ඉංග්‍රීසි නාට්‍ය වේදිකාව හුරු පුරුදුයි - නිමායා හැරිස්
අසෝක හඳගමගේ ප්‍රවීණයාගේ අධ්‍යක්ෂණයෙන්, එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ, ඇල්බොරාදා චිත්‍රපටයේ විදේශීය නළු නිළියන් කීප දෙනකුගේ රංගනයන් අපට දැකගත හැකිය. මෙහි පැට්සි (Patsy) යන චරිතය නිරූපණය කරන එනම් පැබ්ලෝ නෙරූදාට, ඔහුගේ කවියට පෙම්බැඳි ඇය ගැන නොදන්නා බොහෝ දෙනා සිතන්නේ ඇය ද විදේශීය රංග ශිල්පිණියක යනුවෙනි. ඇයගේ බාහිර පෙනුම නිසා එසේ පෙනුන ද ඇය ශ්‍රී ලාංකීය ශිල්පිනියකි. මෙරට ඉංග්‍රීසි වේදිකාවට නම් ඇය අමුත්තියක නොවේ. ඇය නමින්, නිමායා හැරිස්ය. නිමායා, මේ මොහොතේ වෙසෙන්නේ හොංකොං රාජ්‍යයේය. එහි සිට ඇය අප සමග කතා බහකට එක්වූයේ මෙලෙසිනි.
‘නිමායා’ ලංකාවේ මොන පළාතෙද කියලා දැන ගන්න කැමැතියි?
කොළඹ.
අම්මා-තාත්තා ගැන එහෙම සහ පවුලෙ විස්තර කියමු?
මගේ අම්මා ශ්‍රී ලාංකික කාන්තාවක්. තාත්තා එංගලන්ත ජාතිකයෙක්. මම හැදී වැඩුණෙ ලංකාවේ. පාසල් අධ්‍යාපනය ලැබුවෙත් මෙහිදීමයි. මම ගියේ කොළඹ කාන්තා විද්‍යාලයට. මට එක් සහෝදරියක් ඉන්නවා.
නිමායා, තවමත් උසස් අධ්‍යාපනය ලබන කෙනෙක්. ඒ ගැන කොහොමද විස්තර කරන්න පුළුවන්?
ඔව් මම තවම යුනිවර්සිටි අධ්‍යාපනය හදාරන්නෙ. ඉංග්‍රීසි සාහිත්‍ය සහ දේශපාලන විෂයයන් හදාරනවා.
අනාගතයේ දී ක්‍රියාකාරී දේශපාලනයට ඒමේ අරමුණක් තියෙනව ද?
මට ඕනෑ කරන්නෙ ගුරු වෘත්තිය තෝරා ගන්නයි. මම ආසයි මගේ අම්මා වගේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය චරිතයක් වෙන්න. ඊට අමතරව වේදිකා සහ රංගන විෂයයට සමීප වී කටයුතු කරන්න පටන් ගත්තෙ කුඩා කාලයේ ඉඳලමයි. අනාගතයේ දී වෘත්තීය මට්ටමේ රංග ශිල්පිනියක් වීමට නම් මුල සිට හොඳ අඩිතාලමක් හැදෑරීමක් තිබීම හොඳ දෙයක්. ඒ නිසා මෙතෙක් ආ ගමන මට හරි වැදගත් වුණා. අධ්‍යාපනික වශයෙන් ඉදිරියට යන අතරේ රංගන කලාව සමග සමගාමී ජීවිතයක් ගත කිරීමට මම ආසයි. ඒ දිනවල අම්මා රංග හා නාට්‍ය ගුරුවරියක ලෙස ළමයින්ට ඉගැන්වීම් කරද්දී මටත් මඟ පෙන්වීමක් ලැබුණා. කොහොමටත් අම්මත් වේදිකා නාට්‍ය අංශයේ රඟපෑ නිර්මාණකරණයට දායක වූ කෙනෙක්. ඒ විදියට ආ ගමනේ දී ජෙරොම් ද සිල්වා යටතේ මම සංගීතමය නිර්මාණවලට දායක වුණා. වයස අවුරුදු පහේ සිට වගේ මම විටින් විට ඒ විදියට තියටර් එක එක්ක සමීපව කටයුතු කරමින් සිටිනවා. වයස අවුරුදු 7දී විතර සංගීතමය නිර්මාණයකට දායක වුණා. ජෙරොම් ද සිල්වා කළ සවුන්ඩ් ඔෆ් මියුසික් නිර්මාණයෙත් රඟපෑවා. මේ විදියට මෙරට ඉංග්‍රීසි වේදිකාවේ නිර්මාණවලට එදා ඉඳලම දායක වෙමින් සිටිනවා.
