එයාලට එයාලගෙ ගමන යන්න දීලා බලා සිටින කෙනෙක්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රඟපෑමේ දී ඔහුගේ රංගනයන් අපට ගෙන දෙන්නේ වඩාත් සජීවී බවකි. ජීවිතයේ සැබෑ යථාර්ථය ඉස්මතු වන පරිදි ඒ රංගනයන් ඉදිරිපත් කිරීම නිසා, ඔහු සැබෑ යථාර්ථවාදී රංග ශිල්පියකු ලෙස අපට සමගාමී වේ. රංගනයට එහා ගිය ඔහුගේ නිර්මාණකරණයේ දී ද, ඒ යථාර්ථය කදිමට දෘෂ්‍යමාන වේ. ඒ සියල්ලට එහා ගිය සම්මානනීය ඒ නිර්මාණකරුවා සහ රංගනවේදියාගේ, සැබෑ ජීවිතයේ ‘‘තාත්තා’’ ගේ භූමිකාව කෙසේ විය හැකිද? තාත්තයි - පුතයි සඳැල්ල විශේෂාංගයට මේ දිග හැරෙන්නේ, රොෂාන් රවීන්ද්‍රගේ සැබෑ ජීවිතයේ ඒ භූමිකාව ගැනය. 

රොෂාන් වැඩ කටයුතු කොහොමද මේ දිනවල? 

මේ දිනවල වැඩිහරියක්ම කාලය ගත වෙන්නෙ ගෙදර. පසුගිය දිනවල වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒකෙ නම ‘‘මිස්ට ප්‍රසිඩන්ට්’’. ඒ අතරතුර මගේ අලුත්ම ටෙලිනාට්‍ය නිර්මාණයේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නෙ. 

මේ දිනවල ගෙදර ගත කරන නිසා දරුවො එක්ක කාලය ගෙවන්න ලැබීම ගැන ඔබට සතුටු ඇති? 

ඔව්. ඒ ගැන සතුටක් තියෙන්නෙ. ලොකු පුතා සා/පෙළ ලියලා ඉවරයි. දෙවැනි දුව ඊළඟ අවුරුද්දෙ සා/පෙළ කරන්නෙ. පොඩි පුතා පාසල් ප්‍රවේශය ලබන්න බලාගෙන ඉන්නෙ. 

‘‘තාත්තා’’ කියන භූමිකාව මොන විදිහටද ඔබ දකින්නෙ?

අපේ අම්මලා - තාත්තලා අපිව උස් මහත් කරන්න මොනතරම් කැපවෙන්න ඇතිද කියන හැඟීම දැන් තමයි අපටත් හරියටම දැනෙන්නෙ. ඒක තමයි ඇත්ත. 

වගකීම් ලෙස ඔබට දැනෙන්නෙ? 

මට දැනුණ සහ තවමත් දැනෙන වගකීම් තියෙනවා. වෘත්තීයමය ලෙස තෝරාගත්ත විෂය නිසා සමහර විට එයාලට අවශ්‍ය කරන දේ සියයට – සීයක්ම මට ඒ නිසා සපයන්න බැරි වෙලා තියෙනවා. එ්ක ගැන යම්කිසි කනගාටුවක් තියෙන්නෙ. නමුත් සංසන්දනය කර බලද්දී මගේ ජීවිතේ දිහා මට ලැබුණු දේට වඩා අපේ දරුවෝ බොහෝ ඉදිරියෙන් සිටින වග පෙනෙනවා. කොහොම වුණත් එයාලට ජීවිතය ගෙන යාමට අවශ්‍ය වටපිටාව තනා දෙන්න මම උත්සාහ කරනවා. 

තාත්තලාගේ ස්වභාවය එක – එක විදිහනෙ, ඔබගෙ ස්වභාවය, විදිය මොන වගේද?

