එක වතාවක මම අමතක නොවනම දඩුවමක් විඳලා තියෙනවා
මෙවර ‘‘ඉස්කෝල කාලේ’’ විශේෂාංගයෙන් සැඳැල්ල හා එකතුවන්නේ මේ දිනවල ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ආදරණීයම චරිතයක්.
ඔහු සචින් ලියනගේ.
මම එක වසරෙ සිට 13 වසර දක්වාම ඉගෙනගත්තෙ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලේ. ඉතින් පුංචිම කාලේ නම් මම හරිම අහිංසක චරිතයක්. මම ඉස්කෝලෙ ගියේ මුල්ම කාලේ නම් අඩ අඩා තමයි ගියේ. ඒ මතකය ලාවට වගේ තියෙනවා. ඉතින් මට එක වසරෙදි මගේ ළඟම ඩෙස්ක් එකේ හිටපු යාළුවෝ දෙන්නා මතකයි. ඒ රිච් සහ නුවන්. තවමත් ඒ දෙන්නා මගේ යාළුවෝ. ඉතින් එදා ඒ හම්බවෙලා කතා කරපු දවස නම් මගේ මතකයන් අතරේ තියෙනවා.
පුංචිම කාලෙ මම හොඳට ඉගෙනගත්තා. ඒ කාලේ පන්තියේ පළවෙනියා දෙවැනියා වගේ වෙනවා. ගණිතය එහෙම හොඳටම පුළුවන්. ළමයි ඒ කාලේ ගණිතය විෂයට අදාල දේවල් අහගන්න මගේ ළඟට එනවා.
ඒ කාලේ ඉතින් ඉගෙනීම සම්බන්ධයෙන් තමයි ලොකු උනන්දුවක් තිබුණේ. ඉතින් ගුරුවරුත් ගොඩක් ආදරෙයි මට. මොකද ගොඩක් අහිංසකකමට හිටියත් එක්කනෙ.
ඒ කාලෙදි අමතක නොවනම සිදුවීමක් තියෙනවා. අපි 5 වසරට එනකම් හිටියේ ප්‍රාථමික විදුහලේ. ප්‍රාථමික විදුහල ඇතුළට සෙල්ලම් කරන්න බෝල එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් මට පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් පිස්සුව තිබුණා. අපි පොඩි කාලේ විවේකයක් ලැබුණ ගමන්ම ක්‍රිකට් සෙල්ලම් තමයි කරන්නේ. ක්‍රිකට් ගහන්න බෝල නැති නිසා කොට්ටම්බා ගෙඩි තමයි සෙල්ලම් කරන්න යොදාගත්තෙ. ක්‍රිකට් ගහන්නෙත් කැච් අල්ලන්නෙත් ඒවගෙන් තමයි.
එක දවසක් අපි කැච් අල්ලද්දී කොට්ටම්බා ගෙඩිය උඩින් ගිහින් මගේ යාළුවාගේ ඔළුවෙ වැදුණා. ඉතින් ඒක වැදුණම මම හිනාවෙවී ඉන්නවා යාළුවා අනිත් අතට ආයෙත් මට ඒක එවනකම්. ඒත් යාළුවා හොඳටම අඩනවා. මම ඒක දැක්කෙ පස්සේ. ළඟට ගිහින් බලද්දී යාළුවගේ ඔළුව පැළිලා. මම ඒ වෙලාවෙ ගොඩක් බය වුණා. එතකොට අපි 4 වසරෙ. ඇත්තටම ඉතින් ඒ කාලේ අදටත් අමතක වෙන්නෙම නැති සිදුවීමක්.
5 වසරෙන් පස්සේ මම ටිකක් දඟ වුණා. ඉගෙනීමත් ටිකක් විතර අඩු වුණා. ඒ මම ක්‍රිකට් වලට සම්බන්ධ වුණ නිසා. 5 වසරෙන් පස්සේ වගේ මගේ ජීවිතේම වුණේ ක්‍රිකට්. ඉස්කෝලෙ ඇතුළේ මාව ගොඩක් ජනප්‍රියයි. ඒ ක්‍රිකට් නිසා. ක්‍රිකට් ගහන සචින් කිව්වම අපේ ඉස්කෝලේ විතරක් නෙමෙයි වටේ පිටේ ඉස්කෝල වලිනුත් දන්නවා. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාවට ඇලිලා හිටියේ.
ඒ කාලේ පාසල් රැස්වීමේදී නිතරම මගේ නම කියනවා. ඒ මම ක්‍රිකට්වලින් ජයග්‍රහණ එහෙම ලබාගන්න හින්ද. ඉස්කෝලේ ක්‍රිකට් නායකයා විදියට අවුරුදු 2ක් වැඩ කළා. ඒවත් එක්ක මට ඉස්කෝලේ ඇතුළේ හොඳ ජනප්‍රියත්වයක් තිබුණා. ඒ නිසාම ගොඩක් යාළුවොත් හිටියා.
