එයා මාව කසාද බැන්දෙම, මගේ කලා ජීවිතය ගැන දැනගෙනනෙ. ඉතින් මට තහංචි දාලා නැහැ
තාරුකා වන්නිආරච්චි රංගන ශිල්පිනිය යනු ප්‍රේක්ෂකයින්ගේ ආදරය වගේම, කලා ක්ෂේත්රයේ බොහෝදෙනාගේ ආදරය දිනාගත් චරිතයකි. ක්ෂේත්රයට පැමිණිදා සිට වඩාත් නිහතමානීව කටයුතු කිරීම සහ සෑම දෙනෙකුටම ගරු කිරීම නිසා, ඇය එලෙසින් ආදරය ගෞරවය ලබමින් සිටින්නීය. මේ දිනවල විකාශය කෙරෙන අකුරට යන වෙලාවේ සහ අපි එක රෑනේ ටෙලිනාට්‍ය සමඟ ප්‍රේක්ෂකයින් අතරට එන ලස්සන රුවැති, ලස්සන හිතැති තාරුකා එක්ක අලුත් අවුරුද්දට ඔන්න මෙන්න කියා තිබියදී අපි පිළිසඳරකට එක්වෙමු.
තාරුකා කොහොමද, කොහොමද ඉතින්, කාලයකට පස්සෙ නේද? මොනවද විස්තර?
මේ දිනවල හොඳින්, ඒ වගේම ටිකක් කාර්යබහුලයි, අවුරුදු තුනකින් විතර නිර්මාණයකට දායක වුණේ නැහැ. හැබැයි මේ වසරේ ආයෙත් වැඩ කරන්න ඕනෑය කියලා හිතුවා. මේ දිනවල දෙරණ ටී.වී. එකේ යන අපි එක රෑනේ සහ හිරු ටී.වී. එකේ විකාශය කෙරෙන අකුරට යන වෙලාවේ නාට්‍යයේ රඟපානවා. ඒ එක්කම මේ මාසයේ අන්තිමට අලුත් ෆිල්ම් එකක රඟපෑමට එක්වෙලා ඉන්නෙ. ඒක තේමාවෙලා තියෙන්නෙ එක්දාස් අටසිය ගණන්වල වූ කතාවක් පදනම් කරගෙන. තේ ආශ්රිත කතාවක්. ඒකෙ රඟපෑමට සූදානමින් ඉන්නෙ.
විකාශය කෙරෙන නාට්‍ය දෙකේ තාරුකාගේ චරිත මොන විදියද?
අකුරට යන වෙලාවේ නාට්‍යයේ අම්මා කෙනෙක්ගෙ චරිතයක්. පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ දෙන්නගෙ ආච්චි සහ තාත්තා අතරට මැදිව සියල්ල ඉවසා දරාගෙන කටයුතු කරන මවක්. අපි එක රෑනේ ටෙලිනාට්‍යයේ සැමියාගෙන් වෙන්ව සිටින කාන්තාවක්. සැමියාගේ අම්මා සහ පවුලේ අයගෙන් එල්ලවන තාඩන පීඩන ඉවසාගෙන ජීවත්වන කෙනෙක්. රඟපාන්න සූදානමින් ඉන්න ෆිල්ම් එකේ චරිතය ආදරණීය චරිතයක්.
ෆිල්ම් එකක අන්තිමට රඟපෑවෙ?
නිහඬ සෙවනැලි. ඊට පස්සෙ තමයි දැන් මේ අලුත් ෆිල්ම් එකේ රඟපාන්න සූදානමින් ඉන්නෙ. මම ආවෙ ටෙලි නිර්මාණ ඔස්සේ. ඒ හැර සිනමා නිර්මාණ කියන්නෙ හැමෝගෙම වගේ මටත් තියෙන සිහිනයක්.
අවුරුදු දෙක තුනක් පෙනෙන්ට නැතුව ඉන්නකොට මොනවගේ ප්‍රතිචාරද ලැබුණෙ?
දැන් රඟපාන්නෙ නැද්ද නිර්මාණවලින් අයින්වෙලාද ඉන්නෙ? ඒ විදියට තමයි ඇහුවෙ. අපරාදෙ ඔයා වගේ කෙනෙක් රඟපෑමෙන් අයින්වෙලා ඉන්න එපා කියලා තමයි කිව්වෙ. කලාව වෘත්තිය වුණාම අපට එයින් අයින්වෙලා ඉන්න බැහැ. හිත තියෙන්නෙම ඒවාට සම්බන්ධ වෙන්නමයි. ඉතින් දැන් සතියේ දින පහේම මාව ටී.වී. එකේ දැකගන්න පුළුවනි.
ගෙදර අයගෙ ප්‍රතිචාර කොහොමද?
