ඇස් ලොකුයිලු ලස්සනයිලු මට කතා කරන්නේ සුපර් ස්ටාර් කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිලිසෙන දියමන්තියක් සේ ඈ දිදුලන්නීය. කතා කරන ඒ අමුතු ලොකු ඇස් කොතෙක් සුන්දරද යත් ඒ දෑස් දිහා බලා හිඳින්නට සිත් වෙන තරම්ය. දිගු රැලි සහිත කෙහෙරැලි නැලවෙන හිතුවක්කාර ලස්සනකින් දිලෙන්නීය. ඔප වැටුණු දුඹුරු වර්ණ සම ඈ වත රන්වන් නොවූ නමුත් රන්වන් පැහැයකින් දිදුලවන්නීය. ඒ රුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනරම්ය. ලාංකික සිනමාවේ සුන්දර පරිච්ඡේද ඈ රුවින් සේම කුසලතාවයෙන්ද සරසන සුබ සිහින ඈ දැනටමත් කැඳවා හමාරය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ක්ෂීර සාගරය කැළඹිණ සිනමා වියමනේ දැරියගේ චරිතය ඔස්සේත් කදිර දිව්‍යරාජ සිනමා වියමනේ කුමී ඔස්සේත් ආත්මීය ආලයකින් ඇය ගත් හුස්ම සිනමාවේදිනියක් ලෙස ඇයට යා හැකි සොඳුරු දුර ගැන අප්‍රමාණ සාක්ෂියක් සනිටුහන් කළාය. නිරූපණ ශිල්පිනියක් සේම රංගවේදිනියක ලෙසද ඇය යන මඟ දෙපස සුවඳ සුසුවඳ බොහෝ මල් පිපිය හැකි වගට රුසියානු සිනමා නිෂ්පාදනයක් වූ To the Moon and back සිනමා කෘතිය ඔස්සේ අපූර්වතම මුද්‍රාවක් තැබූ පසුබිමක ලාංකික සිනමාපට ත්‍රිත්වයකින් පසු හතරවැනි සිනමා වියමන ඔස්සේ ජාත්‍යන්තර සිනමාවට පා තබන්නට වරම් ලද ඇය හරිනි කාව්‍යාංජනීය. රුසියානු සිනමා නාමාවලිය සරසන එම සිනමා වියමන විශ්වීය සිනමාවට දායාද වන පසුබිමක ලංකාවේත් රුසියාවේත් රූගත කිරීම් අවසන් කළ එම චිත්‍රපටය ගැන සැබැවින්ම අප කතා කරන්නේ ළෙන්ගතු ස්නේහයකින් සහ ගෞරවයකිනි. ඒ හරිනි සේම ශ්‍රී ලාංකික ගායකයෙකු සහ නර්තන ශිල්පියෙකු වන දිනිඳු ෂේන් ද එම සිනමා වියමන ඔස්සේම ජාත්‍යන්තරය තුළ, තම සිනමාමය මුද්‍රාව තබන්නට සමත් වූ නිසාමය. 

Qරුසියානු චිත්‍රපටයක් ලංකාවේ රූගත කිරීම් කරන්න ඕනෙ කියන අදහසට ඒ අය ඇවිත් තියෙන්නෙ ඇයි?

ඇත්තටම ලංකාවේ ලස්සන මුහුද තමා ඒකට මුල්ම හේතුව. හුඟක් තැන් බැලුවත් එයාලට ඕනෙ වෙච්ච දූපත් වගේ පෙනෙන දර්ශන, ලස්සන මුහුද එයාලා දැකලා තියෙන්නෙ ලංකාවේ. එයාලට අපට වගේ මෙහෙම ලස්සන මුහුදක්, මුහුදු වෙරළක් නැතිලු. රුසියාවේත් ලංකාවේත් රූගත කෙරුණු එම චිත්‍රපටයේ වැඩිම දර්ශන තියෙන්නෙ ලංකාවේ. 

Qලංකාවේ මොන ප්‍රදේශද ඒ අය චිත්‍රපටයට තෝරගත්තෙ?

ගාල්ල, මාතර, දික්වැල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, ඇල්ල වැනි ප්‍රදේශවල තමයි රූගත කිරීම් කළේ.

QTo the moon and back චිත්‍රපටයේ රඟපාන්න කොහොමද හරිනිට ඉඩහසර හම්බවුණේ?

