ඇත්තම අරගලයකට කැඳවීමක් VILLAIN
කොන්දේසි විරහිත ආදරයට මිනිසෙකු දුෂ්ඨයෙකු බවට පත් කළ හැකි වග කියා දෙයි VILLAIN.
කොන්දේසි විරහිත ආදරය හමුවේ අත් නොහැරිය හැකි කිසිවක්ම නැති වග කියා දෙයි VILLAIN.
දුෂ්ඨයෙකු ලෙස සමාජය හමුවේ නිර්වචනය වෙන මිනිසෙකුගේ හදගැස්ම සහ සාධාරණත්වය ඉල්ලා අරගල කරන සංධ්වනියයි VILLAIN.
ආදරය වෙනුවෙන් ගැහෙන පිරිමි පපුවක හදගැස්මත් සංධ්වනියත් රිද්මයත් ගැන කතාන්දරයයි VILLAIN. යළිත්.. ඔව් යළිත් ආදරය වෙනුවෙන්ම කරන අරගලයක් ප්රස්තුත කරගත් VILLAIN චිත්‍රපටය අහම්බයක් ලෙස මම ඉකුත් දිනක නැරඹුවෙමි. VILLAIN නැරඹූ ඉනික්බිති මට කතා කරන්නට අවැසි වන්නේ VILLAIN සිනමා වියමනේ සංගීතය, කැමරාව, එහි සමස්ත රිද්මය ගැන නොවේ. තවමත් ලාංකික සිනමාව තුළ නිසි ඇගයුමකට පාත්‍ර නොවූ එහෙත් පාත්‍ර විය යුතු නළුවෙක් ගැනය.
කැළුම් ආර්යන්... ඒ නළුවාය. එහෙත් නළුවෙක් යන භූමිකාව තුළ පමණක් ආර්යන් ලඝු කරන්නට මට නොසිතෙන්නේ එතරම් අසාධාරණයක් ඔහුට කරන්නට මට සිත් නොවන නිසාමය.
සිනමා තිර රචකයෙක් වන කැළුම් ආර්යන් VILLAIN චිත්‍රපටයේද තිර රචකයාය. එහි අධ්‍යක්ෂණය ලස්සන ජයසේකරය. ගායකයෙක්, ගී පද රචකයෙක්, නිරූපණ ශිල්පියෙක් සේම නර්තන ශිල්පියෙක් ලෙසද විවිධ භූමිකාවන්හි සරන ආර්යන් සිනමා අධ්‍යක්ෂණයෙහි නිපුණයකු බවට මට ලබාදුන් ප්‍රබලම සාක්ෂිය වන්නේද VILLAIN චිත්‍රපටයේ ඔහුගේ රංගනයයි. VILLAIN චිත්‍රපටයේ ආර්යන්ගේ රඟපෑමේ විවිධ දිශානතීන් ඉසියුම් වෙසකින් පිරික්සා බලද්දී ඔහු ඔහු විෂයෙහිම සියුම් අධ්යක්ෂණයක නිරතව තම චරිතය හා ආත්මීය හුස්මක් ගන්නා ප්‍රබල තැන් කිහිපයක් මම දකිමි. රංගනයෙහි වෙසෙසින් දක්ෂ රංගධරයෙකුට සවිඥානික සංවේදීත්වයකින් යුත් අධ්‍යක්ෂවරයෙකු විය හැකි බව මගේ විශ්වාසයයි. ඇස් පිල්ලමක් සසැලෙන රිද්මයේ වේගයේ සිට හිතුවක්කාර කෙහෙරුල්ලේ නලියන හැඩයේ වේගවත් අනම්‍යශීලී රිද්මයේ සිට ආර්යන් VILLAIN තුළ මුදාහරින රංග රිද්මයේ වෛවර්ණ රංග රේඛාවන් සහ ඉසියුම් සම්මිශ්‍රණයන් තවදුරටත් තහවුරු කරලූයේ චරිතයක් තුළට කිඳා බැස ඒ හා ආත්මීය හුස්මක් ගන්න රංගධරයෙකු ලෙස ඔහු සතු ප්රතිභාවයි.
කැළුම් ආර්යන් යනු මා දුටු නිර්මාණශීලීම සහ පුදුමාකාර රිද්මයක් සහ ආකර්ෂණයක් ඕනෑම වේදිකාවක් මත විසුරුවා හරින නර්තන ශිල්පියෙකි. සැබැවින්ම එවන් නර්තන කෞෂල්‍යයන් ඇති නළුවන් ලාංකික රංගන ලෝකය තුළ ඉතාමත් විරල පසුබිමකදී ආර්යන්ගේ නර්තනය යනු ඕනෑම සිනමා වියමනකට අමුතුම දීප්තියක් වග කිව යුතුමය.
