ඉඩම් දන් දුන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි
පුංචි තිරයේ කන්ද උඩරට හැඩකාරයා ලෙස නම් කළ හැකි විශ්ව කොඩිකාර මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ ‘කියා දෙන්න ආදරේ තරම්’ නාට්‍යයේ ආයුෂ් සහ ‘බන්ධනා’ නාට්‍යයේ දේවේන්ද්‍ර ලෙසයි. කවුද මේ ආයුෂ්? කවුද මේ දේවේන්ද්‍ර? මේ විදිහට හමුවන විශ්ව ඊට අමතරව තවත් අලුත් ටෙලි නිර්මාණයක රූගත කිරීම්වලට දායකව සිටින අතරේ කාලයකට පසුව සඳැල්ල කතාබහකට එක්වූයේ මේ විදිහටයි.
විශ්ව, ‘කියා දෙන්න ආදරේ තරම්’ ආයුෂ්ගෙන් කතාබහ පටන් ගනිමු?
“ආයුෂ් කියන්නෙ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණයෙන්, මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනයෙන් මැවූ චරිතයක්. ආයුෂ්ගෙ පවුල ඉස්සර පොහොසත්. යම්කිසි හේතූන් මත අද එයාලාට සල්ලි නැතුව ලොකු ප්‍රශ්න ගැටලු ගොඩකට මුහුණ දෙමින් ජීවත්වන පවුලක්. ආපහු ඉස්සර හිටපු තැනට එන්න හදන තරුණයෙක්. ආයුෂ් ගැන විශේෂයෙන් කතා කළොත්, ඔහු හොඳ ප්‍රේමවන්තයෙක්. ඒ වගේම හොඳ ජීවිතයක් ගත කළ චරිතයක්. ඉදිරියේ එයා කොහොම වේවි ද දන්නෙ නැහැ. ආයුෂ් චරිතය මට ලැබුණෙ මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතා නිසයි. මගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය ඇතුළත් වූ ‘පබළු’ ටෙලි මාලාවේ තිර පිටපත ලිව්වෙත් ඔහු. එදා බැඳුණු ඒ මිත්‍රත්වය අදටත් තියෙනවා. ඒ අනුව තමයි වෙනස් වූ චරිතයක් කරමු කියලා ඔහු මට මේ ආයුෂ්ගෙ චරිතය ලබා දුන්නෙත්. ආයුෂ්ගෙ චරිතය එකතකට මම වෙනදා කරන ආදරවන්තයාගෙ චරිතය නෙවෙයි. මේ නිසා ප්‍රේක්ෂකයින් නම් ඒකට මට ලබාදෙන ප්‍රතිචාර වෙනදා වගේ ආදරණීය නැහැ. ‘ඔයා හරි නරකයි’, ‘ඇයි ඒ වගේ චරිතයක් කළේ’ කියලා අහනවා. ඒ විදිහට ප්‍රේක්ෂකයින් ටෙලිනාට්‍ය නැරැඹීම වගේම මගේ අඩුපාඩු පෙන්වා දීම මම එදා ඉඳලම අගය කරන දෙයක්. අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයට ආදරය කරන රසිකයින්ට මමත් හරි ආදරෙයි.”
බන්ධනා නාට්‍යයේ දේවේන්ද්‍ර?
“බන්ධනා කතාව ලියන්නෙ බුද්ධිනි ජයවර්ධන අක්කා. අධ්‍යක්ෂණය කරන්නෙ තිෂුලදීප තඹවිට. දේවේන්ද්‍ර කියන්නෙ පෙම්වතකුගේ චරිතයක්. එයා ප්රේමවන්තයකුව ඉඳලා ඊට පස්සෙ විවාහ වෙලා, දරුවෙක් සිටින පියෙක්. එයාගෙ බිරිඳ නැති වෙලා. ඉදිරියේදී දේවේන්ද්‍රට එයාගෙ හිටපු බිරිඳ වගේම කෙනෙක් ලැබේවි ද කියන ප්රශ්නය දැනට තියෙනවා. ප්‍රේක්ෂකයින් ඔක්කෝම බලා සිටින්නෙ ඒ දෙසයි. ඉතින් ‘බන්ධනා’ නරඹලා ඉදිරියේ මොකද වෙන්නෙ කියලා අපි බලමු. දේවේන්ද්‍ර ගැන කෙටියෙන්ම කිව්වොත්, දරුවකු එක්ක තනි වූ පියෙක්.”
විශ්ව, එතකොට විශ්වගෙ ජීවිතය ගෙවෙන්නෙ මේ විදිහට වෘත්තීය නළුකම එක්ක විතර ද?
“මම රඟපෑමේ ක්ෂේත්රයට ආවේ 2007 දී. එදා ඉඳලාම අද දක්වා මගේ වෘත්තිය වී තිබෙන්නෙ නළුකම. වෙනත් වෘත්තියක නිරත වුණේ නැහැ. උසස් පෙළ හොඳින් සමත් වුණා. ඒත් කැම්පස් යන්න ඒ තරම් උනන්දු වුණේ නැහැ. මට වුවමනා වෙලා තිබුණෙ කලා ක්ෂේත්රයට පැමිණීමයි.”
