ඇය සම්බන්ධ නොවුවා නම් සමහර විට අද මේ වනවිටත් මම විවාහ නොවී සිටින්නට ඉඩ තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගනයේදී තමා බාරගත් චරිතයට අපූරු ජීවයක් ලබා දෙන රංග ශිල්පියකු ලෙස ධනංජය සිරිවර්ධන නම් කළ හැකියි. චරිත ගොන්නක් බදාගෙන රඟපානවාට වඩා, එක් චරිතයක් තෝරාගෙන ඊට හැකි උපරිම දායකත්වය ලබා දෙන නිසාම, ධනංජය සිරිවර්ධන රඟපාන චරිත ප්‍රේක්ෂකයාගේ මතකයේ නිරන්තරයෙන් රැඳී පවතී. විකාශය වූ වීදුරු මල් සමග හමුවූ ධනංජය, සුපුරුදු පරිදි රූපවාහිනී නිවේදකයකු ලෙසද කටයුතු කරයි. රංගනයට, නිවේදනයට, තිර රචනයට දක්ෂ ඔහු තවත් අලුත් වැඩකට අතගහලා කියලා තමයි ආරංචිය? ඉතින් ඒ විස්තර ඔක්කෝම ධනංජය අද අපට කියාවි. 

ධනංජය මේ දිනවල නිලමේ කෙනෙක් වෙලා නේද? 

ඔව්. ළඟදීම විකාශයට නියමිත චණ්ඩි කුමාරිහාමි. නාට්‍යයේ උඩියංකුලම නිලමේ ලෙස රඟපානවා. ඒක ඓතිහාසික කතාවක්. චරිතයක් ලෙස ගත්තොත් දුෂ්කර රංගනයක්. ඒ වැඩේට මම ආසයි. ඒක මිනිස්සු අතර ප්‍රකට නාට්‍යයක් වේවි. වසර දෙසීයකට විතර පෙර වූ කතාවක්. සමහරු කියන්නේ ඒක ඇත්ත කතාවක් කියලයි. ඒ වගේම ප්‍රබන්ධයක් කියලත් සමහරු කියනවා. මේ දිනවල අපි ඒ වෙනුවෙන් ඉන්නේ කතරගම, අනුරාධපුර වගේ පළාත්වල.

ඒ හැර වෙන නාට්‍ය මොනවද? 

නිහඬ ගිර සහ තවත් නාට්‍ය හතක් විතර විකාශයට පෙළගැසී තියෙනවා. 

මේ ඔක්කෝටම අමතරව ඔබ මේ වනවිට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, ඒ ගැන කියමු?

මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය විකාශයට නියමිතයි. ඉතින් අධ්‍යක්ෂණය ගැන කතා කළොත් විකාශය වූ නම්බර් 9 ටෙලි නාට්‍ය ලියද්දි මම ඒ චරිත ඔක්කෝම එක්ක ජීවත් වුණා. මගේ මනසේ ඒ සියලු චරිත තිබුණා. අධ්‍යක්ෂණයේදීත් ඒ වගේම තමයි, දෙබසක් ලිව්වත්, ඒ චරිතය ඇතුළට ගිහින් තමයි ඒ දෙබස ලිව්වේ. අධ්‍යක්ෂණයේදීත් ඒ වගේමයි. අධ්‍යක්ෂණය කරද්දී ඒ හැම චරිතයක් එක්කම මම හිතින් රඟපාලා තියෙනවා. මගේ අධ්‍යක්ෂණය යටතේ මගේ සහෝදර නළු නිළි පිරිස ලබා දුන්නෙ උපරිම සහයෝගයක්. ප්‍රවීණයාගේ  සිට ආධුනික අය දක්වා ඒ ලබා දුන් දායකත්වය ඉහළයි.  

අද වැඩි දෙනෙක් ටෙලිනාට්‍ය නරඹන්නෙ රූපවාහිනියෙන්ද? යූටියුබ් එකෙන්ද? 

ටෙලිවිෂන් එකෙන් නරඹන එක අපට ගණනය කරන්න බැහැනෙ. එක එක සැසඳීම් කරන්න පුළුවනි. නමුත්, යූටියුබ් එකේදි නරඹන ගණන (වාර) අංකයකින් පෙන්වන නිසා සංඛ්‍යාවක් තියෙන නිසා චිත්‍රපට පවා යූටියුබ් එකට මුදා හැරියා. ඒත් තවමත් කොළඹින් පිට ගිහින් බැලුවොත් අපි නොහිතන ගම් දනව්වල පවා ටෙලිවිෂනය තවමත් ඔන් (සක්‍රීයයි) ඒ නිසා තවම ටෙලිවිෂන බලනවා කියන දේ කියන්න පුළුවනි. කාර්ය බහුලත්වය එක්ක අද මිනිස්සු බොහෝ දෙනා යූටියුබ් එකට හුරු වෙමින් සිටින්නෙ. ජංගම දුරකතනයෙන් හරි එය නරඹන්න පුළුවන් නිසයි. ටී.වී. එක විවේකීව නරඹන්න පුළුවන්නෙ කියන ආකල්පයත් මිනිසුන්ට තියෙනවා. මේ දෙකේම ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒත් හරියටම වැඩි පිරිසක් ඉන්නේ ටී.වී. එක වටාද? යූටියුබ් එක වටාද කියලා කියන්න සහ නිගමනවලට එන්න තවම කල් වැඩියි. මගේ අදහසට අනුව නම් මිනිස්සු තවමත් ටෙලිවිෂනය එක්ක ඉන්නෙ. 

