එදා ඉඳලම මම සනත් ජයසූරිය අයියා ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි බලන්න ආසා කළා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් චරිතයක් නොවුවද, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුණේ පසුගියදා නිමාවූ ඔස්ට්‍රේලියා සහ පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේදීය. එම රටවල් දෙකට එරෙහිව විශිෂ්ට ලෙස පන්දු යවමින් කඩුළු පිට – කඩුළු ලබාගත් ‘‘ප්‍රභාත් ජයසූරිය’’ ගැන රටම කතාබහ වන මොහොතක, වමතින් දඟ පන්දු යවමින් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ වමත් දඟයා එක්ක අපි කතා බහකට එක්වෙමු.
මෙච්චර දවසක් සැඟවී තිබූ මැණිකක් වගේ කියලයි, බොහෝ විචාරකයින් කියන්නෙ, ප්‍රභාත් ඇත්තටම ඔබටත් එහෙමද හිතෙන්නෙ?
මීට පෙර මම ශ්‍රී ලංකා ‘‘ඒ’’ සංචිතයට, පසුව දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට, ක්‍රීඩා කළා. ඒත් එක්දින තරග දෙකක් විතරයි මට ක්‍රීඩා කරන්න ලැබුණෙ. වෙළඳසේවා ක්‍රිකට් තරඟයකදී ආබාධයකට ලක්වුණා. වසර දෙකකට ආසන්න කාලයක් එය සුව වෙනකල් හිටියෙ. 2019 දී ආයෙත් ශ්‍රී ලංකා ''A'' පිළට, සභාපතිගෙ පිළට, දිගටම ක්‍රීඩා කළා. 2021 දේශීය සුපර්ලීග් තරගාවලියේදී හොඳම පන්දු යවන්නා වුණෙත් මම. මෙවර ඔස්ට්‍රේලියාව මෙහෙට ආවම ‘‘ඒ’’ කණ්ඩායම නියෝජනය කළා. ඉන්පසුව තමයි ඔස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබුණෙ.
ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉණිම දෙකේදීම විකට් (කඩුළු) 12 ක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකීය පන්දු යවන්නා ඔබ නේද?
මම හිතන්නෙ ඔව්.
‘‘ප්‍රභාත්ගෙ’’ ගම?
මාතලේ. මුලින්ම ඉගෙන ගත්තෙ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්. වයස 13 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් තමයි ක්‍රීඩාවට අවතීර්ණ වුණේ.
ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමට වශේෂ හේතුවක් තිබුණද?
විශේෂ හේතුවක් තිබුණෙ නැහැ, මගේම ආසාව සහ උනන්දුව නිසයි ක්‍රිකට් තෝරා ගත්තෙ.
එදා ප්‍රභාත්ගෙ ක්‍රිකට් වීරයින් වුණේ?
එදා ඉඳලම මම සනත් ජයසූරිය අයියා ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි බලන්න ආසා කළා. එදා 13 න් පහළ ක්‍රිකට් පටන් ගනිද්දී අපේ පාසලට ක්‍රීඩා පිටියක්වත් තිබුණෙ නැහැ. 13 න් පහළ ක්‍රීඩා කරද්දී මගේ වයස අවුරුදු 11 යි. එදා ඉඳලම ආසා කළේ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයින්ට.
ප්‍රභාත් මොන වගේ පවුලක කෙනෙක්ද?
බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක්. මුලින්ම අපේ තාත්තා සේවය කළේ රියැදුරු අංශයේ. පසුව තාත්තා - තාත්තාගෙම වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. තාත්තා ඒ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගත්තා. අම්මා රැකියාවක් කළේ නැහැ. මගේ ක්‍රිකට් ගමනට ලොකු හයියක් වුණේ අම්මා. මාව නිතරම උනන්දු කළේ අම්මා. තාත්තා අකමැති වුණේ නැහැ, ඒත් එයා හිතුවෙ ක්‍රිකට් නිසා මම අධ්‍යාපනය කඩාකප්පල් කරගනීවි කියලයි. පසු කාලයකදී තාත්තත් සපෝට් කළා.
පවුලේ අනෙක් අය කවුද?
අක්කයි, මල්ලියි, මමයි. මම මේ වනවිට විවාහකයි, පුංචි දියණියක් සිටිනවා.
ප්‍රභාත්ගෙ ආදරණීය බිරිඳ ගැන කියමු. ඇය මුණගැහුණෙත් ක්‍රිකට් නිසාද?
ක්‍රිකට් නිසා නෙවෙයි. කලින් දැන හඳුනාගෙන හිටියෙ. ඒ ඇසුර කතාබහක් දක්වා දුරදිග ගියා. ඉන්පසුව කාලය ගතවෙද්දී අපි පෙම්වතුන් බවට පත්වුණා.
ඇයගෙ නම? ඇයි ඇයටම හිත ගියේ?
රනීෂා මිරැන්ඩෝ. කතාබහ කරද්දී, අදහස් ප්‍රකාශ කරද්දී මට ගැලපෙන්නෙ ඇය තමයි කියලා හිතුවා. ඒ හිතපු විදිය හරි. ක්‍රිකට් ගැන නම් එයාට අවබෝධයක් තිබුණෙ නැහැ. මුලදි අපි යාළු වෙද්දි එයා මැච් එකක්වත් බලලා තිබුණෙ නැහැ. ඒත් මාව තේරුම් අරගෙන ක්‍රීඩාව කරගෙන යන්න එයා මට උදවු කළා. ඒ තේරුම් ගැනීම තමයි හරි වැදගත්.