විශ්ව කොහොම ද ගෙදර ජීවිතය?
“මගේ බිරිඳ එරන්දි සහ කාවින්ධ්‍යා ගංගාදරී කොඩිකාර දියණිය සහ පුතා ඔනෙත් ධනාල් කොඩිකාර. අපි හතර දෙනා හොඳින්, සතුටින් ජීවිතය ගත කරනවා.”
තාත්තාගේ භූමිකාවට විශ්ව ගෙදරදී ඉටුකරන වගකීම මොන වගේ ද?
“සැබෑ ජීවිතයේදී අපට රංගනයක් කරන්න බැහැ. සැමියකු පියකු ලෙස මම අද හරි සතුටු වන කෙනෙක්. අපේ දියණියට අවුරුදු 7ක් වෙනවා. පුතාට අවුරුදු 6ක් වෙනවා. ඒ දරු දෙදෙනාගේ ආඩම්බර තාත්තා මම. එයාලාගෙ වැඩ කටයුතුත් කරගෙන මාත් බිරිඳත් බොහෝම සන්තෝෂයෙන් කාලය ගත කරමින් සිටිනවා.”
විශ්ව තවමත් පදිංචි නුවරම ද?
“ඔව්, වෙනසක් කරලා නැහැ. නුවරම තමයි පදිංචිය. ඒත් වැඩ එක්ක කාර්ය බහුල වන නිසා අපි හතර දෙනාම ඉන්නෙ කොළඹ. එරන්දිට උත්සව නිර්මාණ සැලසුම් කිරීමේ බිස්නස් එකක් තියෙනවා. ‘ක්‍රියේටිව් ටච්’ ඒකේ නම. ඒ වැඩ නිසා තමයි අපි පහසුවට කොළඹ ඉන්නේ.”
බිරිඳ විශ්වගෙ කලා කටයුතුවලට ෆුල් සපෝට් එක දෙනවා ද?
“විවාහයට පෙර අපි දෙන්නා කතා කරගත් දේ තියෙනවා. මම එයාට කිව්වෙ මගේ වෘත්තිය රංගනය කියලයි. ඉතින් රංගනය ඇතුළෙ යා යුතු සීමාව මම දන්නවා. ඒ සීමාවට එහායින් ගිහින් නැහැ. බොහෝ වෙලාවට මම සෑම නිර්මාණයක්ම කරලා තියෙන්නෙ සමාජයට ආදර්ශයක් වන විදිහට. පවුලේ සියලු දෙනාම එකට සිට නැරැඹිය හැකි නිර්මාණ. මගේ රසිකයින් පවා මට එච්චර ආදරේ ඒ ස්වභාවය නිසා වෙන්න ඇති. මේ දක්වා රංගනයෙන් කළ ඒ හොඳ දේ වගේම තමයි මගේ සැබෑ ජීවිතයත්. එරන්දිට මගේ ස්වභාවය ගැන කියලා තමයි විවාහ වුණේ. ඒ නිසා අපි අතර ප්‍රශ්න නැහැ.”
අද ඒ විවාහය ඔබ දකින්නෙ කොහොම ද?
“මේ ආ දුර ගැන හරිම සතුටුයි. යා යුතු දුර දිහා බලද්දී මේ ආ ගමන ගැන ඇත්තටම සතුටුයි. ජීවිතයේ ඕනෑම කෙනෙක්ගෙ හැල හැප්පීම් තියෙනවා. නැත්තෙ නැහැ. ඒවා සාමාන්‍ය දේවල්. ඒ සෑම බාධාවලින්ම ජය ගෙන අද මේ දක්වා ආ දුර ගැන හරිම සන්තෝෂයි. දරු දෙදෙනාගේ වැඩත් කරගෙන සතුටින් අපි ජීවිතය ගත කරනවා. මේ විදිහටම ඉදිරියටත් සතුටින් ජීවිතය ගෙවීමට තමයි අපි හතර දෙනාම ආසාවෙන් බලාන ඉන්නේ. ලැබෙන දේ නිවැරැදිව කළමනාකරණය කරගෙන අපි සතුටින් ජීවත් වෙනවා. ලැබෙන මුදල තිස්දාහක් කියලා හිතමු. අපෝ පනස් දහසක් තිබුණා නම් හොඳයි කියලා ලතැවෙවී ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ලැබෙන දේ එක්ක තෘප්තිමත්. අපි අද මිය යාවි ද හෙට මිය යාවි ද කියලා අපි කවුරුවත් දන්නෙ නැහැ. මගේ එකම පරමාර්ථය දරු දෙදෙනාගෙ අනාගතය වෙනුවෙන් යමක් ඉටු කිරීමට උත්සාහ ගැනීම. බිරිඳ එරන්දි සහ මම හරි සරලයි. ඒ නිසා ජීවිතය අපට හරි පහසුයි.”