ඉස්සෙල්ලාම ප්‍රතිචාර ලැබෙන්නෙ ගෙදර අයගෙන් තමයි. අම්මා තාත්තා සහ ආච්චි. එයාලා බලලා ප්‍රතිචාර දක්වනවා. පුතා මාව ටී.වී. එකේ දැක්කාම අම්මා අම්මා කියලා ඒ දිහා බලාන ඉන්නවා.
ගෙදර ජීවිතේ සුන්දරයි නේද?
සාමාන්‍ය විදියට ගෙවෙනවා. සරලව සැහැල්ලුවෙන් ගෙවෙනවා. ගෙදර වැඩි වගකීමක් දරන්නෙ සැමියා. මම ඉතින් බබා බලාගෙන, සැමියගෙ වැඩත්, ගෙදර වැඩත් කරගෙන ඉන්නවා.
තාරුකා, කියන්නෙ නොවෙනස්ව නිහතමානීව සිටින චරිතයක්, ඉතින් ඒ නිහතමානී බව ගැන තාරුකාට හැඟෙන්නෙ කොහොමද?
මම සමාජයේදි වේවා, ගෙදරදි වේවා, ඒ ඒ කෙනාව හඳුනාගෙන ජීවත්වන කෙනෙක්. සුදුසු විදියට තැනේ හැටියට කටයුතු කරන කෙනෙක්. අනෙක් කතාව නිතරම ගෞරවය සහ පිළිගැනීම අවංකව කළාම අපටත් ඒ ගෞරවය, පිළිගැනීම ලැබෙනවා. ඒ වගේම බනින්න ඕනෑ විදියට කවුරුහරි කටයුතු කළොත් මම නොබැන ඉන්නෙත් නැහැ. ඒ තැනට සුදුසු විදියට ක්‍රියාකරනවා.
ඒ කියන්නෙ සැරයි කියන්නත් පුළුවන්?
ඔව් එහෙම වෙන්නෙ හැබැයි ගෙදරදි විතරයි. සමාජයේදි එහෙම නැහැ.
කොහොමද සැමියාගෙන් ලැබෙන සහයෝගය?
කලා ක්ෂේත්රයේ රැඳී ඉන්න මට දිගටම සහයෝගය දෙන්නෙ එයා. එයා මාව කසාද බැන්දෙම, මගේ කලා ජීවිතය ගැන දැනගෙනනෙ. ඉතින් මට තහංචි දාලා නැහැ. එයා එයාගේ බිස්නස් වෘත්තිය ගැන දන්නවා වගේම මම මගේ ජීවිතේ රංගන වෘත්තිය ගැන දන්නවා. අපි දෙන්නා දෙන්නාගෙම ක්ෂේත්රවලට ගරු කරගන්නවා. ඒ නිසා අපි දෙන්නා අතර තියෙන්නෙත් ගෞරවයක්.
ගෙදරදි තාරුකා දවස ගෙවන විදිය?
ගෙදරදීත් කාර්යබහුලයි, පුතා දැන් පෙරපාසල් යනවා, එතකොට එයා ගැන උදේට නැගිටලා බලන්න ඕනෑ කවන්න ඕනෑ, පෙර පාසලට ගෙනියන්න ඕනෑ, ඒ අතරේ සැමියාගේ වැඩත් කරන්න ඕනෑ, ඉතින් උදේට ටිකක් පුංචි යුද්ධයක් වගෙයි. සහායට බොහෝ වෙලාවට අම්මා ඉන්නවා.
අම්මා කියන දේ අද දැනෙන්නෙ මොන විදියටද?
අම්මා කියන චරිතය ගැන මට හොඳටම දැනෙන්න ගන්නෙ මේ දිනවල රඟපාන අම්මාගෙ චරිතය කරද්දියි. ඒ කතාවේ හැටියට ඒක රඟපාද්දි, මම මගේ පුතාට කතා කරන විදිය, ආදරය දක්වන විදිය මට හදවතින්ම දැනෙනවා. මගේ පුතා ටිකක් දඟයි, ඒත් ඒ දඟවැඩ පුංචි කාලයේදි විතරනෙ. ඒක සුන්දර දඟවැඩනෙ. ඉතින් ඒවා ඉවසා දරාගෙන ඉන්නවා.
විවේකය ගත කරන්න වඩා කැමති?
සංචාරයට මම හරිම ආසයි. ලංකාවේ වගේම පිටරට සංචාරයට හරිම ආසයි.
ලංකාව හැර, සංචාරය කළ රටවල් අතරින් වඩා කැමති?