කොහොම ද ‘හොං කොං’ සිට ගෙවන ජීවිතය ? හුදෙකලාවක් දැනෙන්නෙ නැද්ද?
අධ්‍යාපන කටයුතු එක්ක සතුටින් ගත කරන බව කියන්න පුළුවනි. ශ්‍රී ලාංකික මිතුරන් වගේම මගේ අම්මගෙ ශ්‍රී ලාංකීය හිතවත් පවුල්වල අය සිටිනවා. සමහර වෙලාවකට හුදෙකලාවත් නොදැනෙනවාම නෙවෙයි. තවම මම තරුණයිනෙ. ඉතින් ජීවිතය සතුටින් ගතවනවා කියලා කියන්න පුළුවන්.
ඇයි, උසස් අධ්‍යාපනයට ‘හොං කොං’ හි සරසවියක් තෝරා ගත්තෙ ?
එකක් මම ආසියාවට ආසයි. ගුවන් කාලය දිහා බැලුවාම එක ෆ්ලයිට් එකකින් එන්න පුළුවන්. මුලින්ම හොං කොං එනකොට නම් හොං කොං ගැන එච්චර දැන ගෙන හිටියෙ නැහැ. නමුත් මෙහි ආ පසු උනන්දුවක් ඇති වුණා. අනෙක ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා මම මෙහි සරසවියක් තෝරා ගත්තෙ නිවාඩුවට මට ගෙදර එන්න එච්චර කාලයක් ගත නොවන නිසයි.
ඇල්බොරාදා නිමායාගේ පළමු චිත්‍රපට රංගනයද?
ඔව්.
කොහොමද මේ අවස්ථාව ලැබුණෙ?
2020 මුලදි මම වේදිකා නිර්මාණයක් වෙනුවෙන් පෙර පුහුණුවීම් කරමින් සිටියේ. බිම්සරා ප්‍රේමරත්න තමයි එය අධ්යක්ෂණයට යොමුව සිටියේ. ඒත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා එහි ඉදිරි කටයුතු කැන්සල් වුණා. ඊට මාස දෙකකට විතර පසුව අසෝක හඳගම මහතා ඇල්බොරාදා චරිත සොයමින් සිටිය දී බිම්සරාගෙන් අහලා තියෙනවා. එතකොට එයා මාව රෙකමන්ඩ් කරලා. බිම්සරා මගේ අම්මාවත් හොඳින් දන්නවා. ඔව් ඉතින් ඒ විදියට තමයි මම ‘පැට්සි’ වුණේ. ඒක සතුටින් බාර ගත්තා.
ඔබ මෙහි රඟපාන චරිතය ගැන දෙපාරක් හිතුවෙ නැද්ද? මෙය සාමාන්‍ය චරිතයක්ම නෙවෙයි ?
මේක වෙනස් තමයි. ‘පැට්සි’ බොහොම විවෘත, තරුණියක්. පැබ්ලෝ නෙරූදා ප්‍රිය සම්භාෂණයකට ඇවිත් සිටි මොහොතක ඇය තමයි මුලින්ම ඔහු සමඟ කතා කරන්නෙ. 1920 හිටපු අවුරුදු 25ක විතර තරුණියකගේ චරිතයක් මම ඉදිරිපත් කරන්නෙ. ඇයගෙ වීරයකු වූ චරිතයක් මුණ ගැසීම ඇයට ගෙන දුන්නෙ විශාල සතුටක්. ඒ ස්වභාවය වටහාගෙන සහ චරිතයේ රංගනයේ දී පෙනී සිටීමට සිදුවන රූප රාමු වෙනුවෙන් රංගනයේ යෙදීම ඇත්තෙන්ම මට අභියෝගයක් වුණා. මම ඒ අභියෝගය බාර ගත්තා.
