එක තැනක හිර වෙලා එකම දේ කරන්න මම ආස නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවකතා කරුවෙක්, ගී පද රචකයෙක් මෙන්ම කවි නිසඳෑස් රචනා කරන තරුණ ලේඛයෙකු ලෙස අකිල රෝද්‍රිගෝ අපිට හඳුන්වා දිය හැකිය. මේ වනවිට ගී පද රචකයෙකු ලෙස ක්ෂේත්‍රය තුළ තම ස්ථාවරත්වය ක්‍රමයෙන් ගොඩ නගා ගනිමින් සිටින අකිල, ඔහු ගැන අපට මෙසේ පැවසුවා.

ගී පද රචකයෙක් විදිහට ඔබේ ගමන පටන් ගැනීම කොහොමද?

ගී පද රචකයෙක් වෙන්න ආසාවක් තිබුණ ගීතයක් තේරුම් ගන්න පුළුවන් කාලෙ ඉඳන්ම. දකින දේ සහ දැනෙන දේ ලියන්න ඒ දවස් වල ඉඳන් උත්සහ කළා. පාසල් කාලයේ පාසලේ යම් යම් වැඩ වලට සුළුවෙන් ගී පද රචනා කරල උපකාර වෙන්න මට පුළුවන් වුණා. මං හිතන්නෙ ඒක තමයි මං ලබපු පළවෙනි පුහුණුව ගී පද රචකයෙකුගෙ වගකීම් සහ ක්‍රියාකලාපය ගැන. මගේ පළවෙනි ගී පද රචනය විදියට සමාජ මාධ්‍යයන්ට එක්වෙන්නෙ අමිත් ජී ආරච්චි ගායනා කරන ඔහු විසින්ම සංගීතවත් කරපු "කලා වැව් ලිහිණිය" ගීතය. ඒ මීට වසර එකහමාරකට පමණ පෙර.

ඔබ ගී පද රචකයෙක් පමණද?

නැහැ. ඇත්තටම මම කවි ලියන්න ගොඩක් කැමතියි. සමාජ මාධ්‍ය වල මේ වෙද්දි මම විවිධ ශෛලීන් වලට ලියපු කවි එකතුවක් තියෙනව. පහුගිය වසරෙ අග මම මගේ කුළුඳුල් නවකතාව එළිදැක්වුවා. "මඩොල්සිම මීදුම" තමයි මගේ නවකතාවෙ නම. ඒක සත් ඈඳුතුවක්. ඒකට ඈඳුනු තව පොත් හයක් කලින් කලට කරලියට පැමිණේවි. සමාජ මාධ්‍ය වල ආදරය, විරහව සම්බන්ධයෙන් හඬ මුසු කරල ප්‍රචාරය වන නිසදැස් ආරේ නිර්මාණත් මගෙ අතින් ලියවිලා තියෙනව. ඒ අතරින් ශනිල්ක මුණසිංහ හඬ මුසුකරපු "ප්‍රේමණීය ව්‍යසනය" මෑතකදි ඉතා ජනප්‍රිය වුණා. ඒ හඬපටය මේ වෙද්දි මිලියන තුනකට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනව.

ලියන්න දක්ෂද ඔබ. හැකියාව හඳුනගත්තේ කොහොමද?

රචනයේ දක්ෂතාවයක් තියෙනවා කියල මට මං ගැනම තක්සේරුවක් තියෙනවා. ඒක හඳුනාගත්ත විදිය ගැන කතා කරද්දි පාසල් කාලය ගැන කතා නොකර බැහැ. හතර ශ්‍රේණියෙදි මම මගෙම ආසාවට ගමක ඉන්න කුඩා ළමයෙක් ගැන කවි පනහක කවි පන්තියක් රචනා කරා. මහනුවර සරසවි උයන විද්‍යාලයේදීත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේදීත් අන්තර් පාසල් සහ සමස්ත ලංකා කාව්‍ය, ගී පද රචනා,   ගද්‍ය රචනා,  කෙටි කතා තරඟ වලින් ජයග්‍රහණ ලබන්න මට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් මාව උනන්දු කරවපු සහ දිරිගන්වපු දේවිනී ගම්ලත්, රසිකා හලංගොඩ, පවිත්‍රා දෙල්ගොඩ සහ ශාන්ති සෙනෙවිරත්න යන ගුරු මෑණිවරුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.

දැනට කරලා තියෙන නිර්මාණ?