දිනිඳු ෂේන් තමයි මට ඒ අවස්ථාව අරගෙන දුන්නෙ. ඒ ගෞරවය මම දිනිඳුට සහ මරීනාට දෙනවා. එයා වැඩ කරනවා මරීනා කියන රුසියානු යුවතිය එක්ක. මරීනා කියන්නෙ මේ චිත්‍රපට කණ්ඩායමේ ඉන්න රුසියානු සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තිකාව. රුසියාවේ හුඟක් අයට ඉංග්‍රීසි බෑ. එයාලා ජාත්‍යන්තර මට්ටමෙන් වැඩ කරනකොට හුඟක් වෙලාවට සම්බන්ධ කර ගන්න කෙනෙක් තමයි මරීනා කියන්නෙ. රුසියානු චිත්‍රපට කණ්ඩායම මරීනාට පින්තූරයක් එවලා තියෙනවා ඒ රූපේ ඉන්න හැඩරුවට සමාන කෙනෙක් චිත්‍රපටයේ රඟපාන්න ලංකාවෙන් හොයලා දෙන්න කියලා. මරීනා ලංකාවේ කලාකරුවන් ගැන දන්නෙ නැති නිසා ඒ පින්තූරය දිනිඳුට එවලා. දිනිඳුට ඒ පින්තූරය දැක්ක ගමන්ම මතක්වෙලා තියෙන්නෙ මගේ රූපය. දිනිඳු කියනවා ඒ එවලා තියෙන්නෙ ඔයාගෙම රූපය කියලා. 

Qඒ පින්තූරය හරිනි දැක්කද? ඇත්තටම ඒ පින්තූරෙ ඉන්න කෙනා ඔයා වගේමද?

මම හිතන්නෙ ඔව් ඇත්තටම මම වගේම තමයි. 

Qඉතින් ඊටපස්සෙ?

ඇත්තටම දිනිඳු ඒ වෙද්දි මාත් එක්ක හම්බවෙලා කතා කරලා නෑ. ඒත් මාව මතක නිසා එයාට මාව මතක්වෙලා, ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයේ මම ඇඳන් හිටපු ඇඳුම්, ජැක්සන් සර් එක්ක ඉන්න පින්තූරය දිනිඳුට මතක්වෙලා තියෙනවා. දිනිඳු මගේ පින්තූරය ඒ විදිහට මරීනාට යවලා. මරීනා රුසියාවට යවලා මෙයාව ok ද අහලා. ඒ අය දැක්ක ගමන් ok කරලා. එහෙම ok කළාට පස්සෙ මම මගේ ගැන තියෙන link එහෙම බලන්න යැව්වා. අවසානයේ තමයි වීඩියෝ එකෙන් කතා කරලා මාව අන්තිමටම තෝරගත්තා කියන එක මට කිව්වෙ. 

Qඔබව හැබැහින් දකින්න කලින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබව සම්මුඛ සාකච්ඡාවට ගනිද්දි මොනවද එයාලා ඇහුවේ? ඔයාට කොහොම ප්‍රතිචාරයක්ද දැක්වුවේ?

එයාලා ඇහුවා මම මොනවද ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ කරලා තියෙන්නෙ කියලා. මම රඟපෑ චිත්‍රපට ගැන වගේම 2015 සහ 2018 මම Miss Sri Lanka සහ Miss Super model worldwide තුළ ලබාගත් ජයග්‍රහණ ගැනත් ඒ අයට කිව්වා. මම නිරූපණ ශිල්පිනියක් කියන එකත් ඒ අයට කිව්වා. ඒවා ගැන එයාලා ගොඩක් සතුටු වුණා. 

Qහරිනි හැබැහින් දැක්කට පස්සේ කොහොම ප්‍රතිචාරයක්ද එයාලා එකපාරටම දැක්වුවේ?

එයාලට හරිම සතුටුයි. එයාලා මට කිව්වා අපි හිතපු කෙනාමයි අපිට හම්බවුණේ. ඔයා සුපර් ස්ටාර් කෙනෙක් කියලා. එයාලා කිව්වා මාව එයාලගේ චිත්‍රපටයකට සම්බන්ධ කර ගැනීම එයාලට ආඩම්බරයක් කියලා.  

Qඒ අය හරිනිට කතා කරන්නෙ කොහොමද?

අනේ ඒ අය මට කතා කරන්නෙත් සුපර් ස්ටාර් කියලා. 

Qඔයාගේ ලස්සන කොහොමද ඒ අය වර්ණනා කරන්නෙ?