එයාලට එයාලගෙ ගමන යන්න දීලා බලා සිටින කෙනෙක්. එයාලගෙ අවුල් සහගත දෙයක්, මුහුණ දෙන ගැටළුවක් තියෙනව නම්, එය පෙන්වා දීම හැර මට අවශ්‍ය විදියට යා යුතුය කියන තැන මම නැහැ. එයාලගෙන් දේවල් බලාපොරොත්තු නොවී, එයාලගෙ ගමන යෑමට ඉඩ දිය යුතුය කියලයි හිතන්නෙ. එයාලා තෝරා ගන්න ගමනට උදවු කිරීම හැර, මම කැමති දේ කරවා ගන්න, පෙළඹවීම් කරන්න කැමති නැහැ. ඒ හැරත් අපේ පරම්පරාවට වඩා මේ පරම්පරාව හරි වෙනස්. ඒ වෙනස තේරුම් ගැනීමත් වැදගත්. අද ළමයින්ගේ ලෝකය සංකීර්ණයි. 

රාජකාරි බහුලවීම නිසා, දරුවන් මෙහෙයවීම එක්කෝ අම්මාට හෝ පියාට පැවරෙනවා. එහිදී අම්මයි - තාත්තයි දරුවො මෙහෙයවීම කළ යුත්තේ කොහොම ද?

එක්කෙනෙකුට වගකීම වැඩිපුර පැවරෙන ස්වභාවයක් අපේ කාලයේදීත් අපි දුටුවා. දෙන්නම රස්සා කළේ නම් ළමයි හැදුණේ ආච්චිලා, සීයලා ළඟ. අද නම්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වගේ තැන් තියෙනවනෙ. දරුවන්ට අම්මා හෝ තාත්තා නිතර දෙවෙලේ රැකවරණය නොදුන්නත්, එයාලගෙ හෙවණැල්ල තියෙන්න ඕනෑ. අපේ ගෙදර වැඩ ඔක්කෝම කරන්නෙ මගේ බිරිඳ. එයා රැකියාවකට යන්නෙ නැහැ. මම හිතන්නෙ ඒක හොඳ දෙයක්. මම වැඩිපුර නැතත් එයාලට අම්මා ඉන්නවනෙ. අම්මා - තාත්තා නැතුව හැදෙන වටපිටාව ගැන ළමයින් හිතන විදිය අපට ප්‍රකාශ කරන්න බැහැනෙ. 

දරුවන්ගෙ වැරදිවලදී මෙහෙයවිය යුත්තේ කොහොමද?

ඒක සාපේක්‍ෂයි, අපි ළමා කාලයේදී වැරදි කරලා තියෙනවා. ඒ ළමයින්ගෙ අතිනුත් වැරදීම් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියන තැන ඉඳගෙන ඒ වැරැද්ද ඔවුන්ගෙ ජීවිතයේ කළු පැල්ලමක් නොවෙන්න හදා ගන්න. ආයෙත් වැරැද්ද නොවෙන්න වග බලා ගැනීම හැරෙන්න, වරදක් නොකරපු දරුවකු හදා ගැනීම මේ පවතින සමාජයේ හරිම සංකීර්ණ දෙයක්. අපි ගේ ඇතුළෙ හදන දරුවා ඊට පස්සෙ පය ගහන්නෙ මේ සංකීර්ණ සමාජයේ. පවුල ඇතුළෙ හැදෙන දරුවා අහිංසක වැඩි වෙන්න පුළුවන්. 

දරුවො වැඩි සමීප බවක් තියෙන්නෙ ඔබ එක්කද? බිරිඳ එක්කද? 

අපි දෙන්නා එක්කම සමීපයි. මම නිතරම එයාලගෙ යාළුවකු වගේ ඉන්න උත්සාහ කරන්නෙ. ‘‘තාත්තා’’ වගේම ඉන්න ගියොත් සමහරවිට එයාලා දුරස් වෙන්න පුළුවනි. 

අද තියෙන අධ්‍යාපන ක්‍රමය එක්ක ළමයින්ට නිදහසක් නැහැ කියන, චෝදනාව බොහෝ දෙනා අතර තියෙන මතයක්? ඒ ගැන ඔබ මොන විදියටද හිතන්නෙ? 