සිනමා නළුවෙකුට සරිලන උස් ඍජු කඩවසම් දේහ විලාසයක් සහ රිද්මයක් ඔහු සතුය. ඔහුගේ කඩවසම් පිරිමි රූපය මට සිහිපත් කරන්නේ මලයාලම්, දමිළ සිනමාපටයන්හි අමුතු වෙනස්ම හැඩයක් ගත් නළුවන්ය. ඔහුගේ නර්තනය සැබැවින්ම මලයාලම්, දමිළ සිනමා වියමන්හි නර්තන රිද්මයන් සහ හැඩතල තරමටම සමබර ලගන්නා රිද්ම සම්මිශ්‍රණයකි. එදත් අදත් මම ආර්යන් නිර්වචනය කරන්නේ රතු පාට සැර අකුණක් ලෙසය. ඕනෑම සිනමාමය අහසක් දෙදරවමින් පුපුරා යන්නට තරම් ශක්තියක් සහ රිද්මයක් සහිත අකුණක් ලෙසය. එහෙත් ඒ අකුණ ඒ තරම් තියුණු ලෙසකින් පුපුරුවා හරින්නට තරම් ඉසියුම් අධ්‍යක්ෂණයක් සහ ප්‍රබල තේමාවක් යටතේ නිර්මාණය වූ සිනමා වියමනක රඟන්නට මෙතෙක් ආර්යන්ට වරම් නොලැබුණු බව මගේ හැඟීමය. එහෙත් VILLAIN තිර රචනය, ප්රස්තුතය සහ එහි විලන් ලෙස ආර්යන්ගේ රංගනය ඔහුගේ අනන්‍යතාව කුමක්දැයි යන්න ලාංකික ප්‍රේක්ෂකාගාරය සහ විචාරකයන් වෙත ප්‍රබල සංනිදර්ශනයක් සපයයි.
VILLAIN චිත්‍රපටයේ ප්රස්තුතය තුළ ආර්යන් ගැඹුරින් කතා කරන්නට ප්රයත්න දරා ඇත්තේ ජරාජීර්ණ වූ ආධ්‍යාත්මයක් සහිත පාරිභෝගිකවාදී ශ්‍රී ලාංකික සමාජ දේහය තුළ ඕජස් ගලන තුවාල සහ ඒ තුවාල තුළින් සිදුරු වූ සමාජ සන්දර්භයන් පිළිබඳවය. කශේරුකාවක් නැති ලාංකික දේශපාලනය තුළ පුරුෂාර්ථ බවට පත් වී ඇත්තේ ධනය, බලය, සූරාකෑම සහ අධිපතිත්වයයි. කුහක වැඩවසම්වාදී චින්තනයෙන් තවමත් නොමිදුණු ගෝත්රිකවාදී සංස්කෘතිකවාදී බහුතර චින්තනය වර්ණ දේශපාලනයෙන් තවමත් නොමිදුණත් සැබැවින්ම තාරුණ්‍යය පෙළගැසිය යුත්තේ සැබෑ අරගලයකට මඟ විවර කරන චින්තනමය විප්ලවයක් උදෙසාය. තමන්ගේ හෘද සාක්ෂිය තරම් බලවත් අධිකරණයක් ලෝකයේ කොතැනකවත් නැත. ඒ අධිකරණය හමුවේ විනිසුරුවරයා විය යුත්තේද තමන්ම මිස අනෙකකු නොවේ. එහෙත් හෘද සාක්ෂිය මරා දමා පිට කොන්ද කඩා දැමූ මිනිස් වගකට වග වෙන්නට තැනක් නැති ඛේදවාචකය තුළ අනීතියත් අසාධාරණයත් අයුක්තියත් අනාදරයත් පුපුරු ගසමින් දළුලමින් තෙත් විය යුතු මහ පොළොව වියළි මුඩු බිමක් බවට පත් කර හමාරය. මේ ඛේදවාචකය තුළ අප අත්විඳින්නේ 1948 සිට අද දක්වා මෙරටේ පාලන තන්ත්රය දෙවුර දැරූ සියල්ලන්ගේ හෘද සාක්ෂියක් චින්තනයක් දැක්මක් සහ හදවතක් නැති කරුමය සහ සාපයයි. ඒ තුළ මෙරටේ සිවිල් පුරවැසියන් අත්විඳින අනේක පීඩනයන් සහ ධනයට බලයට විසිවෙන නීතියේ දෙවඟනගේ යුක්තියේ තුලාව නගන කෙඳිරිල්ල පිළිබඳව VILLAIN සිනමා වියමන ඔස්සේ කතා කරන්නට කැළුම් ආර්යන් මෙරටේ තරුණයෙකු පුරවැසියෙකු සහ රංගධරයෙකු ලෙස දරන වෑයම ප්‍රශංසනීයව අගය කළ යුතුමය.
