එයා අඬනවා බලාගෙන ඉන්න බැරිම තැන මම කීවා මම හමුදාවට යන්නම් කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරංජනී.. පසුගිය දිනවල සම්බන්ධ වුණු නිර්මාණ මොනවද?

පසුගිය දිනවල සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන 'සිංහබාහු' චිත්‍රපටයේ ගරු චරිතයක රඟපෑවා. ඇත්තටම හරිම ආසාවෙන් මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක රෑගත කිරීම් කරන්නෙ අනුරාධපුර. 'සුනාමි' චිත්‍රපටයේ හිටපු නිෂ්පාදන කණ්ඩායමේ බොහොමයක් 'සිංහබාහු' චිත්‍රපටයටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ නිසා ඒ ගත කරපු කාලය හරිම අපූරුයි.

මේ දිනවල නිරංජනී රඟපෑ 'ප්‍රාණ' චිත්‍රපටය තිරගත වෙනවා. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්.. මම රඟපාපු සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ 'ප්‍රාණ' චිත්‍රපටය ඔක්තෝබර් මාසේ හයවැනිදා සිට තිරගත වෙනවා. ලංකාවේ බොහෝ ඓතිහාසික කතා නිර්මාණවලදි මවාපු දේවල් තමයි අපි දැකලා තියෙන්නෙ. අපි ඉගෙන ගත්ත ඉතිහාසයේ සමහර තැන් ඇතැම්විට වැරදි වෙන්න පුළුවන්. මට රඟපාන්න ලැබුණු ඉතිහාස කතා චිත්‍රපටවලින් මේ චිත්‍රපටය මට ඉතාම විශේෂයි. අපේ ලාංකික ජනතාව දැනගත යුතු ඉතිහාසය පිළිවෙළට මේ චිත්‍රපටය ඔස්සේ කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. චරිතවලටත් ඇත්ත කතාවටත් හානියක් නොවන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල් අයියා. නිෂ්පාදනය කළේ ජානක පෙරේරා අයියා. මේ චිත්‍රපටයේ මම රැජිනියකගේ චරිතයක් රඟපානවා. මම රඟපාපු කොටස පොඩි වුණාට ඉතාම බැරූරුම් චරිතයක් මම මේ චිත්‍රපටයේ රඟපානවා. ඇත්තටම මේක මම හරිම ආසාවෙන් කරපු නිර්මාණයක්. මේ නිර්මාණය අන්තර්ජාතික මට්ටමට නිර්මාණය කළ ලාංකික නිර්මාණයක් කියලා මම හරිම ආඩම්බරයෙන් කියනවා. මේ නිර්මාණය සාර්ථක වෙන්න හැමෝම එකතුවෙලා වැඩ කළා. මේ චිත්‍රපටය ගොඩක් මහන්සිවෙලා කරපු නිර්මාණයක්.

නිරංජනී වැඩි නැඹුරුවක් දක්වන්නෙ සිනමාවටද?

මම වේදිකාවෙන් රංගනයට එකතු වුණු කෙනෙක්. වේදිකා නාට්‍යයෙන් පටන් ගත්ත මගේ රංගන ජීවිතයේ ඊළඟ පියවර වුණේ සිනමාවයි. පුංචි තිරයට අකැමැත්තක් මගේ නැහැ. නමුත් මට බොහෝ ආරාධනා ලැබෙන්නෙ සිනමා නිර්මාණවලටයි. මම ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරලා තියෙනවා. ඒ සීමිත කොටස් ගණනකින් යුතු හොඳ තේමාවක් යටතේ නිර්මාණය වුණු ටෙලිනාට්‍ය කිහිපයක පමණයි. මම මෙගා ටෙලිනාට්‍යවල රඟපෑවේ නැහැ. මම රඟපාපු නාට්‍යවල කොටස් අඩු වුණාට ඒ කතාවල වටිනාකම වැඩියි. රෑපවාහිනිය කියන්නෙ අපේ පවුලේම සාමාජිකයෙක් වගෙයි. සිනමා නිර්මාණ අපි තෝරලයි බලන්නෙ. හැබැයි රෑපවාහිනිය පැය විසිහතර පුරාවටම අපේ ගෙදර තියෙන දෙයක්. රෑපවාහිනිය ඔස්සේ ප්‍රේක්ෂක හදවතට යනවා කියන්නෙ අපි එයාලව ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා වගෙයි. ඒ නිසා ටෙලිනාට්‍ය චරිතයකින් ප්‍රේක්ෂකයන්ගේ හදවතට යනවා නම් ඔවුන්ට වටිනාකමක් ලබා දෙමින් ඔවුන් අතරට යා යුතුයි කියලයි මට හිතෙන්නෙ. සමහර ලැබෙන නාට්‍යවල කතාව අහද්දි සමහර කතා ලියවිලත් නැහැ. ඉස්සර මෙගා නාට්‍යවල තිබුණු ප්‍රමිතිය දැන් බොහෝ මෙගා නාට්‍යවල නැහැ. මම මේක කියන්නෙ නිළියක් විදිහට නෙමෙයි. ප්‍රේක්ෂකයෙක් විදිහටයි. අපි දියුණු වෙන්න ඕනෙ තමයි. හැබැයි මේක ඉන්දියාව නෙමෙයි. මේ අපේ රට ශ්‍රී ලංකාව. ඉන්දියාවේ ආභාෂය අපේ ටෙලිනාට්‍ය කලාවට ඔබ්බවන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක කැතයි. මම ඒක පිළිගන්නෙ නැහැ. අපේ දීර්ඝ නාට්‍යවල ලාංකිකත්වය තියෙනවටයි මම කැමති. හොඳ නිර්මාණ ආවොත් මම ඒක බාරගන්නවා. සල්ලිවලට වඩා ඒක මගේ හදවතට දැනෙන්න ඕනෙ.

