ඉන්න හිතෙන රටක් වෙන්න නම් සියලුම මිනිස්සු මීට වඩා ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනෑ
ඇතුල්වීම තහනම් (සියත), කෝලම් කුට්ටම (ස්වර්ණවාහිනි), සර්කස්කාරයෝ (සිරස), ඒත් මම පණ පිටින් සඳමාලි (ITN) සහ විකාශය වූ කොඩි ගහ යට සමග ටෙලි තිරයේදී හමුවන සම්පත් ජයවීර, වේදිකාවේ දී ලෝරන්ස්ගේ මනමාලි, මම නොවේ වෙන කෙනෙක්, 2019 ජූලි මාසේ දවසක්, නිර්මාණවලට අමතරව කතුරු මිතුරු සහ රහස් කියන කඳු චිත්‍රපට සමග මේ දිනවල අපට හමුවෙයි. එකතකට මේ ගෙවෙන්නේ ඔහුගේ රංගන දිවියේ වසන්තය මෙනි. මේ වෙලාවේ ඔහු සමග කතා නොකර සිටිය හැකිද? මේ සියලු නිර්මාණවල චරිතවලට සාපේක්ෂව අපි සම්පත් එක්ක කතාබහක යෙදෙමු.
සම්පත් බොහොම කාර්ය බහුල වගේ?
මේ දවස් ටිකේ නම් ටිකක් එහෙමයි.
සම්පත්තේ රංගන ජීවිතයේ වසන්ත කාලය වගෙයි නේද?
ඒ වගේ ඉතිං නේද?
ටෙලි නාට්‍ය තිරයේ, වේදිකාවේ, සිනමාවේ මේ සෑම නිර්මාණයකදීම මේ දිනවල අපට හමුවන සම්පත් නැත්තෙ මොනවගෙද?
ඔක්කොම කරන්නත් බැහැනෙ. ඉතින් මම නැති තවත් නිර්මාණ තියෙනවා. පුළුවන් ටික තමයි ඔය කරලා තියෙන්නෙ සහ කරන්නෙ.
අපි මේ නිර්මාණ අතරින් කොතැනින්ද පටන් ගන්නෙ? කඳුවලට රහස් කියන්න පුළුවන්ද? ඒ නිසා අපි ‘රහස් කියන කඳු’ වලින් පටන් ගනිමු. කොහොමද මේ ෆිල්ම් එක ඔබට දැනෙන විදිය?
ජගත් කාලාන්තරයක් තිස්සේ මගේ මිතුරෙක්. ඒ නිසා ඔහුගෙ වැඩ ගැන සහ මේ වැඩේ ගැන මම දැනගෙන හිටියා. ජගත් මනුවර්ණ, නිර්මාණය කළ කෙටි චිත්‍රපට ත්‍රිත්වයක එකතුවක් ලෙස තමයි මෙය හඳුන්වන්න පුළුවනි. මේ ෆිල්ම් එකට පෙර කෙටි චිත්‍රපටවල ඔහු 2010 ඉඳලම කටයුතු කළා. 2017 දි තමයි මේ ෆිල්ම් එක කරන්න ලක ලැහැස්ති වුණේ. මේක අපි දන්න විදිය. මට පිටපත දීලා කතා කරද්දී මේක මට දැනුණෙ Black Comedy ගණයේ නිර්මාණයක් විදියට. එකම විදියට නිර්මාණ රස විඳින අයට මෙහි මුලක්, මැදක්, අගක් නොදැනෙන්න පුළුවන්. ඒත් කතාවක් තියෙනවා යම්කිසි අවධියකට ප්‍රේක්ෂකයන්ව ගෙනයාම සහ අත්දැකීම් තියෙන අයට ඒ ප්‍රකාශ කරන දේ සමපාත කිරීම මේ ෆිල්ම් එකෙන් ප්‍රකාශ වෙනවා. ජගත් එයාට දැනෙන දේශපාලනය එක්ක සහ ඔහුගෙ සිතිවිලිවලට අනුව නිර්මාණය කළ මේ රහස් කියන කඳු මේ දිනවල කොළඹ ඇති සිනමා ශාලාවලට අමතරව රටේ විවිධ ශාලාවල ප්‍රදර්ශනය වෙනව. විශේෂයෙන්ම කොළඹ සිනමා ශාලාවල හවුස් ෆුල්. කොළඹින් පිට නම් සමහර සිනමා ශාලා මේක නොපෙන්වනවාය කියන දේත් අහන්න ලැබෙනවා. සිනමා මාෆියාව නිසා.