ඒ අය මේකප් පාවිච්චි කරනවා හරිම අඩුයි. අපේ ස්වභාවික පෙනුමම තමයි රංගනයේදී මතුකර ගන්න හදන්නෙ. එයාලා කියනවා ස්ක්‍රීන් එකේදි මාව දකිද්දි හරිම ලස්සනයි කියලා. තොල් ලොකුයි ලස්සනයි කියලත් කිව්වා. මට Big eyes කියලා විහිළුත් කරනවා. එයාලා නිතරම කියනවා මගේ ලොකු ඇස් ස්ක්‍රීන් එකට ලස්සනට ලොකුවට පේනවා කියලා. ඒ වගේම මගේ හිනාවත් ලස්සනයි කිව්වා. මූණ, හම ලස්සනයි කිව්වා. කොණ්ඩේ ලස්සනයි කිව්වා. මගෙන් අහනවා හැමතිස්සෙම ඔයා කොහොමද ලස්සනට ඉන්නෙ කියලා. එකම විදිහට ඔයා ඔයාගේ ලස්සන තියාගන්නෙ කොහොමද කියලා අහනවා. හැම වෙලේම ඔයා කොහොම දැක්කත් ලස්සනයි කියලා කියනවා.  එයාලා කොහොමත් අපේ හමේ පාටට හරි ආසයි. එයාලගේ ඇස් නිල් පාටයි. දුඹුරු පාටයි. අපේ ඇස් කළු පාටයිනෙ. 

එයාලා කළු පාට ඇස්වලට හරි ආසයි. මේකප් කරද්දිත් කළු කොණ්ඩය හරි ලස්සනයි කියලා අතගාලා බලනවා. එයාලගේ කලාකරුවන් ඇත්තටම මල්ටි මිලියනර්ස්ලා. එයාලා කියන්නෙ ඒ කලාකරුවන් වුණත් ටිකක් තමන් ගැන ලොකු තක්සේරුවකින් ඉන්න අය කියලා. එයාලා එයාලා අතරෙම ලොකු තරගයක් තියෙනවලු. මේ චිත්‍රපටයේ දිනිඳු 'මියුසික්, ඩාන්සින්' දෙකම කරනවා. දිනිඳුට මියුසික්, ඩාන්සින් හොඳට පුළුවන් කියලා දැනගත්තම ඒවටත් දිනිඳුව යොදාගත්තා. එයා මාත් එක්ක චිත්‍රපටයේ රඟපානවා 'ටුවරිස්ට් ගයිඩ්' කෙනෙක් විදිහට. මට ඇත්තටම සතුටුයි දිනිඳු ඒ හදාගෙන තියෙන තැන ගැන. එහෙම බලද්දි අපිට අපි ගැන සතුටක් දැනෙනවා තමයි. 

Qහරිනි රඟපාන්නෙ කොහොම චරිතයක්ද?

මම රඟපාන්නෙ ගෝත්‍රික නායකයගේ දුවගේ චරිතය. ඒක ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. චිත්‍රපටය අවසන් වෙන්නෙ මගේ සහ දිනිඳුගේ රංගනයෙන්. 

Qහරිනිට ඒ අය රුසියාවට යන්න කතා කළේ නැද්ද?

කියනවා ඔයාට එහේ ගොඩක් වැඩ තියෙනවා ආවොත්. ඒ නිසා එහෙට එන්න කියලා. නිෂ්පාදකවරු සහ කිහිප දෙනෙක් මගෙන් කසාද බඳින්න කැමතිද කියලත් ඇහුවා. මම ඉතින් තරහ නොවී හරි කාරුණිකව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මට පෙම්වතෙක් ඉන්නවද? විවාහක නෑ නේද? විවාහ වෙන්න කැමතිද වගේ ප්‍රශ්න සමහර අය ඇහුවා. මගේ අම්මත් ගියා මාත් එක්ක රූගත කිරීම්වලට. අම්මගෙනුත් ඇහුවා මාව බඳින්න දෙනවද කියලා. දුවව දෙන්න පුළුවන්ද? මම දුවට කැමතියි කියලා එයාලා ඇත්තටම අහනවා. මට වීසාවලට අවශ්‍ය ඩොකියුමන්ට් එහෙම ඔක්කොම එවපු අය හිටියා ඉවර වෙච්ච ගමන් එහෙ යමු කියලා. මාත් එක්ක වැඩ කරපු ආර්ටිස්ලා දෙන්නෙකුගෙන් සහ නිෂ්පාදකවරු දෙන්නෙකුගෙන් තමා ඒ විවාහ යෝජනා ආවේ. මගෙන් ඇහුවා ඔයා කැමති නැද්ද සුදු අයට. අපිට කැමති නැද්ද වගේ ප්‍රශ්න. මම ඉතින් බොහොම අමාරුවෙන් නෑ නෑ එහෙම නෙවෙයි කියලා තේරුම් කරලා දීලා ඒ යෝජනාව මඟඇරියා. 