රනීෂා මොනවද කරන්නෙ?
කලින් රැකියාවක් කළා. ඒත් දැන් දුව ලැබුණට පස්සෙ එයා ඒ රැකියාවෙන් අයින් වුණා. දුවගෙ නම තිහෝන් ඩියෑනා.
‘‘ප්‍රභාත්’’ මොන විදියෙ කෙනෙක්ද?
ජීවිතයට බරපතල විදියට ප්‍රශ්න ඇඟට ගන්න කෙනෙක් නෙවෙයි. බොහොම සරලව, සැහැල්ලු මනසකින් ඉන්න කැමතියි. කාටවත් කරදරයක් නැතිව මගේ පාඩුවෙ ඉන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ අතරේ කාටහරි පුළුවන් උදවුවක් කරන්න උත්සාහ ගන්නවා.
‘‘ක්‍රිකට්’’ සමග කරන වෘත්තිය?
‘‘වෙළඳසේවා’’ තරග වෙනුවෙන් හේලීස් ආයතනයට ක්‍රීඩා කරනවා. අන්තිමට මම ඉගෙන ගත්තෙ කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන්. පාසලෙන් ඉවත් වුණාම ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ සේවය කළා. ඒ රස්සාව කළෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන අතරේදියි. සා/පෙළ කළාට පස්සෙ මාතලේ සිට ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණාම කොළඹ නතරවී ක්‍රිකට් ක්‍රීඩා කළේ. ඒ නිසා, ගෙදරට කරදරයක් නොවී ජීවිතය ගෙන යන්න ඕනෑ වුණා. නමුත් අද නම් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිව්වොත් හරි.
ක්‍රිකට් හැර ප්‍රභාත් වෙන දක්ෂ වුණේ?
දක්ෂ නැතත්. රග්බි සහ හොකී ක්‍රීඩාවට ආසයි. පාපන්දු මැච් නරඹනවා.
ලෝක පූජිත සනත් ජයසූරිය හමුවූ දිනෙක, එදා ඔබගේ වීරයා වුණේ ඔහු කියලා, කිව්වද?
නැහැ, මට එහෙම කියන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.
යාළුවො කියන්නෙ ප්‍රභාත් නිතරම පාඩුවෙ ඉන්න කෙනෙක් කියලයි?
එහෙම ඉන්න එක හොඳයි නේද? මගේ වගකීම හරියට කිරීම තමයි අරමුණ.
ක්‍රිකට් මග හැරුණේ නම්, මොන වගේ දෙයක් කරන්න තිබුණද?
එහෙම නම් තාත්තා වගේ වාහන හෝ වෙනත් ව්‍යාපාරයක් කරන්න ඉඩ තිබුණා.
කාර් රේස්වලට ආසලු නේද?
කාර්වලට ආසයි, යාළුවෝ එක්ක ගමන් ගිහින් තියෙනවා. ඒත් රේස් පැදලා නැහැ. කාර් රේස් පැදීම කියන්නෙ වෙනමම පුරුදු පුහුණු විය යුතු දෙයක්නෙ.
කොහොමද ප්‍රභාත් විවේකය ගත කරන්නෙ?
ක්‍රීඩාව නිසා විවේකය හරිම අඩුයි. ඒ නිසා විවේකය ලැබුණ සෑම මොහොතකදීම පවුලේ අය එක්ක ගෙදර ඉන්න තමයි කැමති.
ප්‍රභාත් වැඩියෙන්ම ආස ‘‘නෝනා’’ උයන කෑම කන්න කියලයි ආරංචිය, මොකක්ද රහස?
එයාට හරි රහට කෑම උයන්න පුළුවනි. එයා හදන කෑම හරි රසයි. අපෙ අම්මා හදන කෑම තමයි අංක එකට රස. ඊට පස්සෙ ‘‘රනීෂා’’ ගේ කෑම. මට එච්චර සංකීර්ණව කෑම හදන්න ඕනෑත් නැහැ. පොල් සම්බල, පරිප්පු, කරවල තෙල් දාලා තිබුණාම හොඳටම ඇති.
අද ප්‍රභාත්ගෙ ජීවිතේ අරමුණ මොනවද?
මට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබුණෙ වයස අවුරුදු 30 දි. ඒ වයසෙදි ඇවිත් කාලයක් හොඳට ක්‍රීඩා කරලා ක්‍රීඩාව නිම කළ ක්‍රීඩකයින් සිටිනවා. මාත් ඒ වගේ අනාගතයෙදී ක්‍රීඩාව හොඳින් නිමා කිරීමට ප්රයත්න ගන්නවා. හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියාගෙන රටට හොඳම දෙයක් කිරීම තමයි අරමුණ.
ප්‍රභාත්, පන්දු යවන්නෙ වමතින්, නමුත් පන්දුවට පහර දෙන්නෙ දකුණතින්, වම දකුණ දෙකම හුරුයි නේද?
දකුණතින් පන්දුවට පහරදීම පටන් ගත්තෙ කුඩා කාලයේදීමයි. ඒ නිසා දිගටම ඒ විදියට හුරු වුණා. ඒත් පන්දු යවන්නේ එදා ඉඳලම වමතින්.
වමතින් බැට් කරලාම නැද්ද?
කරලා තියෙනවා. දකුණට වඩා හොඳින් බැට් කරනවා කියලා යාළුවෝ මට කියලත් තියෙනවා.
සඳුන් ගමගේ