බොහෝ රටවල් අද වන විට රට වගේම ඒ රටවල මිනිස්සුත් දියුණු වෙලා, හැබැයි ඒ රටවල් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මම දකින්නෙ සුවිශේෂී විදියට. විශේෂයෙන්ම ඩුබායි නගරය ගත්තොත්, මීට අවුරුදු කීපයකට පෙරදි මොනවත් නැතුව වැලිපොළව විතරක් තිබූ රාජ්‍යයක්. නමුත් අද වනවිට ඒ කාන්තාරයේ තිබූ රටක්ද කියා හිතාගත නොහැකි තරමට පුදුමාකාර විදියට ගස්වැල් පවා තියෙනවා. එක අතකට එය විශ්මය ගෙන දෙන්නක්. රටක හොඳ පාලකයෙක්, අනාගත දැක්මක් ඇති නායකයකු සිටින විට ඒ රට ඇත්තටම දියුණු වෙනවා. ඒ රටේ පාලකයා ජයගන්න ගමන්, රටේ ජනතාවටත් ජයග්‍රහණ උදාකරලා දීලා. වැලිපොළොව අද ලස්සනම ලස්සන උද්‍යානයක් කරලා. ඩුබායි කියන්නෙ සෑම අතකින්ම සෑම දෙයකින්ම සරුසාර රටක්.
තාරුකා අලුත් අවුරුදු ළඟයිනෙ, ඔබ ඉන්නෙ කොළඹ සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකක, එහි සිට අවුරුද්දට ලැහැස්ති වෙන්නෙ කොහොමද?
ඒ විදියට අපි පදිංචිව හිටියට, අවුරුදු සද්දය අපට කොහා ගේනවා. අපි සිටින නිවාස පරිශ්‍රයට පහතින් ඇති දේවස්ථානයෙ ඇති ගසක තමයි කොහා වෙසෙන්නෙ. ඉතින් නිතරම අපට එයාගෙ ලස්සන නාදය ඇහෙනවා. මාර්තු අප්‍රේල් මැයි එයා නිසා අපට පාළු නැහැ. නිතරම කෝකිල නාදය නිසා. ඉතින් අවුරුදු සමය ගත්තොත් මොකක් හරි රූපවාහිනී චැනල් එකක අවුරුදු වැඩසටහන්වලට දායක වෙනවා. අනෙක් තරු එක්ක තමයි අවුරුදු සමරන්නෙ. ඒ වැඩසටහන් ඉවර වෙලා ගෙදර ආවාම සුපුරුදු චාරිත්‍රවල යෙදෙමින් අලුත් අවුරුද්ද සමරනවා. ඉන්පසුව මාකොළ අපේ ගෙදරට යනවා. සමහර අවුරුදුවල අපි අවුරුදු ඉවරවුණාම සංචාරයක යෙදෙනවා.
බොහෝදෙනෙක් කියන්නෙ තාරුකා වඩා හැඩ සාරිය ඇන්දම කියලයි, ඒ ගැන ඔබට හිතෙන්නෙ?
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රතිචාරවලදී, බොහෝදෙනෙක් ප්‍රතිචාර දක්වන්නෙ ඉන්දියන් විදියට විලාසිතා කළාමයි. මාත් වැඩිපුර කැමති ඒ විදියට විලාසිතා කරන්නයි.
අද තාරුකාට තාරුකාව දැනෙන්නෙ කොහොමද?
හරිම සතුටක් සහ ආඩම්බරව හිතන්න පුළුවනි. මොකද මම ජීවිතය පටන්ගත්තෙ හරිම පොඩියට. නිහතමානීව සියල්ල විඳදරාගෙන ජීවිතය ගෙනියන නිසා හැමෝගෙම ආදරය ලබමින් ජීවිතය ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මට වගේම හැමෝටම ආදර්ශවත් කියලා මම හිතනවා.
කටකතා, නැතුව හොඳ නමක් දිනා සිටින ඔබ, නිතරම බලෙන් පුවත් මවාගෙන සමාජ මාධ්‍ය කළඹන චරිත ගැන හිතන්නෙ කොහොමද?
මම ඇත්තටම සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ අඩුවෙන්. හැබැයි එහෙමයි කියලා නිතර සමාජ මාධ්‍යයේ සක්‍රීය අය මම විවේචනය කරන්නෙ නැහැ. ඒක එක එක්කෙනාගෙ මනාපයනෙ. අද කාලයේ බොහෝදෙනා වැඩි ප්‍රතිචාර ලබාගන්න, ප්‍රේක්ෂක අවධානය ගන්න සමාජ මාධ්‍යයේ නිතර පෙනී සිටිනවා. ඉතින් අද නැඹුරුව එයයි. ඒවා සමාජයට යහපත් විදියට භාවිතා කළොත් හොඳයි. ඒ නිසා යහපත් දේ වැරදියි කියලා මම හිතන්නෙ නැහැ.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