ඒ කාලේ මට තිබුණේම ක්‍රිකට් පිස්සුව තමයි. ඉස්කෝලේ 1.30 අවසන් වුණත් 4.30 වෙනකම් වගේ පුහුණුවීම් වල නිරත වෙනවා.
ඉතින් ඒ කාලේ මගේ ඇඳුම් වල ගන්න දෙයක් නැහැ. දූවිලි බැඳිලා හරිම කිලිටියි. ඒ වගේම ඒ කාලේ හරි කැතයි මම. ඒ නිසා ගැහැණු ළමයින්ගේ ආකර්ෂණයක් එහෙම තිබිලම නැහැ. ඇත්තටම කිව්වොත් මට කවදාවත් පාසල් ප්‍රේමයක් තිබිලාත් නැහැ. ඒ කාලේ ආදර සම්බන්ධතා නිල්. හොඳම දේ කියන්නේ 9, 10 වසරට ආවම වගේ යාළුවෝ ගෑණු ළමයින්ට ලව් ලෙටර්ස් ලියනවනෙ. ඉතින් මට ඒවා ලියන්න ගැහැණු ළමයෙක් නැහැ. මට ඒක මදිපුංචිකමක්. ඉතින් මම කරන්නේ පන්තියේ අකුරු ලස්සනටම ලියන ළමයාටම කියලා ලව් ලෙටර් එකක් බොරුවට ලියා ගන්නවා. මම කැමැත්තෙන් හිටපු කෙල්ලෝ එකක් දෙකක් හිටියා. ඒත් අපි දිහා බලන්නේ නැහැ. කව්රුත් මම O/L කාලෙදි එක ගැහැණු ළමයෙක්ගෙන් යාළුවෙන්න ඇහුවත් කැමති වුණේ නැහැ. සමහර වෙලාවට ඒ ගැහැණු ළමයින්ගෙන් යාළුවෙන්න අහන්නත් බයයි. මොකද අපේ ඉස්කෝලෙ පිරිමි ළමයි විතරක් හිටපු නිසා. ගිහින් කතා කරන්න පොඩි චකිතයක් තිබුණා. මම අක්කලා තුන්දෙනෙක් එක්ක හැදුනු නිසා මට ඒ දේ ලොකුවට නොදැනුනත් මගේ යාළුවන්ට ඒ නුහුරු බව ගොඩක් දැනුණා. ඒ කාලේ ගැහැණු ළමයෙක් එක්ක කතා කරන එක මැජික් එකක් වගේ. යාළුවෝ දවස් ගණන් කට්ට කනවා ගැහැණු ළමයෙක් යාළු කරගන්න. නමුත් A/L කරන කාලේ වගේ නම් ගැහැණු යාළුවෝ ගොඩක් හිටියා.
ඒ කාලේ ඉතින් අපිට තිබුණු ලොකුම ආසාව තමයි ඉස්කෝලේ 1.30 අවසන් වෙනවනම් 1.15 වගේ ඉස්කෝලෙන් පනින එක 1.30 වෙනකම් ඉන්නම බැහැ. ඒක මාරම ජොලියක් වුණා අපිට.
ඒ එක දවසක මාරම සිද්ධියක් වුණා. අපේ ඉස්කෝලෙ තාප්ප උඩ කටු අල්ලලා තියෙන්නේ. අපි ඒවා උඩින් මාරම සූක්ෂම විදියට තමයි ලොකු ගේමක් දීලා පනින්නේ. ඉතින් එක දවසක් අපි 4 දෙනෙක් පනින්න යද්දී යාළුවෝ දෙන්නෙක් මුලින් පැන්නා. ඊට පස්සේ මමයි, තව යාළුවෙකුයි තමයි පනින්න හිටියේ. ඒ පැන්න ගමන් බ්රාස් ගාලා සද්දයක් ආවා. මම හිතුවා ඒ වෙලාවේ යාළුවාගේ කලිසම ඉවරම තමයි කියලා. ඉතින් මම යාළුවට හිනාවෙවී යද්දී යාළුවා පිටිපස්ස හැරිලා බැලුවා එයාගේ කලිසම ඉරිලා නැහැ.