ධනංජය ඔබගෙ යුගදිවිය ගැන කතා කළොත් ශෂිනි ජීවිතයට එක්වීම අද ඔබට දැනෙන්නේ කොහොමද? 

එයා ජීවිතයට සම්බන්ධවීම සහ එයාව මගේ ජීවිතයට සම්බන්ධ කළ පිරිසක් හිටියා. ඉතින් ඒ විදියට ඇයව සම්බන්ධවීම නිසා මගේ ජීවිතය වෙනස් වුණා. ඇය සම්බන්ධ නොවුවා නම් සමහර විට අද මේ වනවිටත් මම විවාහ නොවී සිටින්නට ඉඩ තිබුණා. තනියම සිටීවි සමහර විට. ඒ තනිකම එක්ක මීට වඩා වැඩ කරන්නත් ඉඩ තිබුණා. ඒ වගේ දේ වෙන්න තිබුණත් ඇය පැමිණීම නිසා මගේ ජීවිතය හොඳම වුණා. 

ඇය ඇයගේම යූටියුබ් නාලිකාවක් කරගෙන යනවා. බොහෝ දෙනා කියන්නේ ඇය රඟපෑමට වඩා දක්ෂයි කියලයි. ධනංජය අකමැතිද ඇය රඟපානවාට? නැත්නම් ඇය රඟපෑමට අකමැතිද? 

මගේ එහෙම කැමැත්තක් හෝ අකමැත්තක් නැහැ. ඇයට සිනමා නිර්මාණවල රඟපෑමට ආරාධනා ලැබුණා. මට ඇරයුම් නැති අවස්ථාවලදී ඇයට රඟපෑමට අවස්ථා ලැබුණා. එතැනදී මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එයාගෙ කැමැත්තනෙ. ඒත් එයා කියන්නේ නිළියක වීමට සුදුසුකම නළුවකුගෙ බිරිඳවීම කියන එක නෙවෙයි, ඊට එහා ගිය බොහෝ දේ ගැන එයාට වැටහෙන බව තේරෙනවා. චරිතයක් ලැබුණාම මම ඒ චරිතය රඟපෑමට පෙර කරන කැපවීම, ලැහැස්ති වෙන විදිය ගැන එයා දන්නවා. විශේෂයෙන්ම විවාහයෙන් පස්සෙ මම චරිතයකට රෙඩි වන විදිය එයා දැකලා තියෙන නිසා ඇයට ඒ වගේ කැපවීම කරන්න බැහැ කියලා තමයි ඇය වටහාගෙන ඉන්නෙ. ඇය මට වඩා ටෙලි සීරිස්, ජාත්‍යන්තර නිර්මාණ නරඹන කෙනෙක්. හොඳ ප්‍රේක්ෂිකාවක්, ඒ නිසාම රංගනයේ ඇති ගැඹුර අසීරුතාවය, ඇය දන්නවා. ඒ නිසා ඇය කියන්නෙ රඟපෑම කියන්නෙ ඇයගෙ විෂයය නොවයි කියලයි. යම්කිසි විදියකින් ඒ විෂය ගැන හැදෑරුවා නම් ඇය එය ඉතාම නිවැරදිව කරාවි. මොකද ඇයට හොඳ අධ්‍යාපනයක් තියෙන්නෙ. ඒත් ඇය රඟපෑමේ අංශයට තවම රෙඩි නැහැ. 

ගෙදරදී ඇයගේ භූමිකාව මොන වගේද? ධනංජයට පැවරිලා තියෙන වැඩ මොනවද? 

වෙනත් සාමාන්‍ය පවුල්වල අය වගේ අපි දෙන්නත් සාමාන්‍යයි. ගෙදර උයන වැඩ නම් ඔක්කොම කරන්නේ ශෂිනි. මොකද මට උයන්න බැහැ. ගෙදර පිරිසිදු කරන වැඩවල සිට අනෙක් දේ නම් මම කරනවා. පිරිමියකුට කළ හැකි සෑම දෙයක්ම කරනවා. එහෙම කළ යුතුයි. ශෂිනිට එක් එක් කෑම ජාති හරි රසට උයන්න පුළුවනි. 