ඒ දිනවල විශ්ව දේශපාලනයට ඔන්න එනවා, මෙන්න එනවා කියන රාවයක් ගියා නේද? ඒ අදහස අත්හැරලා ද?
“ඒ ගැන ගොඩාක් අය කතා කළා. ගොඩාක් අය කිව්වා. මම දේශපාලනයට එනවා ද කැමැති ද කැමැත්තෙන් ඉන්නවා ද කියලා. මගේ උපන්දිනය දාට ඉඩකඩම් එහෙම දන් දෙද්දී බොහෝ දෙනා හිතුවේ එහි යටි අරමුණ දේශපාලනය කියලයි. ඇත්තම කිව්වොත් එදා මට දේශපාලනයට ඒමේ කැමැත්තක් තිබුණෙත් නැහැ. අද කැමැත්තකුත් නැහැ. අනෙක මගේ තියෙන ලොකු අඩුපාඩුවක් වෙන්නෙ එකවර වැඩ දෙකක් කරගෙන යාමට බැරිකමයි. එක්කෝ නළුකම. නැත්නම් වෙනත් රස්සාවක්. දෙකෙන් එකයි කරන්න පුළුවන්. මගේ ජීවිතේ මම ආසම කරන ගෞරව කරන වෘත්තිය තමයි රංගනය. මාව ප්‍රේක්ෂකයා හඳුනා ගත්තෙ, මේ රටේ මිනිස්සු අතරට ගියේ රංගනය නිසයි. ඒ දේ කරගෙන හොඳ නිර්මාණකරුවකු වී මිනිසුන් අතර ජනප්‍රසාදයට පත්වීමේ අරමුණ තමයි මට තියෙන්නේ.”
විශ්ව ඇයි ඇත්තටම ඔයාගෙ ඉඩකඩම් දන් දුන්නෙ?
“ඒ ඉඩකඩම් මට අපේ තාත්තාගෙන් ලැබීමට තිබුණු ඒවා. ඉතින් සෑම උපන්දින දවසකදීම මට ඕනෑ වුණේ පාටි, උත්සව ගන්න නෙවෙයි, යමක් දන් දෙන්න. එදා මම තාත්තාගෙන් ඇහුවාම ඒවා දන් දෙන්න ද කියලා, ඔයාගේ කැමැත්තක්, ඒක ඔයා කරන්න කීවා. ඒ අනුව තමයි පවුල් කිහිපයකටත්, පන්සලටත් ඒ ඉඩකඩම් හැකි විදිහට බෙදලා දුන්නේ. කුඩා කාලයේ ඉඳලාම මම පුරුදු වෙලා හිටියෙ උපන්දිනය දවසට අනාථ නිවාසවලට ගිහින් දානය දෙන්න වගේ දේවලට. එක්කෝ දළදා මාලිගයේ ඉන්න, නැත්නම් ජයශ්‍රී මහා බෝ සමිඳු වැඳ ගන්න, එක්කෝ කිරි වෙහෙරට යන්න. ඒ වගේ දේ වෙතින් ලැබුවේ ලොකු තෘප්තියක්. මට පිනක් කරගෙන තව කෙනකුගේ බඩ කට පුරවන්න යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ උපන්දින අරමුණ. ඒ දේවල් කාටවත් පෙනෙන්නට, කරන දේවල් නෙවෙයි.”
කොහොම වුණත් ඔබගෙ පියා ප්‍රවීණ කලාකරුවකු වගේම දේශපාලනයට බැඳී සිටි පද්මසිරි කොඩිකාරට ඔබ දේශපාලනයට ඒවි කියන බලාපොරොත්තුව තිබුණා නේද?
“ඔව්, ඔව්. තාත්තා ඒ දවස්වල නිතරම වගේ මගෙන් ඒ ගැන ඇහුවා. හොඳ වෙලාවට ඒ දිනවල මම කලා කටයුතු එක්ක කාර්ය බහුල වෙලා හිටියෙ. ඒ නිසාම, මේ දේවල් මග හරින්න බැහැ, මම කැමැති දිගටම රංගනයේ ඉන්න කියලා එදා මම තාත්තාට කිව්වා. මගේ ටෙලිනාට්‍ය නරඹන, කලාවට කැමැති ආදරණීය ප්‍රේක්ෂකයින් පවා කිව්වෙ අනේ ඔයා දේශපාලනයට නම් එන්න එපා කියලයි. කලාකරුවා ජීවත් වෙන්නෙත් දේශපාලකයකුගේ පැවැත්ම තියෙන්නෙත් රටේ ජනතාව අතේ. මොන ක්ෂේත්රයකදී හෝ අපි හාඳ විදිහට හිතුවොත් ජනතාව අපි ආදරයෙන් වැළඳ ගනීවි.”
සඳුන් ගමගේ