කියන්න අවසර ගන්න තමා ඔහු මෙහෙම ගිහිල්ලා තියෙන්නෙ. කොහොම හරි උපන් දින සාජ්ජේ ගී ගයන්න අවස්ථාව ප්‍රෙඩීට හම්බ වුණා. ඉතින් ප්‍රගුණ කරලා තිබුණ අපූරු නර්තන හැකියාව ප්‍රදර්ශනය කරලා ප්‍රෙඩී නට නටා තමා සින්දුව කිව්වේ. ඔන්න වැඩේ නැගලා ගියා. සර් ජෝන් කොතලාවගෙ සාදයට ආපු කාන්තාවෝ ප්‍රෙඩීගේ රිද්මය අල්ලා ගත්තා.
ඉතිහාසයේ කියැවෙන විදිහට වැඩේ අහවර වුණම සර් ජෝන් කොතලාව මේ තරුණයාගෙන් අපූරු ප්‍රශ්නක් අහලා තියනවා.
''ඒයි කොල්ලෝ උඹේ කකුල්වලට 'ස්ප්‍රීන්' හයි කරලද?''
ප්‍රෙඩීගේ වැඩවල තරම පැහැදිලි වෙන ඒ ප්‍රශ්නයත් එක්කම ඔහුගේ ජීවිත කතාව වෙනස් වුණා. ෆ්‍රෙඩී රස්සාවක් සොයමින් සිටින බව සර් ජෝන් කොතලාවල දැනගෙන ඉඳලා නෑ. අවසානයේ ප්‍රෙඩී ගුවන් විදුලි සිංදුවක් කියන අවස්ථාව ඉල්ලලා තියෙන්නෙ.
''උඹ දස්සයෙක්. මම ලියුමක් දෙන්නම්. හෙට උදේ උඹ රේඩියෝ සිලෝන් එකට ගිහින් කොමර්ෂල් සර්විස් එකේ ලොක්කව හම්බවෙයන්.''
ඔන්න මොරටු පුරේ පුංචි තරුණයාට ලියමන ලැබුණා. ''ලිවි විජේමාන්න'' මාර්ගයෙන් ගුවන් විදුලියට ආපු ප්‍රෙඩීගේ ජීවිතය වෙනස් වුණා. ඉතින් ප්‍රෙඩී මුලින් කිව්ව ''මොට්ටපාල'' ගීතය ජනප්‍රිය වුණා. තවත් අමුතු චරිතයක් අපේ කලා ලෝකයට එකතු වුණා.
''මමයි මොට්ටපාල දොට්ට දැම්මා පාසලෙන්
හෝ.. හෝ.. පාසලෙන්
අපේ ටීචර් මට මේ නම දැම්මා
වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් මගේ කොණ්ඩය වැව්වා
මාගේ ගජමිතුරා හෝ... රාළහාමි මම පැරදෙව්වා
සව්දොදලුයි මිරිස් මාළු දවසක් කෑවා...''
( විස්තර - පතෙන් පොතෙන් කනින් කොනින් )
නිසල්