රහස් කියන කඳු ෆිල්ම් එකේ ඔබගෙ චරිතය ජයන්ත ගැන දැනෙන හැඟෙන විදිය?
ඒ චිත්‍රපටය ඇතුළෙ යම්කිසි කණ්ඩායමක් ඉන්නවනෙ. ඒ ක්‍රියාවලියට තමන් කරන වැඩේ එක්ක හෘද සාක්ෂියක් ඇතිව ඉන්න සහ අනෙක් අය කරන වැඩේට විරෝධයක් දක්වන එකම පුද්ගලයා ජයන්ත.
මේ දිනවල ඔබ රඟපාන මේ චරිත අතරින් සර්කස්කාරයෝ නාට්‍යයේ චරිතය ඔබ ටිකක් ඕවර් ඇක්ටින් වගේ පෙනෙන්නෙ? ඇයි එච්චර සද්ද දාලා කතා කරන්නේ? ප්‍රේක්ෂකයින්ට හරි හිසරදයක් නේද?
ඒක ටිකක් විතර සියුම් විදියක අධිරංගනයක් වගේ තමයි. ඒක හිතාමතා කළ දෙයක් නෙවෙයි. සද්ධා අයියා සහ සිවා අයියා එක්ක කතා කරගෙන එයාලගෙ සිතැඟිවලට අනුව පිටපතේ විදියට තමයි ඒ රංගනය කරන්නෙ. සද්ධා අයියගෙ මනසෙ ඇඳුණු චරිතයක්, ඕනෑම දෙයකට පමණට වඩා ප්‍රතික්‍රියා කරන චරිත සමාජයේදී අපට හමුවෙනවානෙ. ඒ වගේ චරිතයක් තමයි විපුලන්ත.
මේ චරිත අතරින් සම්පත්ට වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ?
කෝලම් කුට්ටමේ දොළේ මහත්තයාට සහ කොඩිගහයට නාට්‍යයේ රඟපෑ ලෝයර්ගෙ චරිතයට ලැබුණෙත් ඉහළ ප්‍රතිචාර. අනෙක් සෑම චරිතයකටම ලැබෙන ප්‍රතිචාරත් එහෙමයි. මට හිතෙන්නෙ මිනිස්සු විවිධ විදියට ඒවා රස විඳිනවා. මේ කාලයේ මේ වගේ වැඩ තමයි කළ යුත්තේ. ඒවා තමයි දුවන්නෙ කියන මතය වෙනස්. එහෙම එකක් නැහැ. හොඳ නම් මිනිස්සු හොඳ දේ නරඹනවා.
කාලයක් අපේ රටේ ඉන්දියානු ටෙලි රැල්ල, කොරියානු රැල්ල වගේ ඒවා තිබුණානෙ. දැන් ඒ රැලි නැති එක ගැන ඔබට සතුටුද?
ඉතාම සතුටුයි. අපි මේ ක්ෂේත්රයට එන කාලයේදී තමයි ඔය රැලි තිබුණෙ. අකමැති වුණත් වෙන කළ යුතු දෙයක් නොතිබූ නිසා අපටත් ඒවා කරන්න සිද්ධ වුණා. මෙගාවලට විරුද්ධවත් අපි නිතරම හඬ නැගුවා. කොරෝනා වසංගත කාලයේදී පවා අපි ඒකරාශී වෙලා ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඒත් මොන විදියකින් හරි පසුව ආ මෙරට මෙගා රැලි නතර කරන්න අපට බැරි වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන් කොච්චර හොඳ දේ එක්ක සිටියත්, ඒ වගේ මෙගා රැල්ලක් ආවාම ඒක පරාජය කරන්නට අපට දශක දෙකක් විතර ගියා. මෙගා තමයි වැඩ, ගෙදර කාන්තාවෝ තමයි නාට්‍ය බලන්නෙ කියලා පිරිස් හදාගෙන හිටපු තර්කය බොරුව, මායාව එහෙම නෙවෙයි කියලා ඔප්පු කරවන්න පසුගිය කාලයේදී නිර්මාණකරුවන්ට පුළුවන් වුණා. ඒ එක්කම පරම්පරාවේ වෙනසත් ඒ වෙනස කරන්න හේතු වූ බව කියන්න පුළුවන්.
ඇතුල්වීම තහනම් සහ අනෙක් චරිතවල නම් ගැනත් කියමු?
