ඉදිරියට එද්දී වට්ටන්න එපා, අපි හැමෝම කවදාවත් ඉන්නේ නැහැ
ආදිත්‍යා... මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල විශ්වවිද්‍යාලයේ වැඩකටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව මගේ සංගීත වැඩකටයුතුත් කරමින් ගෙදරට වෙලා ඉන්නවා.
මේ හැබෑවෙලා තිබෙන්නේ ආදිත්‍යා පුංචි කාලේ දැකපු හීනයක්ද?
මම හිතන විදිහට එහෙම වෙන්නත් ඇති. පොඩිම කාලේදී නම් මම සංගීතයට පිවිසෙන්න ඕනේ කියලා එහෙම ලොකුවට හීනයක් තිබුණේ නැහැ. හැබැයි මමවත් නොහිතපු විදිහට මට ජනප්‍රියත්වයක් ලැබුණා. එතැන් සිට මේ ලැබුණ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ ගමන හෙමිහිට යනවා.
අද මේ ඉන්න ජනප්‍රියත්වයට ආදිත්‍යාගේ ලොකුම හයිය වුණේ ඔයාගේ අම්මා... එහෙම නේද?
ඔව්... ඇත්තමයි. අම්මි තමයි මගේ හැකියාවන් මුලින්ම හඳුනාගන්නේ. පුංචි කාලේ ඉඳන් මම සින්දු කියන්න හරි ආසයි කියලා අම්මි කියනවා. එතැන් සිට මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. එදා ඉඳන් අදටත් අම්මා මාත් එක්ක ඉන්නවා. මගේ හැකියාවන් මුලින්ම දැක්කේ අම්මායි. මට මගේ අම්මා ගැන ගොඩක් ආඩම්බරයි.
ආදිත්‍යා.... පුංචි කාලේ මොන වගේ චරිතයක්ද?
මට අක්කයි, මල්ලයි ඉන්නවා. පුංචි කාලේ ඉඳන් අදටත් අපි තුන්දෙනා මාරම එකතුයි. ඉඳලා හිටලා සෙල්ලමට රණ්ඩුවෙන වෙලාවලුත් තියෙනවා. මම පොඩි කාලේ හරිම දඟයි. එළියට ගියාම ටිකක් නිහඬ ළමයෙක් වුණාට ගෙදරදි නම් මම මාරම දඟයි. පාසලේදීත් මම දඟ වැඩක් ඉඳලා හිටලා කළා. හැබැයි මම ගුරුවරුන්ට හරි බයයි. ඒ බය නිසා දඬ වැඩක් කරන්නේ බයෙන්.
පුංචි කාලේ ආදිත්‍යා ආසා කළේ කවුරු වෙන්නද?
හැමෝටම වගේ පුංචිම කාලේ මාත් දොස්තර කෙනෙක් වෙන්න ආස කළා. ඉස්සර මම හිටපු සෙල්ලම් බෝනික්කන්ට මම බෙහෙත් කරලා තියනවා කියලත් අම්මි කායනවා. කාලයක් ගියාට පස්සේ ඒ හීන වෙනස් වුණා.
අද වෙද්දී ආදිත්‍යා නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා?
ඔව්.. මේ වෙද්දී මම ගීත කිහිපයක්ම කළා. මුලින්ම සීතා කියන ගීතයයි කළේ. ඒක පදරචනා කළේ ධනුෂ්ක ප්‍රනාන්දු. එය සංගීතවත් කලේ සචිත් රුවිඳු බෝගොඩ. මෑතකදී කරපු ශෘංගාරේ ගීතය වෙනස් වුණ නිර්මාණයක්. ඒකට බොහෝ දෙනා කැමතියි. එය මනුරංග විජේසේකරගේ පද රචනයක්. සංගීතවත් කළේ දිනේෂ් ගමගේ. ඊට අමතරව &පිනි වැස්සේ* ගීතය ටෙලි නාට්‍යයක් සඳහා ගායනා කළා. ඒ ගීතය පද රචනා කළේ මල්කි විජේමාන්නයි.
පසුගිය කාලයේදී මේ ලබපු ජනප්‍රියත්වයත් එක්ක ආදිත්‍යාට විවිධ ප්‍රශ්න අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවුණා. අවුරුදු දහඅටක තරුණියකට මේ ලබපු අත්දැකීම්වලට මුහුණ දෙන්න ලොකුම හයිය වුණේ මොකක්ද?
අනිත් අයට වගේම මටත් තියෙන්නේ එකම හිතක්. ඒ නිසා මුලදී ගොඩාක් දුක්වුණා. ඇස්වලින් කඳුළු වැටුණා. හැබැයි ඒ කඩා වැටීමකදී මගේ පවුලේ අය මට ලොකු හයියක් වුණා. මම වැටෙන හැම මොහොතකම මාව අල්ලගෙන, මාව ආයෙත් නැගිට්ටුවේ ඒ අයයි. මට හරි ආදරණීය පවුලක් ඉන්නවා. මාව හයිය කළේ ඒ අයයි. කඩාවැටුණ හැම වෙලේම මට ලොකුම හයිය වුණේ ඒ අයයි. ටික කාලයකට පස්සේ ඒ හැම කඩා වැටීමක්ම මට දරාගන්න පුළුවන් වුණා. දැන් මගේ හිත හයියයි. ඉස්සරහට එන හැකියාවන් තිබෙන අයට කවදාවත් එහෙම වට්ටන්න හොඳ නැහැ. අපි හැමෝම කවදාවත් ඉන්නේ නැහැ. පුළුවන් කාලේ අපිට පුළුවන් දේ, අපිට ආස විදිහට ජීවත් වෙන එක තමයි වටින්නේ.
ආදිත්‍යාගේ ඊළඟ තිබෙන බලාපොරොත්තු මොනවාද?
මගේ ඉගෙනීම පැත්තෙන් ඉදිරියට යන්නයි මට ඕනවෙන්නේ. සංගීතයටත් මම හරි ආසයි. ඒ නිසාම ඉගෙනීමත්, සංගීතයත් දෙකම සමබරව කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මම ආපු ගැටලුත් එක්ක සමහර දේවල් මට දරාගන්න බැරිවුණා. ඒ නිසාම සංගීතය අතහැරලා දාලා මේ ගමන නතර කරලා දාන්න මට හිතුණු වාර අනන්තයි. හැබැයි මේ රටේ බහුතරයක් හරි හොඳයි. එක සීමිත පිරිසක් නිසා බහුතරයකගේ ආදරය මට අමතක කරන්න බැහැ. ඒ නිසා සංගීත ක්ෂේත්‍රය තුළ මම මගේ ගමන් හෙමිහිට යනවා.
දිශානි ජයමාලි