ධර්මරාජයේ සංගීත අංශයේදි මට මුණගැසුණු ආදරණීය සගයා තමයි අමිත් ජී ආරච්චි. සමාජ මාධ්‍ය වල ඔහු ජනප්‍රිය වෙලා ඉන්නෙ යෞවනයේ රෝමාන්තිකම වයන්නා කියන අන්වර්ථ නාමයෙන්. කලා වැව් ලිහිණියගෙන් පටන් ගත්ත තැන ඉඳන් අද වෙනකොට අපි දෙන්නගේ සුසංයෝගයෙන් ගීත විස්සකට වැඩි ප්‍රමාණයක් අපි එළිදක්වල තියෙනව. තවත් වෙනස් ශෛලීන් වල බොහෝ නිර්මාණ ඉදිරියේදී පැමිණෙන්න නියමිතවත් තියෙනව. විරාජ් භාතිය ගායනා කරන මම රචනා කරපු සුගලාවි ගීතය ලංකාවෙ ජන සංගීතය සහ ඉතිහාසයට ආදරේ කරන අය අතරෙ ගොඩක් ජනප්‍රිය වුණා. මේ පාර දෙරණ සිහින තරුව වුණු දුලංග සම්පත්⁣ , ගායන ශිල්පී තියුණුවන් ප්‍රබුද්ධික සහ ⁣සිරස වොයිස් වේදිකාවේ නොමැකෙන හඬක් වුණු  ආශ්කා කුලතුංග සමඟ නිර්මාණ කිහිපයක් කරගෙන යනවා. ඊට අමතරව තවත් ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙක් සමඟ නිර්මාණයන්ට දායක වෙමින් ඉන්නවා.

අද ගොඩක් ලියන පිරිස් එකම රාමුවකට කොටුවුණ බව දකිනවා. ඔබත් එහෙමද?

නැහැ. කොහොමටවත් නැහැ. මගේ ශෛලිය වෙනස් සහ බොහෝ විට සරල ව්‍යංගවත් බවක් මගේ නිර්මාණ වල අන්තර්ගත වෙනව. නිර්මාණකදි මම මගේ උපරිම නිදහස ගන්නව. යන්න පුළුවන් උපරිම දුරට මගේ සිතුවිලි අරන් යනවා. එක තැනක හිර වෙලා එකම දේ කරන්න මම කොහෙත්ම ආස නැහැ. මේ වෙද්දි මම කරල තියෙන නිර්මාණත් එකකට එකක් පැහැදිලිවම වෙනස්. කිසිම රසවින්දනයක් නැති තාලය විතරක් ඇඟට දැනෙන විලාප වගේ නිර්මාණ දැන්  බිහිවෙනව වැඩියි. මම ශෛලියකට ගරහනවා නෙමෙයි. මටත් ඒ වගේ පද රචනා වලට ආරාධනා ගොඩක් එනව. ඒත් මං ඒව බාර ගන්නෙ නෑ.

ඉදිරිය කොහොම වෙයිද?

ඉදිරිය සුභ වේවි කියන බලාපොරොත්තුව තියෙනව. මම කලා පවුලකින් එක කෙනෙක් නෙමෙයි. මගේ පවුලේ පේන දුරක ඉන්න කිසි කෙනෙක් කලාව කරපු අයත් නෙමෙයි. වැටි වැටී මේ අද වෙනකොට ආපු ඉතාම පොඩි ගමන පවා මම ආවෙ මගෙම උත්සහයෙන්. ඒ නිසා මට බොහෝ දේවල් දරාගෙන රචකයෙක් විදියට තවත් ඉදිරියට යන්න ශක්තිය තියෙනව. දැන් ආයෙමත් ⁣යොවුන් පිරිස ප්‍රබුද්ධ සහ ගැඹුරු රසවින්දනයක් සහිත විචාරාත්මක ගීත රසවිඳින්න හුරුවෙන බවක් පේනව. ඒ නිසා ඉදිරියේ කලාව තුළ යහපත් දේවල් බොහොමයක් සිදු වේවි.

ලේඛකයෙක්, පද රචකයෙක් විදිහට ඔබ අද ස්ථාවරද මේ ක්ෂේත්‍රය තුළ?

මම තවමත් ආධුනිකයෙක්. ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය කියල මම විශ්වාස කරන්නෙ නිර්මාණ අඩුවෙන් කරත් වැඩියෙන් කරත් අපි කරන දේ හරියට කරල හොඳ නරක  හැමදේම ප්‍රතිචාර විදියට ලබාගන්න එක සහ අඩුපාඩු හදාගෙන අඛණ්ඩව තමන්ගෙ වැඩ වල නියැලෙන එක. දැනට කරපු නිර්මාණ වලින් මම ඉතාම සෑහීමකට පත් වෙනවා. නැරඹුම් වාර ප්‍රමාණය මතවත් මට නිර්මාණයකින් ලැබෙන මුදල මතවත් මම මගේ ආත්ම තෘප්තිය රඳවල නැහැ. ඒ නිසා මම කරන වැඩේ ඇතුලෙ මම ස්ථාවරයි කියන මානසිකත්වය මට තියෙනවා.

උදව් කරපු අය ගැන කිව්වොත්?

ජීවිතේ කිසිම කෙනෙක් නොදන්නා තරමින් මම ඇදවැටුනු තැන් වලදි මගේ ලඟ හිටියෙ මගේ ආත්ම ශක්තිය විතරයි. හැමදාම මම ඒ ශක්තියට ස්තූතිවන්ත වෙනව. මට ලෝකය දකින්න සලස්වපු දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් මගේ මිතුරන්ටත් ඉදිරියට යන්න වචනෙකින් හරි දිරිගන්වන හැමදෙනාටමත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. නවකතාකරුවෙක් විදියට නැගී එන්න උපකාර කරපු හැම සහෝදරයෙක්ටම සහෝදරියකටම විශේෂයෙන් මම මගේ ස්තූතිය පළ කරනවා.

බුද්ධික සේනාධීර