Qරූගත කිරීම් ඉවරවෙලා ඔයාට සමුදෙද්දි එයාලගේ ඇස්වල කඳුළු තිබුණද?

ඔව් එයාලා ඇත්තටම ඇඬුවා. එයාලට හරි දුකයි කිව්වා මාව දාලා යන එක. ඒ වගේම මට කිව්වා ප්‍රිමියර් එකට මට කතා කරනවා කියලා. අවුරුදු එකහමාරකින් විතර පස්සේ ප්‍රිමියර් එක තියෙයි. ඒකට මටත් දිනිඳුටත් මරීනාටත් කතා කරනවා කියලා කිව්වා. එයාලා සමුගනිද්දි මට මට එක එක තෑගිත් දුන්නා. 

Qමොනවද ඒ දුන්න තෑගි?

සිප්පි කටුවලින් හදපු ලස්සන අරුංගල් දෙකක් දුන්නා. ඒක පබළු එහෙම දාලා ලස්සනට අලංකාර කරලා. ආයේ එයාලා මෙහෙන් අරගෙන මැටි පිඟන්. එයාලා ඒවා හුඟක් කට්ටල් පිටින්ම අරගෙන. එයාලා විශ්වාස කරනවා මැටිවලට කෑමවල තියෙන විෂ රසායන ද්‍රව්‍ය ඇදලා ගන්නවා කියලා. ලී සහ මැටි පිඟන් කෝප්ප එයාලා මට දුන්නා. ඒවගේ තව තෑගි දුන්නා.

Qඔයාලා සිංහල කතා කරනවා අහගෙන ඉඳලා එයාලා ඉගෙන ගත්ත සිංහල වචන නැද්ද?

තියෙනවා. සුබ රාත්‍රියක්, ආයුබෝවන්, සුබ උදෑසනක්, කොහොමද? හොඳයිද? කියලා කියනවා. අපේ අය උගන්නලා එයාලට අම්මට සිරි කියලා. එයාලා මෙහෙදි කන හැම කෑමකම රස බලලා ඉවරවෙලා අම්මට සිරි කියනවා. එහෙම කියන්නෙ රසයි කියන එක අඟවන්න. අපි එයාලගේ භාෂාවෙන් එයාලට කියද්දි එයාලා අපේ භාෂාවෙන් සුබ රාත්‍රියක් කියනවා. සුබ උදෑසනක් එහෙම කියනවා. 

Qලංකාවේ කෑම බීමවලට එයාලා කැමති වුණාද?

ඔව් පොඩ්ඩක් සැර වැඩියි කියලා නම් කියනවා. එයාලා බත් හරි පොඩ්ඩයි කන්නෙ. සැලඩ් කන්න ආසයි. මෙහෙ ඒගොල්ලා වැඩිපුරම ආසා වුණේ චිකන් කරි එකටයි පපඩම්වලටයි. පපඩම් එයාලා නිකනුත් ඉල්ල ඉල්ලා කනවා. රුසියානු කෑමයි ශ්‍රී ලංකාවේ කෑමයි දෙකම හදලා කලවමේ තමයි කෑවේ. 

Qරූගත කිරීම් දවස් 29න් හරිනි එයාලත් එක්ක රුඳුණු කාලය කොච්චරද?

සති එකහමාරක් විතර.

Qඒ සති එකහමාර තුළ සිදුවෙච්ච අමතකම නොවෙන සිදුවීම්, ආදරණීය මතක සටහන් ඉතුරු කරපු සිදුවීම් මොනවද?