ළමයින්ට ඒ නිදහස ඕනෑවටත් වඩා දීපු තාත්තා කෙනෙක් මම. ශිෂ්‍යත්ව විභාගය කරන්න මැරීගෙන වැඩ කරන්න ඕනැ නැහැ කියන නිදහස එයාලට දුන්නා. ඒත් සා/පෙළ කරන්න හදනකොට මම ටිකක් රත්වෙලා හිටියෙ. විභාගය ඇන ගනීවි කියලා. ඒත් දරුවන්ට උගන්වපු අය සෑහෙන්න මහන්සි වෙලා ඒ වැඩ ටික දරුවන් වෙනුවෙන් කර දුන්නා. එ ගැන මගේ ස්තූතිය. අධ්‍යාපන ක්‍රමය දරුවන්ට හිසරදයක් තමයි. අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමය යටතේ තමයි බොහෝ දෙනෙක් හැදුණෙ. හැබැයි අද සල්ලි තියෙන අයට තමයි අධ්‍යාපනයයි, සෞඛ්‍යයයි, අනෙක් සෑම දෙයකමයි ප්‍රයෝජන තියෙන්නෙ. එයාලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නෙත් ඉංග්‍රීසියෙන්. මගේ එකම බලාපොරොත්තුව මේ රටේ සෑම ළමයකුටම ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන් නම්, ඒක තමයි හොඳම දේ. රටේ නම් දරාපු පාසල් විතරක් නෙවෙයි, මේ රටේ පාසල් කියලා හිතන තැනට සමාජයට එන්න පුළුවන් වූ දවසට ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලැබේවි. කොයි හැටි වෙතත් සල්ලි තියෙන අයට විතරක්, එක් පංතියකට විතරක් නොවී, රටේ සෑම ළම​ෙයකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මැනවින් ලබා දෙනවා නම් හොඳයි. 

කොහොමද ඔබ ළමුන් එක්ක ගෙදර ගත කරන විදිය? කවි, ගී, ගයන පරිසරයක්ද තියෙන්නෙ? 

මම කලාකරුවකු වීම නිසා ළමයිනුත් එහෙම විය යුතුම යයි කියලා මම හිතන්නෙ නැහැ. ලොකු පුතා නම් සංගීතයට ලැදි බව පෙනෙනවා. මට අවශ්‍ය හොඳ තේරුම් ගැනීමක් වගේම හොඳ රසඥතාවයක් ඇති මිනිසුන් විදිහට එයාලා සමාජගත කිරීමටයි. ඒක යම්කිසි ප්‍රමාණයකට මම කරලා තියෙනවය කියලා හිතනවා. ගේ ඇතුළෙ කලාවට සම්බන්ධ පරිසරයක් නැත්තෙම නැහැ. අඩු වැඩි වශයෙන් ඒවා වෙනවා. මගේ නාට්‍ය එහෙම එයාලා නරඹනවා. ඒත් තාත්තා කලාකරුවකු නිසා විශේෂයෙන්ම ඒ වෙනුවෙන් හැඩගැසිය යුතුය කියලා හිතන්නෙ නැහැ. තවම ඒ අය පොඩියිනෙ. 

අධ්‍යාපන කටයුතු ගෙදරදි කියා දීමේදී මව්පියන් කොහොම හැසිරිය යුතුය කියලද ඔබ හිතන්නෙ? සැර-වැර වීම්, තරවටු කිරීම් කළ යුතුද? 

සමස්තයක් වශයෙන් කියනවට වඩා, මම කරන විදිය කිව්වොත්,මම කළ දේ ළමයි කළ යුතුමය කියන මතයෙ නැහැ. මුල් කාලයේ ඉඳලම ඒක තේරුම් ගත්ත දෙයක්. උදාහරණයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ආශාවක් මට තිබුණාය කියා හිතමු. එදා මට ඒ දේ බැරි වුණාය කියලා ළමයින් අනිවාර්යයෙන් ක්‍රිකට් ගැසිය යුතු නැහැ. ළමයාව තේරුම් අරගෙන එයා කැමති දේට ඉඩ දී එයා පිටුපස සිට හොඳ නරක කියාදී මෙහෙයවීම තමයි වඩා හොඳ?

ළමයින් ඉදිරියේ ‘‘තාත්තා’’ ගෙදරදී කොහොම හැසිරිය යුතුද? වැඩිහිටියන්ගෙ ප්‍රශ්නවලදී? 

වැඩිහිටියන්ගෙ ප්‍රශ්න දරුවන් ඉදිරියේ මාතෘකාවට ගත යුතු නැහැ. ඒ ස්වභාවයේ ඉන්න මම උපරිම උත්සාහ ගන්නවා. 