නිළියක් වීම පුංචි කාලෙ දැකපු හීනයක්ද?

මට ජීවිතේ කවදාවත් එහෙම හීනයක් තිබිලා නැහැ. පුංචි කාලේ මට නටන්න, ගයන්න, රඟපාන්න, ඉගෙන ගන්න වගේම හොඳට කතා කරන්නත් පුළුවන්. ඒ නිසා මම ලොකු වුණාම මොනවද කරන්නෙ කියලා තේරුම් ගන්න මට බැරි වුණා. එක වෙලාවකට මම ගායිකාවක් වෙන්න ආසා කළා. තවත් කාලයකදි හොඳට ඉගෙනගෙන බැංකු නිලධාරිනියක් වෙන්න ආසා කළා. කාලයක් මම ආමි එකටත් යන්න ආසා කළා. මගේ අත්තම්මා සිංහල කෙනෙක්. ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේ අපේ අත්තම්මා හොඳටම ඇඬුවා. ඒ ඇඬිල්ල බලාගෙන ඉන්න බැරිව එයාව සනසන්න මම ආමි එකට යන්නම්. මම ත්‍රස්තවාදීන් ඔක්කොම මරන්නම්* කියලා කිව්වා. මම පොඩි කාලේ ඉඳන් ඒ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. මට ලැබිච්ච ඒ මොහොත තවත් මනුස්සයෙක්ට ලැබෙන්නෙ නැහැ. මම අද නිදාගෙන හෙට උදේ ජීවතුන් අතරේ ඉඳීම ආශිර්වාදයක්. ඒ නිසා මට ලැබෙන මේ මොහොත රුකගන්න, හොඳ විදිහට ගත කරන්න මම උත්සාහ ගන්නවා. ඒ නිසා ක්ෂේත්‍රය තුළින් මට ලැබුණු හැම අවස්ථාවක්ම මම ප්‍රායෝජනයට ගත්තා. එක මොහොතකදි මම ගායිකාවක්. නිවේදිකාවක්. ඒ අතරින් දෙවියන් රංගන ශිල්පිනියකගේ අවස්ථාවත් මට ලොකුවට දීලා තියෙනවා කියලයි මම හිතන්නෙ. ඒ වගේම මම නිවේදිකාවක්. ඒ ක්ෂේත්‍ර දෙකටම මම ගරු කරනවා.

අද වෙද්දි නිරංජනී යම් ස්ථාවරයකට පැමිණි කලාකාරියක්. මේ තැනට එන්න දුක් වින්ඳද?

අනිවාර් යෙන්. දුකක් නැති ගමනක් නැහැ. ගමනක අවසානයක් නැහැ. සාර්ථකත්වයට අවසානයක් නැහැ. ඉගෙනීමට අවසානයක් නැහැ වගේම ජයග්‍රහණයටත් අවසානයක් නැහැ. අදටත් මම බොහෝ දේවල් ඉගෙන ගනිමින් ඉන්නෙ. හැම නිර්මාණයකදීම මම අලුතින් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. අදටත් මම සිංහල වචන ඉගෙන ගන්නවා. ජීවිතේ දුකක් නැතිව සැපක් නැහැ. අපේ ගමන දවසින් දවස අලුත් වෙනවා. මේ ලෝකෙ හැම මනුස්සයාගෙන්ම අපිට ඉගෙන ගන්න අලුත් දෙයක් තියෙනවා.

අද වෙද්දි ඔබ පෙම්වතියක්?

ඔව්.. දැන් මම ආදරවන්තියක්. අපි ජීවිතේ ආදරය කියන දේ විඳින්න ඕනෙ. අපේ ජීවිතවලට ආදරය ඕනෙ. ගහකොළට ආදරය කළොත් තමයි මලක් හරි පිපෙන්නෙ. මම කිසිමදාක නොලැබුණු ආදරයට වෛර කරලා නැහැ. දැන් මම ආදරය කරනවා. එයා මට ගොඩක් ආදරෙයි. එයා මේ ක්ෂේත්‍රයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. එයාට මාව මුණගැහෙද්දි මම නිළියක් කියලවත් එයා දැනගෙන හිටියෙ නැහැ. එයා කැමති වුණේ මගේ වෘත්තියටවත් මගේ ජනප්‍රියත්වයටවත් නෙවෙයි. 'මම' කියන කෙනාටයි. මම ඒකට කැමතියි.

I දිශානි
I සේයාරූ- සුමුදු හේවාපතිරණ