ඉන්දියාවට අ​ගේ ඇති ලංකාවට අගේ නැති ​ෙඩාල්කිය තමයි මගේ ජීවිතේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩොල්කියෙන් සුමියුරු නාද රටා මවමින් රසික සවන්පත් පිනවන ඔහු “ඩොල්කි මංජු”‍ නමින් විරුදාවලි ලබා ඇත්තේ ඔහුට ඩොල්කි වාදන ශිල්පයත් සමඟ ඇති ආත්මීය සබඳතාවය නිසාවෙනි. අද හදසර කතාබහ, නොච්චියාගම සිට මුළු ලංකාවම ඩොල්කියේ මියුරු නාද රටාවෙන් කුල්මත් කරවන “ඩොල්කි මංජු”‍ සමඟයි.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු?
මගේ නම ඒ. ගුණදාස. නොච්චියාගම, හිරියාලේගම කියන ගමේ තමයි මම උපත ලැබුවේ. පුංචි කාලයේ ඉඳන්ම හැමදේටම වැඩියෙන් සංගීතයට ආසා කළා සහ උනන්දු වුණා. මේ වනවිට ඩොල්කි වාදන ශිල්පියෙක් විදිහට කලාව ඇතුළේ මගේම ගමනක් යනවා. මම විවාහකයි. මට දුවයි, පුතයි ඉන්නවා. නමුත් මම අද වන විට කලාව ජීවිතය කරගෙන බැඳීම්වලින් ඈත්වෙලා තනියම ජීවිතය ගත කරනවා.

“ඩොල්කි මංජු”‍ කියන නම හැදුණේ කොහොමද?
මාව පුංචි කාලේ ඉඳන්ම හඳුන්වන්නෙ “මංජු”‍ කියන නමින්. මම ඩොල්කි වාදන ශිල්පය ආරම්භ කළාම සිරස නාලිකාවේ Sri Lanka's Got Talent තරගයට සහභාගි වුණා. එහිදී මාව හඳුන්වන්න “නොච්චියාගම ඩොල්කි මංජු”‍ කියලා පෝස්ටරයක් නිර්මාණය කළා. තිබ්බටුවාව ගමේ නාට්‍ය සංවිධායක මණ්ඩලයේ සේන අයියාගේ අදහසක් අනුව තමයි කලින් කියපු විදිහට පෝස්ටරය නිර්මාණය වුණේ. එදා ඉඳලා අද වෙනකම් මාව හඳුන්වන්නෙ “ඩොල්කි මංජු”‍ කියන නමින්. ඇත්තටම මේ නමට මමත් ගොඩක් කැමතියි.

“ඩොල්කි වාදන ශිල්පය”‍ කියන්නෙ මොකක්ද? හැඳින්වීමක් කරමු?
ඩොල්කි වාදන ශිල්පය කියන්නෙ සංගීතයේ ගැඹුරුම ශිල්පයක්. ඩොල්කි වාදන ශිල්පය වෙනම කලාවක්. මිනිස් හදවතට ගොඩක් ළෙන්ගතු දෙයක්. ඩොල්කිය කියන්නෙ ඉතා අපූරු සංගීත භාණ්ඩයක්. ඉන්දියාවේ ඩොල්කි වාදන ශිල්පයට විශාල පිළිගැනීමක් ලැබෙනවා. ඉතාමත් උසස් තැනක තමයි මේ ශිල්පය තියෙන්නෙ. ශ්‍රී ලංකාවේ තවම ඒ වගේ තත්ත්වයක් මම දකින්නෙ නෑ. ලංකාවේ අපි ඩොල්කිය පාවිච්චි කරන්නෙ ගමේ බජව්වලදි, එහෙම නැත්නම් විනෝද චාරිකාවක් යනකොට වගේ දේවල්වලදි. හැබැයි එතැනින් එහාට මේ ඩොල්කි වාදන ශිල්පය අරගෙන යන්න පුළුවන්. ඇත්තටම හදවත්වලට දැනෙන්න අපිට සංගීතය සපයන්න පුළුවන් දෙයක් තමයි මේ ඩොල්කි වාදනය කියන්නෙ.

