එය උප ප්‍රධාන චරිතයක් වුණත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට වසර 35 කට පමණ පෙර සිට කලා ක්ෂේත්‍රයේ රංගන අංශයෙන් විවිධාකාර චරිත රංගනවල යෙදෙමින් ටෙලි නිර්මාණ 100 කට අධික සංඛ්‍යාවකට දායකත්වය සැපයූ චරිතයක් සමඟින් කතාබහක යෙදෙන්නට මෙවර සඳැල්ලෙන් අපි තීරණය කළා. ඒ ඇන්ටන් කුරේ නම් රංගන ශිල්පියා සමඟින්.

අවුරුදු 35ක රංගන ගමනේ පසුගියදා පැවති සම්මාන උළෙලක ඔබ හොඳම සහය නළුවාට හිමි සම්මානයට නිර්දේශ වුණා නේද?

ඔව්. ඇත්තටම ඒ නිර්දේශ වීමම මට මේ ගමනේ ලොකු ජයග්‍රහණයක්. පසුගියදා පැවති රයිගම් සම්මාන උළෙලෙ දී තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. තිස්ස විජේකෝන් අධ්‍යක්ෂවරයාගේ ‘‘අසංවර වැස්සක්’’ ටෙලි නිර්මාණයේ මම විදුහල්පතිවරයෙක්ගේ චරිතයක් කළා. ඒ තුළින් තමයි මේ නිර්දේශ වීම සිදුවුණේ හොඳම සහය නළුවාට. එය උප ප්‍රධාන චරිතයක් වුණත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා.

මේ විදුහල්පතිවරයා ඔබේ ජීවිතේට වාසනාව ගෙනාවා ඒ කියන්නේ?

ඇත්තටම ඔව්, මට ඒ චරිතය තිස්ස විජේකෝන් අධ්‍යක්ෂවරයා ලබා දීමත් එක්ක මම ගොඩක් සතුටු වුණා. මොකද ඒ චරිතය ඉතා සංවේදී විදුහල්පතිවරයෙක්ගෙන් ඔබ්බට ගිය චරිත රංගනයක්. දරුවන් උනන්දු කරවලා යහමගට ගන්න වෙර දරන විදුහල්පතිවරයෙක්, ප්‍රේක්ෂකයෝ තුළ ආදරණීය බවක් ඇති කරපු චරිතයක්. මම මෑත කාලයේ කරපු චරිතවලින් ගොඩක් ආසාවෙන් කරපු චරිතයක් තමයි ඒ.

එතකොට මේ දිනවලත් ආදරණීය විදහල්පතිවරයෙක් විදියට ‘‘කෝලම් කුට්ටමේ’’ ඔබව දකින්න ඉන්නවා නේද?

ඔම්. එහිත් මම නගරයේ සිට ගමට පැමිණ ඒ දරුවන්ගෙ යහපත වෙනුවෙන් වැඩ කරන විදුහල්පතිවරයෙක්.‘‘ලොකු සර්’’ චරිතය තමයි රඟ දක්වන්නෙ. මේ වෙද්දි ආදරණීය විදියෙ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

රංගනයට ප්‍රවිශ්ඨ වීම කොහොමද සිද්ධ වෙන්නේ?

රංගනයට ප්‍රවිශ්ඨ වීම ඇත්තටම මගේ ජීවිතේ ලොකු හීනයක් තිබුණේ නැහැ. මට තිබුණේ පුංචිම කාලෙදි නම් වෙනත් බලාපොරොත්තු. නමුත් මාව රංගන ක්ෂේත්‍රයට යොමු කරවන්නේ පාසල් වේදිකාව. මම 1 වසර සිට 13 වසර දක්වාම පාසල් ගියේ කුරුණෑගල ගැට්ටුවාන මහින්ද මහා විද්‍යාලයට. ඒ පාසලේ වේදිකාව තමයි මට රංගනයට ආසාවක් ඇති කළේ. මොකද මට රංගනයෙන් දායකවෙන්න මුලින්ම අවස්ථාව ලැබුණෙ පාසලේ දී. එතැනින් පසුව මටත් හිතුණා මේ අංශයේ යම්කිසි දක්ෂතාවයක් මට තියෙනවා කියලා. ඒ නිසා දිගින් දිගටම මම රංගන කටයුතුවලට පාසල් මට්ටමින් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීමත් එක්ක නාට්‍ය තරගවලින් පවා අවස්ථා ගණනාවක ජයග්‍රහණ රැසක් ලබාගන්න හැකි වුණා. හොඳම නළුවා විදියට සම්මානයට පාත්‍රවෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදියට පාසල් වේදිකාවෙන් ආරම්භ කරපු ගමන මම අතඇරියෙ නැහැ. පාසල් ජීවිතෙන් පසුවත් දීර්ඝ කාලීනව මේ අංශයේ රැඳෙන්න තමයි මගේ කැමැත්ත තිබුණේ. කෙසේ හෝ පාසල් වේදිකාවේ මම ලබාගත් පන්නරයත් එක්ක මට හිතුණා මේ වේදිකාවේ දිගටම රැඳුණොත් මගේ ජීවිතේටත් ඒ තුළින් ආත්ම තෘප්තියක් ලැබෙයි කියලා. මගේ වටපිටාවෙ අයත් කිව්වා රංගනය තුළින් ඉදිරියට යන්න කියලා. ඉතින් මටත් හැඟුණා මටත් යම්කිසි දක්ෂතාවක් තියෙන නිසා ඒ තුළ රැඳෙන්න. ඒ නිසා මම වයඹ පළාතෙ නාට්‍ය වේදිකාවත් එක්ක සම්බන්ධ වුණා.