ඇතුල්වීම තහනම් - යසරත්න හෙවත් විශ්ව. සඳමාලී මම රඟපාන්නෙ චරිත දෙකක්. ටෝනි විල්සන් නමැති චිත්‍රපට නළුවෙක්.
මේ චරිත අතරින් සම්පත්ගෙ හිත වැඩිපුර යන්නෙ?
ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බලද්දි මට හිතෙන්නෙ ඒ ඔක්කොම මම හොඳට කරලා තියෙනවා කියලයි.
සැබෑ ජීවිතයේ සම්පත්ගෙ චරිතය වැඩිපුර දැකගන්න පුළුවන් මොන චරිතයෙද?
මේ එකකවත් නැහැ.
ඔබ කැඩපත ඉදිරියට ගිහින් ඔබ ගැන විග්රහ කළොත්? ඔබට දැනෙන විදිය ගැන හැඳින්වීමක් කළොත්, කොහොමද එය කරන්නෙ?
මම සම්පත් ජයවීර. මට මම තමයි කියලා කියාවි.
මොනවද තියෙන දුර්වලකම්?
ටිකක් විතර කේන්ති යාම.
ඇයි එහෙම වෙන්නෙ?
ඒක දුර්වලකමක් වෙන්නැති. ඒ නිසා මට වගේම අනෙක් පාර්ශ්වයන්ටත් හානියක් වෙනවා ඇති. සමහර විට අසාධාරණකම් හමුවේ ඕනෑවට වඩා කතා කිරීමට යාම නිසාත් එහෙම වෙනවා. අනෙක් ශිල්පීන් වෙනුවෙන් පෙනී ඉන්න ගිහින් ඒ වගේම අසීරුතාවලට මුහුණ දීලා තියෙනවා.
සම්පත් ඇත්තටම මොන විදියෙ චරිතයක්ද?
මාව සමීපව ඇසුරු කරන යාළු මිත්‍රයින්ට මම ආදරණීය යාළුවෙක් වෙන්න පුළුවන්. උන් දන්නවා මගේ විදිය. අනෙක් හැමෝටම මම නිකම් එක විදියෙ චරිතයක්. ඒකට කමක් නැහැ. රටේ ඉන්න හැමෝම මාව තේරුම් ගන්න ඕනැත් නැහැනේ.
සම්පත් බොහෝ වෙලාවට රඟපාන්නෙ, ගේම ඉල්ලන, නැතිනම් අනෙක් අය එක්ක ඝට්ටනය ඉල්ලන චරිත කිව්වොත්?
මගේ තියෙන ස්වභාවයේ විදිය නිසා එහෙම පෙනෙනවා ඇති.
පසුගිය කාලයේදී රටේ ප්‍රශ්න එද්දී දැන් නම් ඉඳලා වැඩක් නැහැ කියන තැන ඔබත් හිටියා නේද ඒ දිනවල?
අදටත් එහෙම හිතෙනවා. ඉඳලා වැඩක් නැහැනෙ වගේ. හිතෙන එක නවත්තන්න බැහැනෙ. කියන්න බැහැ මොනවා වේවිද කියලා. රටේ නිතරම අනපේක්ෂිත බවක්නෙ තියෙන්නෙ.
ඉන්න හිතෙන රටක් වෙන්න නම් ඔබ කෙටියෙන්ම යෝජනා කරන්නෙ?
ඉන්න හිතෙන රටක් වෙන්න නම් සියලුම මිනිස්සු මීට වඩා ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනෑ. මිනිස්සු තමන්ගේ නායකයින් තෝරා ගැනීමේදී මීට වඩා සූක්ෂම වෙන්න ඕනෑ. තමුන්ගෙ වරප්‍රසාද ගැන හිතලා කටයුතු කරනවාට වඩා රට ගැන හිතලා කටයුතු කළොත් ඉන්න හිතෙන රටක් බවට මෙය පත්වෙවි. මේ රටේ ඉඳලා හරි නැතුව හරි අපි ඒකට තමයි වැඩ කරන්න ඕනෑ.
නිර්මාණ අධ්‍යක්ෂණයටත් ඒමේ සූදානමින් ඉන්නෙ කියලත් ආරංචියි?
එහෙම අදහසකුත් තියෙනවා. බලමු ඉතින්. පුතාගෙ අධ්‍යයන කටයුතු ගැනත් වෙහෙසෙනවා. ඒ ගැනත් උනන්දු වෙනවා. ඉදිරියේදී බලමු.
සඳුන් ගමගේ