දරුවන් එක්ක ඔබ සෙල්ලම් කරන්න එළියට යනවද?

අන්න එතැනදි මට ඒක කරන්න ටිකක් බැරි වෙනවා. ඒ නිසා එයාලා ඉතින් නෝක්කාඩුත් කියනවා. ඒත් එයාලා දන්නවා, ඒකට හේතුව, මම එයාලා එක්ක ඉන්න උත්සාහ ගන්න බව එයාලට තේරෙනවා. කොහොම වුණත් මගෙන් වෙන එකම අඩුපාඩුව එය වෙන්නැති. ගෙදර ඉන්න වෙලාවට මම කරන්නෙ එයාලව අවුස්සන එක තමයි, එක්කෙනෙක් හරි ගෙදර හිටියෙ නැත්නම් මටත් ඉතින් අමාරුයි. එයාලව පේන්න ඉන්නවට මම ආසයි. ඒ නිසා ඉන්න වෙලාවට එයාලා එක්ක රණ්ඩු වෙවී, යාළුවෙවී තමයි ඉන්නෙ. අම්මා - තාත්තාට, ආච්චි - සීයාට ගරුකරන සමාජයට ගරු කරන මිනිසුන් විදියට එයාලව හදා ගන්න තිබුණොත් මට ඒ ඇති. 

දරුවන්ගෙන්, අනාගතයේදී ඔබ පිළිසරණ පතනව ද? එහෙම අපේක්‍ෂා කළ යුතුම ද? 

තමන් දෙයක් කළ පසු නිහඬවීම හැර, ඒ වෙනුවෙන් අැගයීම් අපේක්‍ෂා කළ යුතු නැහැ. අැගයීම් හොයන්නෙ තමුන්ගෙන් දෙයක් නොවුණාමයි, මගෙන් මේ දේ වුණේ නැහැ නේද කියන බය නිසයි. ඒ නිසා හරි දේ කළාම, පෙරළා ඒ දේ අපට ලැබෙයි. ඒ වගේම පුළුවන් තරම් ආදරය දුන්නාම, දරුවන්ටත් අපිව නැතිව ඉන්න බැරි තරමට දැනේවි. අන්න ඒ තැනට තමයි අපි දරුවන් පත්කළ යුත්තේ. හැබැයි වැරදි නොපෙන්වා අසීමිතව ළමයින්ට ආදරය කළ යුතුත් නැහැ. ආදරය කියන්නෙ නිතරම දරුවන් තුරුලු කරගෙන සිටීම නෙවෙයි. කියන – කියන දේට හා කියලා ඔළුව අතගාන එකත් නෙවෙයි, ඒ දරුවාව හරි මාර්ගයට ගෙන යාම සඳහා වන වටපිටාව අපි හදලා දෙන්න ඕනෑ. 

සමාජ මාධ්‍යය, භාවිතයේදී සහ ජංගම දුරකථන භාවිතයේදී ළමයින් ඒවායින් ඈත් කළ යුතුය කියන මතයේදී ඔබ පියකු ලෙස දරන මතය? 

අපට ජයගන්න තියෙන දරුණුම ප්‍රශ්නය ඒක. සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන ගැන මාධ්‍ය ඔස්සේ කතා වෙන අතර, අධ්‍යාපන ක්‍රමයේදී ජංගම දුරකථනය අත්‍යවශ්‍ය මෙවලමක් වෙලා. පණිවුඩ හුවමාරුවට, ගෙදර වැඩ එවීමට සහ ඔන්ලයින් ඉගැන්වීමට. අධ්‍යාපන ක්‍රමය ඇතුළෙම ඒක තියෙද්දි, ළමයාට කියන්න බැහැනෙ ඒකට විතරයි අපි ඔයාට ෆෝන් එක දෙන්නෙ කියලා. අද පරම්පරාවේ ළමයි තාක්‍ෂණය හොඳට දන්නවා. ඒ සියලු දේ අතරේ එයාලගෙ කරදඬු උස්මහත් වෙනකල් අපි නිරන්තරව රැකවරණයක් දෙන්න උත්සාහගැනීම මගේ විදියයි. එහි අනිසි දේ ගැන මම වටහා දෙනවා.

සඳුන් ගමගේ