බලද්දී මගේ කලිසමේ කෑල්ලක් තමයි ඉරිලා තියෙන්නේ. මම එදා කොහොම හරි බෑග් එක පිටිපස්සට දාගෙන ඉරුණු එක නොපෙනෙන්න ගියා. මොකද මම යන්නෙත් බස් එකේනේ. අපේ ඉස්කෝලේ වටේටම ගැහැණු ළමයින්ගේ ඉස්කෝල තිබුණෙත්. ඒ ඉස්කෝලවල ගොඩක් දෙනෙක් ගියෙත් අපි ගිය බස් වල. ඉතින් එදා ගොඩක් අමාරුවෙන් තමයි ගෙදර ගියේ. ඒ මොහොත අද මතක් වෙද්දීත් මාර අවුල්. යාළුවට හිනාවෙන්න ගිහින් මටම තමයි ඒ දේ සිද්ධ වෙලා තිබුණේ.
අපි ගොඩක් වෙලාවට උදේට නම් ලකුණු කළාම හාෆ් ඩේ දාලා ඉස්කෝලෙන් පැනලා තියෙනවා. ඒ වගේම පීරියඩ් කට් කරනවා. ගොඩක් වෙලාවට ගණිතය විෂය කට් කරන්නේ. 5 වසරෙන් පස්සේ මම ගණිතය විෂයට තිබුණු කැමැත්ත නැති වුණා. 6 වසරෙන් පස්සේ මට එපාම කරපු විෂය තමයි ගණිතය. ඒ නිසා වැඩිපුර ඒ විෂයට පන්තියේ හිටියෙම නැති තරම්. ඉතින් මේ වැඩ තමයි ඉස්කෝලෙ කාලේ කරපු ජල්තර වැඩවලට තියෙන්නේ නම්.
එක වතාවක මම අමතක නොවනම දඩුවමක් විඳලා තියෙනවා. ඒ උදේ 11 ඉදන් හවස 4 වෙනකම් දණ ගහගෙන ඉඳලා තියෙනවා. අන්තිමේට 4ටත් මාව ගෙදර යැව්වේ මුළු ඉස්කෝලෙම තියෙන ගස් කොළන්වලට වතුර දාන්න කියලා. ඒ සිදුවීම නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
ඇත්තටම ඒ දඩුවම් පවා අද වෙද්දී හරි සුන්දර මතකයන් වෙලා තියෙනවා ජීවිතේ. මට මතකයි අපි ඉස්කෝලෙ ගුරුවරු නැති වුණාම කරන්නේ පන්තියේ ඉස්සරහ තියෙන ඩෙස්ක් ටික පිටිපස්සට දාලා පන්තිය මැද හිස් කරගන්නවා. හිස් කරගෙන මැද ග්‍රවුන්ඩ් එකක් හදාගෙන ඒක ඇතුළේ ක්‍රිකට් ගහනවා. ඒ වගේම තව සෙට් එකක් පපරේ ගහනවා වගේ අපේ මැච් එකට සින්දු කියනවා. ඒ කාලේ ඉතින් මාරම ජොලි. දැන් වගේ අපිට ජීවිතේ බරක් දැනිලා නැහැනේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු සුන්දර කාල සීමාවක්නේ ඒ. ඉස්කෝලේදි කෑම කන්නෙත් ඔක්කොම එකට. අපේ පන්තිවල A,B,C,D පන්ති ඔක්කොම ඒ කාලේ මාර එකතුයි.
ඉතින් කෑම කද්දිත් ඒ හැම පන්තියකම කෑම කනවා. හැමෝම හරිම එකමුතුවෙන් තමයි හිටියේ. අදටත් ඉතින් අපේ යාළුවෝ එකට මුණගැහුණම ඒ අතීතය සිහිපත් කරනවා. දුවලා පැනලා මාරම විනෝදෙන් ඒ ගෙවපු සුන්දර කාලේ අපේ ජීවිතේට ආයෙත් එනවනම් කියලා හිතෙනවා. මොකද අද වගේ හිතට බරක් නැහැනේ ඒ කාලේ. ඇත්තටම මීට අවුරුදු දෙකකට වගේ පෙර මම රංගන වැඩ කටයුත්තකට පාසල් නිල ඇඳුමක් ඇන්දා. ඒ තුළින් මට දැනුණේ නැවතත් ඉස්කෝලේ කාලෙට ගියා වගේ තමයි. මාරම හැඟීමක් දැනුනේ ඒ ඇඳුම ඇඟට දාගත්තම. අපේ ජීවිතේට ආයෙත් කවදාවත් එන්නේ නැහැ කියලා හිතෙද්දීත් මාරම දුකයි. ඇත්තටම මම මගේ ඉස්කෝලේට මාරම ආදරෙයි. ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙක්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් හීනයක් තියෙනවනෙ තමන්ගේ ඉස්කෝලේ දේකට කවදා හෝ ආරාධිත අමුත්තෙක් විදියට සම්බන්ධ වෙන්න. මටත් ඇත්තටම ඒ ආසාව තියෙනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත් ගොඩක් කැමැත්තෙන් සම්බන්ධ වෙන්නේ. ඒක මගේ ලොකු හීනයක්.
ධනු විජේරත්න