වී.අයි. ලෙනින් රුසියානු විප්ලවයට මඟ හෙළි පෙහෙළි කර ගත්තේ සාහිත්‍ය තුළිනි. රුසියානු විප්ලවයේ කැඩපත ලෙස හඳුන්වන ලද්දේ ලියෝ තෝල්ස්තෝයිය. එදා ජන විඥානය සැබෑ මානුෂවාදී අරගලයක් කරා යොමු කරන්නට වී.අයි. ලෙනින්ට රුසියානු සාහිත්‍ය අප්‍රමාණ ධෛර්යයක් සහ වගවීමක් සැපයීය. සත්‍යජිත් රායි, අකිර කුරසාවා වැනි සිනමාවේදීන් සිනමා වියමන් ඔස්සේ ප්‍රතිමූර්ත කළේ තම සමාජ මහ පොළොවේ අක්මුල් සිසාරා ගොස් ඇහිඳගත් මිනිසුන්ගේ හදගැස්ම හා සම්මිශ්රිත වූ අර්ථවාදී අනුභූතීන්ය. එහෙත් ලාංකික සිනමාව තුළ එවන් ගවේෂණාත්මක සිනමාමය මෙහෙවරක නියැලී සිනමාවේදීන් මෙන්ම ජනතාවාදී හදගැස්මක අතිශය සංවේදී වූ සිනමාවේදීන් මෙන්ම කලාවේදීන් හමුවන්නේ නම් එය ඉතාමත් අතළොස්සකි. එහෙත් ප්රගතිශීලී සමාජ මෙහෙවරක් උදෙසා කලාවේ බරසාර හරය එක්තැන් කළ යුතු තැන එතැනම නොවේද? එවන් මහා රික්තකයක් පවතින දුප්පත් මහ පොළොවක පුංචි පැළයක් හෝ පැළ කරන්නට මෙරටේ තරුණයෙක් පුරවැසියෙක් සහ රංගධරයෙක් ලෙස කැළුම් ආර්යන් ගත් අල්පමාත්‍රික හෝ මහන්සිය මගේ අප්‍රමාණ ආදරයට ගෞරවයට සහ ප්‍රශංසාවට පාත්‍ර වන්නේ අප හිඳින්නේ එවැනි කලාත්මක ප්රවේශයන් අවැසිම ඉඩහසරක වන හෙයිනි.
ලෝකයට ආදරය කරන්නට ඉගැන්විය හැක්කේ අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය තුළින් යැයි මම විශ්වාස කරමි. එහෙත් චින්තනය කටු අකුලින් ඇහැරවන එවන් ප්රගතිශීලී සහ අසංස්කෘතිකවාදී සහ නිරාගමික අධ්‍යාපන ක්‍රමවේදයක් හෝ කලාවක්, සාහිත්‍යයක් කෙරේ ආත්මීය යොමුවක් උදෙසා වූ ක්‍රමවේදයක් තවමත් ඔබත් මමත් පය ගසා හිඳින ලාංකික පොළොව තුළ මේ මොහොත දක්වා මම නොදකිමි. ජාති, ආගම්, කුල, සමාජ පන්තිය, සංස්කෘතිය, වර්ණය, ධනය, බලය තුළ බෙදෙන්නට හැකි න්‍යෂ්ටිය දක්වා බෙදෙන්නට සහ බෙදන්නට හුරු වූ ලෝකයක අපි පෙළගැසිය යුත්තේ බෙදීම් විරහිත, කොන්දේසි විරහිත ආදරයකින් මනුෂ්‍ය වර්ගයා ඒකාත්මික වූ රළු, අසාධාරණ, ධනවාදී, බලවාදී පාලන තන්ත්රයන්ට එරෙහිව එහි බලමුළු සුණු විසුණු කරන හෙටක් වෙනුවෙන් නොවන්නේද? VILLAIN තුළ ආර්යන් කතා කරන්නට උත්සාහ කරන්නේ ඒ ලස්සන හෙට ගැනය. ප්‍රස්තුතමය අතින් ආර්යන් දැක්වූ ඒ පොහොසත්කමේ අර්ථයට සැබැවින්ම ප්‍රශංසාව හිමිවිය යුතුමය.