මේ චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා මම මුහුදේ පීනන දර්ශනයක්. ඒ දර්ශනයේදී මුහුද ඇතුළට පීනලා යන්න ඕනෙ. එදා මුහුද ටිකක් සැරයි. මාව එකපාරටම ගහගෙන යන්න වගේ ගියා. ඒ පිරිමි අය උස මහත අය නිසා මාත් එක්ක ඒ දර්ශනයේ හිටපු අනිත් දෙන්නා අමාරුවෙන් වුණත් මාව අල්ලගත්තා. ප්‍රධාන නළුවෝ දෙන්නයි මමයි තමයි ඒ දර්ශනයේ හිටියේ. මට ඇත්තටම ඒ වෙලාවේ බය හිතුණා. ඒත් මට විශ්වාසයක් ඇතිවුණා. මගේ හිත මට කිව්වා මට මුකුත් වෙන්නෙ නැහැ කියලා. එයාලා මුලදිම මට කිව්වා මොනවා හරි වුණොත් බය වෙන්න එපා. අපි ඉන්නවා ළඟ. රුල්ලක් ආවොත් අල්ලගන්නවා කියලා. ඒ දර්ශනය දෙතුන් වතාවක් ගන්න වුණා. නැත්නම් අනිත් දර්ශන නම් හුඟක් වෙලාවට එක පාරින් නැත්නම් දෙපාරින් ඉවර කළා. එක දර්ශනයක් තිබුණා ඉර බහින්න කලින් අරගෙන ඉවර කරන්න ඕනෙ එකක්. ඒ දර්ශනයෙදි පළවෙනි වතාවෙදි එයාලගේ කැමරා ප්‍රශ්නයක් වෙලා හරි ගියේ නැහැ. දෙවැනි වතාවෙදි හරියටම ගත්තා. මම එකපාරින් ඒ දර්ශනය හරියටම කරලා ඉවර වුණාම එයාලට දැනිච්ච සතුටට එයාලා මට අත්පුඩි ගැහුවා. ඉර බහිද්දිම මම ඒ දර්ශනය හරියටම අරන් දුන්නම තමයි ඒ අය මට එහෙම ප්‍රතිචාර දැක්වුවේ. එයා දිනිඳු සහ මම ගැන හුඟක් සතුටු වුණා අපි කරපු වැඩේ හරියටම කළා කියලා. අනිත් නළු නිළියන්ට ඒ වගේ දර්ශන කරද්දි අතිරේක රංගන ශිල්පීන් හිටියත් මට එහෙම කෙනෙක් හිටියේ නැහැ. මොකද එයාලට එහෙම කෙනෙක් හොයාගන්න බැරිවෙලා තිබුණා. ඒ නිසා අසීරු දර්ශන වුණත් මමමයි රඟපෑවේ. එයාලා මගෙන් ඇහුවා ඔයා වගේ කෙනෙක් ඔයා වෙනුවට හොයාගන්න විදිහක් නැහැ. ඒ දුවන පනින දර්ශන ඔයාටම කරන්න පුළුවන්ද කියලා. මේ ලංකාවේ දුවන්න පනින්න බැරි මොකද? මම සතුටින් ඒවා බාරගත්තා. ඇත්තටම මෙච්චර දෙයක් මට කරන්න පුළුවන්ද කියලත් මම මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ. එයාලා හරියටම වෙලාවට වැඩ කරනවා. හරිම පිළිවෙළයි. එයාලගේ කලාකරුවන්ට දෙන විදිහේ ඉස්තරම්ම කෑම අපිටත් දුන්නා. කිසිම වෙනසක් නොකර සැලකුවා. එයාලා කලාකරුවන්ට හුඟක් ගරු කරනවා. එයාලා ''ලොකේෂන්'' එකේ ඉද්දිත් ඉවරවෙලත් අපිට පුදුම ගෞරවයක් දක්වන්නේ. ''ෂොට්'' එකෙන් ''ෂොට්'' එකට ඉවර වුණාම ළඟට ඇවිල්ලා ඒක ලස්සනයි නියමටම කළා කියලා අගය කරනවා. අත්පුඩි ගහනවා. අපි ඒකට හරි ආසයි. ඒ අය හරිම ඉවසිලිමත්. කලාකරුවෙකුගේ සුව පහසුව ගැන හැමවිටම හිතනවා. නිදහසේ අපිට රඟපාන්න පසුබිම හදනවා. ඇත්තටම අපිව විශ්වාස කරලා මේ තරම් දැවැන්ත වැඩකට අපිව යොදාගත්ත එක ගැන මට වගේම දිනිඳුටත් ඔවුන් ගැන ලොකු ගෞරවයක් තියෙනවා. එයාලගේ කැමරා, ඩ්‍රෝන ඇත්තටම ලක්ෂ ගණන්, කෝටි ගණන් වටින බඩු. මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල වගේම එයාලගේ රටේ පැවැත්වෙන Golden award ceremony දෙකක් ඉලක්ක කරගෙන තමයි නිර්මාණය කරන්නෙ කියලා කිව්වා.

Qඔබ රඟපෑ ඒ චිත්‍රපටය ලාංකික ප්‍රේක්ෂකයන්ට දකින්න නැද්ද?

මම ඇහුවා ඒ ගැන. එයාලා කිව්වා චිත්‍රපට සංස්ථාව ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පවත්වනවා. ඒ චිත්‍රපට උළෙලෙදි සතියකට මෙරටේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඒ චිත්‍රපටය දෙන්න කැමතියි කියලා. මමත් හරි ආසයි මම රඟපෑව, මගේ පළමු ජාත්‍යන්තර චිත්‍රපටය මගේ රටේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා නම්.

සංජීවිකා