වයඹ පළාත තුළ වෙනම නාට්‍ය වේදිකාවක් තියෙනවා ‘‘වයඹ රාජ්‍ය උළෙල’’ නමින්. මම ඒ වේදිකාවට සම්බන්ධ වෙලා මේ වෙද්දී ඒ තුළ පවත්වපු නාට්‍ය තරගාවලි කිහිපයකින් හය වතාවක් පමණ හොඳම නළුවා බවටත් පත්වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආරම්භ කරපු ගමන්මගේ අද වෙද්දී වේදිකා නාට්‍ය තුළ රාජ්‍ය සම්මාන 28 ක් ලබාගෙන තියෙනවා. ජාතික මට්ටමින් ලැබුණු එක සම්මානයක් තියෙනවා.

මෙතෙක් කරපු නිර්මාණවලින් කතාබහට ලක්වුණු චරිත සහ ඉදිරියට එන්න තියෙන චරිත ගැන සඳහනක් කළොත්?

මුල් කාලෙදි භක්ති, මහතලා සටන වගේ නිර්මාණ හරහා කතාබහට ලක්වුණා. අනුර මාධව ජයසේකර මහත්මයාගේ මහතලා හටනෙ හඟුරන්කෙත ඩිංගිරාල කියන චරිතය ගැන අදටත් කතාබහ කරන අය ඉන්නවා. ඒ වගේම සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම කියන්න ඕනෑ මගේ පෙර වාසනාවකට වගේ මට ලැබුණෙම හොඳම අධ්‍යක්ෂවරු යටතේ හොඳම චරිත රංගනයන්. එකම රාමුවකට කොටු නොවී විවිධාකාර චරිත රංගනයන් කරන්න මට අවස්ථාව ලැබුණා. මායාදුන්න බණ්ඩාර, වසන්ත කුමාර, සරත් ධර්මසිරි, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සමන් කුමාර ලියනගේ, ජනක සුරන්ජිත්, සුසිරන් ද සිල්වා, ප්‍රසන්න විතානගේ, වසන්ත ඔබේසේකර වගේ දක්ෂ ජනප්‍රිය අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ වගේම පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණා.

A/L, ගෝල්, තාල වැනි කතාබහට ලක්වුණු නිර්මාණවල. ඒ වගේම පසුගිය කාලේ ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වෙලා හිටියා තුම්පනේ, මෙට්‍රෝහීන වගේ නිර්මාණවල. ඉදිරියේදීත් මම රංගනයෙන් දායක වුණු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා.

ඒ වගේම මේ දිනවල විකාශය වන බුද්ධික ලොකුකැටිය අධ්‍යක්ෂවරයාගේ ‘‘අදිසි’’ නිර්මාණයේ ‘‘කිරි බණ්ඩා’’ කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා මම. මේ වෙද්දී ඒ චරිතයට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

මේ නිර්මාණත් එක්ක සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා. ‘‘වත්සුණු’’ සහ ‘‘ඇවිත් මාව හම්බවෙන්න’’ කියලා. ඒ වගේම සුපුන් රත්නායක අධ්‍යක්ෂවරයාගේ ‘‘තත්ත්පරයක් ඉන්න’’ කියලා අලුත්ම නිර්මාණයක් තුළින් ඉදිරියේ දී දැකගන්න හැකිවෙයි.

ඔබ විනෝදාංශයක් විදියට ද මේ දේ කරගෙන යන්නේ?

මම වෘත්තියෙන් ග්‍රාම නිලධාරියෙක් නමුත් දැන් විශ්‍රාමිකයි. ඒ කාලේ මේ රැකියාවත් එක්ක තමයි කලා කටයුතු කරගෙන ගියේ. දැන් මම විශ්‍රාමික නිසා කලා කටයුතු කරගෙන යන්න ඉඩක් තියෙනවා. ඉතින් මේ ගමනට මට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මගේ ආදරණීය බිරිඳ. ඇය රංජනී අබේසිංහ. ඇය වගේම මගේ දරුවනුත් ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මගේ කලා ගමනට ආශිර්වාදයක් විදියට.

ධනු විජේරත්න