මේ චරිතය ගොඩනගා ගන්න මට අසෝක හඳගම මහතා බොහෝ සෙයින් උදවු වුණා. සාකච්ඡා සංවා ද කීපයකින් පසුව චරිතයට අවතීරණ වීමට හොඳ පරිසරයක් නිර්මාණය වූ බව කියන්න පුළුවනි.
ආචාර්යවරියක වන ඔබගෙ මවගෙ අවසරය ලැබුණ ද? ඇය කැමැති වුණා ද ඔබ මේ චරිතය කරනවට ?
මගේ අම්මා තාත්තා දෙන්නාම ‘තියටර්’ එක එක්ක සම්බන්ධව කටයුතු කළ අය. ඒ බැඳීම, හැඟීම එයාලට තියෙනවා. රංගනය සහ සැබෑ ජීවිතය ගැන එයාලට හොඳ වැටහීමක් තියෙන්නෙ. අනෙක චරිතයත් රඟපෑම සහ සැබෑ ජීවිතය කියන්නෙ දෙකක්.
අද කොහොම ද මේ චිත්‍රපටය ‘නිමායා’ට දැනෙන්නෙ?
එක්වරම මෙහෙමයි, මේ විදියයි කියලා ඒකට උත්තර දෙන්න බැහැ. මගේ කරන චරිතය ගැන මටම විචාරයක් තිබිය යුතුයි තමයි. නරඹන්නකු ලෙස ගත්තොත් මම මේ නිර්මාණය වින්දනය කරනවා.
ඇල්බොරාදා සිනමා නිර්මාණයේ පැට්සි ලව් කරන්නෙ ‘පැබ්ලෝ’ට, සැබෑ ජීවිතයේ දී නිමායාගේ ආදරය කොතැනද තියෙන්නෙ?
මම හිතන්නෙ අධ්‍යාපනය එක්ක විෂයයත් එක්ක මම කාර්ය බහුලයි. ඒ හැරත් තවම මම උසස් අධ්‍යාපනය ලබන සිසුවියක්නෙ.
ඔබ හිතන විදියට ‘ආදරය’ කියන්නෙ මොකක් ද?
ප්‍රේමණීය බැඳීමක්. පවුලේ අය එක්ක හිතමිත්‍රාදීන් එක්ක මගේ ඒ බැඳීම ගලා යනවා. දෙදෙනකු අතර ඇතිවන බැඳීමට වඩා එය වෙනස්. ආදරයේ දී තේරුම් ගැනීම සහ එකිනෙකාට පහසුවක් මෙන්ම මානසිකව සැහැල්ලු බවක් ඇතිවෙනවා නම් එය හොඳ දෙයක් වේවි.
‘නිමායා’ සැබෑ ජීවිතයේ දී මොන විදියෙ ගති පැවතුම්වලින් යුතු කෙනෙක් ද?
කොහොම ද ඒකට උත්තර දෙන්නෙ. කලාවේ වගේ මගේ ජීවිතය සසඳන්න බැහැ. මම තරමක් දුරට ඉගෙනුමට සමීප වූ ඒ හා සම්බන්ධ දේ සොයා යන චරිතයක් විය හැකියි.
ලංකාවේ ජීවිතය ගත කරන විදිය ගැන කියමු?
අම්මා - තාත්තා එක්ක සහ අපේ ගෙදර සුනඛ සුරතලුන් තුන් දෙනෙක් ඉන්න නිසා වැඩිපුර කාලය ගෙවන්නෙ ඒ අය එක්කයි. නිතරම ගෙදර ඉන්න ආසයි. මගේ පාසලේ යාළුවෝ එක්ක කෑමට එළියට යන්න කැමැතියි. වැඩි කාලයක් රටින් පිට සිටින නිසා ගෙදර ආවාම ගෙදරම ඉන්න ආසයි.
සඳුන් ගමගේ