රංගවේදියෙකු ලෙස VILLAIN හි දුෂ්ඨයාගේ චරිතය තුළ ආර්යන්ගේ ආවේෂය හුදෙක් රංගනයක් පමණක් නොව චරිතයක් හා ආත්මීය ආලයකින් වෙලී හුස්මක් ගැනීමකි. ඒ හුස්මෙහි ප්‍රබලත්වය VILLAIN තුළ කැළුම් ආර්යන් යන නළුවා මොහොතකට අමතක කරවයි. ඔහු ඒ රංගනය තුළ අන් කිසිවෙකුත් නොව දුෂ්ඨයාමය. විසිරෙන කෙහෙරැල්ලෙන් අකුණු සැර විහිදුවාලන නෙත් සරින් සේම පීඩනයට එරෙහිව හද කැකෑරී යන ආවේගාත්මක ස්වරයෙන් නලියන දෙතොලින් ඔහු අන් කිසිවෙකුත් නොව දුෂ්ඨයාමය.
සැබැවින්ම ඔහු දුෂ්ඨයෙකු වන්නේ දුෂ්ඨකමින් නොව දුෂ්ඨත්වයට එරෙහිව ආදරයේ මෙහෙයවීමෙනි. එහෙයින් ආදරය වෙනුවෙන් දුෂ්ඨයෙකුගේ භූමිකාවට යුක්තිය උදෙසා අවතීර්ණ වූ ආදරණීය හදගැස්මක් ඇති මිනිසෙකුට දුෂ්ඨයා යන ආමන්ත්‍රණය කෙතරම් තරම් වන්නේදැයි VILLAIN දෙස බලාගෙන මම නැවත නැවතත් ප්‍රශ්න කරමි. එවන් ආදරණීය දුෂ්ඨයන් තව තවත් මෙවන් සමාජයකට අවැසි බව නැවත නැවතත් සිහිපත් කරමි.
ලාංකික සිනමාව තුළ විචාරයට ප්‍රවේශ ද්වාර තනන සිනමා වියමන් නිර්මාණය වන්නේ නම් කැළුම් ආර්යන් වැනි රංගනයේත් නර්තනයේත් ගායනයේත් තිර රචනයේත් හැකියාවෙන් පූර්ණ රංගධරයන්ට තෝතැන්නක් නිතැතින්ම නිර්මාණය වනු ඇත. එමෙන්ම තැනෙන සිනමා වියමනක හෝ කුහක පංගු පේරු මානසිකත්වයන්ගෙන් තොරව කුසලතා පූර්ණ නළු නිළියන්ට ඉඩ හසරක් ප්රදානය වන්නේ නම් මඟක් ඔවුන් වෙනුවෙන් තැනෙනු ඇත. එහෙත් සිදුව ඇත්තේ අනේක දුෂ්කරතා මැද තමන්ම තමන්ගේ ගමන එළි පෙහෙළි කරගත යුතු ඛේදවාචකයක් හමුවේ තැනක් උදෙසා අරගල කරන්නටය. සිංහල සිනමාව යනු නිත්‍ය අයිතිකරුවන්ගේ භූමියක් නොව සැබෑ සිනමාවේදීන්ගේ භූමියක් වූ දවසක කටු අතු මත මල් පොහොට්ටු ලපළු දළුලන දිනක් සපැමිණෙනු ඇත. ඒ දවස ප්රාර්ථනාවකි. එහෙත් ඒ ප්රාර්ථනාවද අතික්‍රමණය කරමින් අප්‍රමාණ වෙහෙසකින් බොහෝ වූ දුෂ්කර මංමාවත් පසුකර VILLAIN දක්වා කැළුම් ආර්යන් සහ කැළුම් ආර්යන් වැන්නවුන් පැමිණි ගමනට මෙරටේ රසිකාගාරයෙන් හෝ පැසසුම් මල් කිනිති ලැබිය යුතුමය. VILLAIN වෙනුවෙන් ඒ රසිකාගාරය හෙට අත්පොළසන් හා ඔල්වරසන් නගනු ඇත යන්න VILLAIN නැරඹූ ඉනික්බිති මා සිතේ උපන් අවසන් සිතුවිල්ලයි.
සංජීවිකා