ශෂිනි උයන කෑම වලින් ධනංජය ආසම? 

එහෙම විශේෂයක් නැහැ. මොකද රස කියන දේ එක්ක මාව සතුටු කරන්න හරි පහසුයි. ඕනෑ දෙයක් මට රසයි. කෑම රසයේදී අඩුපාඩු නොකියන කෙනෙක් මම. ඒ නිසා මට කෑම  හදන එක ලෙහෙසියි. නමුත් ශෂිනි කෑම රසට හදන කෙනෙක් වග මම තේරුම් ගත්තෙ අපේ අම්මත් රසට කෑම හදන නිසා. ඒ රස අපට දැනිලා තිබුණෙ. ශෂිනි හදන  කෑම හැම එකක්ම වගේ හරි රහයි. 

ෆැමිලි එකක් විදියට ඒකාකාරී බවෙන් මිදෙන්න කියලා මොනවද කරන්නෙ? කොහෙද යන්නෙ? 

ඒකාකාරී බව අපි හැමෝටම මේ කාලයේ දරා ගන්න අමාරු දෙයක්නෙ. රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවනෙ. අපට අපේ ඒකාකාරී බව නැති කරන්නෙ අපේ බබා. දවසින් දවස ඇය ලොකු වෙන හැටි ඇයගේ ක්‍රියාකාරකම් මොහොතින් මොහොත ඇය දිහා බලා සිටිද්දී කාලය ගත වෙනවා දැනෙන්නෙ නැහැ. නොදැනීම වසර දෙකක් ගෙවී ගියා. අපි දෙන්නගෙම ජීවිත වෙනස් කළ කෙනා අපේ දුව. 

චූටි දුව වැඩිය කැමති? 

එයාට දුවන්න පනින්න තැනක් තියෙනව නම් එතැනට යන්න තමයි ආසම. දුවන්න තියෙනව නම් ඊට වැඩිය දෙයක් එයාට නැහැ. කොළඹ නිසා අපිට ඉඩ අඩුයිනෙ. කොහේ හරි ඉඩ තියෙන තැනකට ගියොත් එයා කරන්නෙ දුවන එක තමයි. ගෙදරින් පිට ඕනෑම තැනක් එයාට අලුත් නිසා ඒ ඕනෑම තැනකට යන්න ආසයි. 

ශෂිනි - ධනංජය යුවළගෙත් සමාජයට දෙන උපදෙස්?

සමහර විට අපි එහෙම කියන්න ගියාමත් පෙරලා ප්‍රේක්ෂකයින් ප්‍රශ්න කරාවි  අපට උපදෙස් දෙන්න ඔයාලා කවුද කියලා? 

කොහොම වුණත් මම කියන්නෙ මම සමාජයට දෙන  උපදෙස වන්නේ තව කෙනෙක්ගෙ ජීවිත දිහා බලලා ඒ විදියට වෙන්න හෝ ඒ වගේ කරන්න හදන්න එපා. මොකද එකිනෙකාට එකිනෙකාගෙ ජීවිත වෙනස්. ඒ නිසා තමන්ගෙ ජීවිතය ගැන දන්නෙ තමුන්. අනෙක් අය හෝ නළු නිළියන් හෝ ජනප්‍රිය චරිත කරන දේ දිහා බලාන ඉඳලා ඒ වගේ වෙන්න එපා.  තමුන් තම තමුන්ගේ විදියට කටයුතු කරන්න. එවිට ජීවිතය දැනේවි. 

සමබරව ෆැමිලි ලයිෆ් එක ගෙන යන්න නම් පිරිමියා නැත්නම් සැමියා ලෙස ඔබ හිතන්නෙ කොහොමද? 

මොන දේ හෝ වේවා ඔයා හරි කියලා ඒ කියන්නේ බිරිඳ හරි කියලා හිටියොත් ප්‍රශ්න නැහැ. ශෂිනි නම් ප්‍රශ්න දාන කෙනෙක් නෙමෙයි. පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි. එයාගෙ වැරැද්දක්, අඩුපාඩුවක් කිව්වේ නැත්නම් ඇයි  නොකිව්වේ? ඇයි පෙන්වලා නොදුන්නෙ? කියන තරමට අහන්න තරම් එයා විනීත බුද්ධිමත් කාන්තාවක්. අපි තවම අපි අපිව තේරුම් ගනිමින් ඉන්නෙ. මොකද රටේ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි අපටත් තියෙන්නේ. ලස්සනට ඇඳලා, පෙනුමට හිටියට අපේ ජීවිතත් රෝසමල් වගේ නෙවෙයි. සාමාන්‍ය ජනතාවට දැනෙන වේදනාව, හැමෝටම දැනෙන දුක, ඒ සියල්ල අපටත් දැනෙනවා සහ අපටත් තියෙනවා. 

සඳුන් ගමගේ