ඩොල්කි වාදන ශිල්පියෙක් ලෙස ආරම්භයේ සිට මේ දක්වා ඔබ පැමිණි ගමන ගැන සිහිපත් කිරීමක් කළොත්?
මම ගීත නාට්‍ය ශිල්පියෙක් විදිහටයි රසිකයන් අතරට ආවේ. දෙබස් කතා, මුද්‍රා ගීත නාට්‍යවලින් මම රංගන ශිල්පියෙක් විදියට ඉදිරියට ආවා. ඒ විදිහට වැඩ කරගෙන යනකොට ඩොල්කි වාදන ආධුනික ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ ප්‍රසංගයෙන් පස්සේ වාදනයට ලොකු ආසාවක් ඇතිවුණා. ඉතින් මම ඩොල්කි වාදනය ඉගෙන ගත්තා. මම දැනුවත්ව ශ්‍රී ලංකාවේ ඩෝල්කි වාදන ශිල්පය නිසියාකාරව ඉගෙන ගන්න ගුරුවරුන් කවුරුත් නැහැ. ඉන්දියාවේ ඩොල්කි වාදනයට හොඳ තැනක් තියෙනවා සහ ගුරුවරු ඉන්නවා. මම අන්තර්ජාලයෙන් සහ Youtube ඔස්සේ තමයි ඩොල්කි වාදන ශිල්පය ඉගෙන ගත්තෙ. ඉන්දියානු ගුරුවරු උගන්වන්නෙ සිංහල භාෂාවෙන් නෙවෙයි. තෙළිඟු‍, දමිළ, හින්දි වගේ විවිධ භාෂාවලින් තියෙන ඉගැන්වීම් ක්‍රම මට අපහසු වුණේ නැහැ. මොකද “තාල්” ශාස්ත්‍රයේ උච්චාරණය භාෂාව අනුව වෙනස් වෙන්නෙ නෑ. තාල් ශාස්ත්‍රය අවබෝධ කරගන්න මට අපහසුවක් වුණේ නැහැ. මම හිතන්නෙ මට ජීවිතේ ලැබුණු වටිනාම දේ මේ ශිල්පය පමණයි. ඩොල්කි වාදනයෙන් ලබන මානසික සුවය මට වෙන කිසිම දෙයකින් ලැබෙන්නෙ නැහැ.
මේ වන විට මම ශ්‍රී ලංකාවට ඩොල්කි වාදන ශිල්පය උගන්වනවා. ගමේ උගන්වනවා. ඒ වගේම Youtube ඔස්සේ මම මේ වෙනකොට පාඩම් දොළහක් පමණ උගන්වලා තියෙනවා. ගොඩක් තරුණ අය ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා.

වර්තමානයේ ඩොල්කි වාදන ශිල්පය නිසි ප්‍රමිතියකට අනුව සිදුවෙනවද? මේ ශිල්පය නිසි ප්‍රමිතියකට අනුව වර්ධනය කරලා රට තුළ මීට වඩා ප්‍රචලිත කරන්න පුළුවන්ද?
භාරතීය සංගීතය මුළු ලෝකය පුරාම ප්‍රචලිත වෙලා තියෙන දෙයක්. හැබැයි ශ්‍රී ලංකාව ඇතුළේ සංගීතය “ඔක්ටපෑඩ්” වගේ බටහිර දේවල්වලින් සහ රෙකෝඩින් දාලයි නිපදවගන්නෙ. හැබැයි අපිට පුළුවන් ඩොල්කි හතරක් පහක් දාලා සංගීතයේ නියම රසය ගන්න. මම දන්නවා මට මේ දේ කරන්න පුළුවන් කියලා. මම ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය යන නාළිකා දෙකේම වැඩසටහන්වලට සහභාගි වෙලා ලංකාවටම, ලෝකයටම පැහැදිලි කළා ඩොල්කි වාදන ශිල්පය ප්‍රචලිත කරන්න මට අතහිත දෙන්න කියලා. ඇත්තටම මේක හොඳ ශිල්පයක්. අපේ සංගීතය එක්ක ඩොල්කි වාදනය හොඳට මුහු කරන්න පුළුවන්.

ඔබට ලැබුණු සම්මාන ගැන කතා කළොත්?
මම 2023 වසරේදි සත්ජන සංස්කෘතික පදනම මගින් ප්‍රදානය කරනු ලබන “කලාකීර්ති අභිමානී”‍ සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ඩොල්කි වාදනය ශිල්පය වෙනුවෙන්. මම ගොඩක් සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා මේ විදිහට මාව ඇගයීමට ලක් කිරීම සම්බන්ධව.

ඔබට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?
රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔවුන් මට සහ මගේ ශිල්පයට දෙන වටිනාකම ගැන මට කියාගන්න වචන නැහැ. ඇත්තටම මට ලොකු ආර්ථික ශක්තියක් නැති නමුත් මාව තේරුම් ගත්ත, මේ ශිල්පයේ අගය තේරුම් ගත්ත රසික පිරිසක් මම වටේ ඉන්න එක මට ලොකු ශක්තියක් මගේ ගමන ඉදිරියට යන්න. ඉතින් මට ආදරය කරන රසිකයන්ට ස්තුතිවන්ත වෙනවා.

මේ ගමනෙදි ඔබට ආපු අභියෝගය මොනවද?
මට ඕනෑ කරන්නෙ මේ ඩොල්කි වාදන ශිල්පය ලංකාව ඇතුළේ උසස් මට්ටමින් ප්‍රචලිත කරන්න. මට තියෙන ලොකුම අභියෝගය තමයි ආර්ථික අපහසුතා. ඇත්තටම මම ගොඩක් පොහොසත් කෙනෙක් නෙවෙයි. මට ශක්තිමත් ආර්ථිකයක් නැහැ. කලින් කියපු රූපවාහිනි වැඩසටහන්වලදිත් මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මට මේකට අතහිත දෙන්න, මට මේකට දායකත්වය ලබා දෙන්න කියලා. හැබැයි මේ වෙනකම් මූල්‍ය වශයෙන් දායකත්වය දක්වන්න කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි මම තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ ශිල්පයේ වටිනාකම තේරුම් අරගෙන කවුරුන් හෝ කිසියම් ආයතනයක් හෝ මට මේ වෙනුවෙන් අනුග්‍රාහයක දායකත්වය ලබා දෙයි කියලා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ එකම බලාපොරොත්තුව ඩොල්කි වාදන ශිල්පය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරන එක විතරයි. මේ ශිල්පයේ නිපුණතා දක්වන ගෝලයන් දහදෙනෙක්වත් බිහි කරන එකයි මගේ එකම බලාපොරොත්තුව.

• මංගලා පවිත්‍රානි