ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණු ගමනක් නෙමෙයි, මේ ගමන අහම්බයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘හීනයකි මේ ආදරේ’’ මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර සමඟ විකාශය වන ටෙලි නිර්මාණයක්. ඒ තුළින් පුංචි තිරයට එකතු වුණු අලුත්ම පෙම් යුවළ තමයි කලා ක්ෂේත්‍රයේ වැඩිම ආදරයක් ප්‍රතිචාරයක් ලබන කලා තරු දෙකක් වන ශලනි තාරකා සහ අකිල ධනුද්දර මෙවර සඳැල්ල කවරයද හැඩ කරමින් අප සමඟ කතාබහක නිරත වුණේ ඒ දෙපළයි.

මේ දිනවල ‘‘හීනයකි මේ ආදරේ’’ සහ ‘‘කියා දෙන්න ආදරේ තරම්’’ එක්ක පුංචි තිරයට ආදරේ අරන් එන ශලනි තාරකාට ප්‍රේක්‍ෂකයො ඇයි මෙතරම් ආදරේ?

ඇත්තටම ඒකට හේතුවක් කියන්න නම් මම දන්නෙ නැහැ. නමුත් මම ක්ෂේත්‍රයට ආපු දා පටන්ම මට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මම රංගනයෙන් දායක වන හැම නිර්මාණයක් එක්කම එකතුවෙලා ඉන්නවා ඒ පිරිස. ඉතින් මම අහිංසක චරිතයක් නිරූපණය කළත්, දුෂ්ට චරිතයක් නිරූපණය කළත් ඒ ආදරය සදා නොවෙනස්ව තියෙනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි.

මේ දිනවල ශලනිට ප්‍රතිචාර ලැබෙන්නෙ කියාදෙන්න ආදරේ තරම්හි ‘‘ස්නේහා’’ ටත් හීනයකි මේ ආදරේ නිර්මාණයේ ‘‘පාරමී’’ ටත් ඉතින් මෙ චරිත දෙකත් අහිංසක සහ දුෂ්ට විදියට නේද ගලාගෙන යන්නෙ?

ඔව්, කියාදෙන්න ආදරේ තරම්හි ස්නේහා කියන්නෙ හරි ආත්මාර්තකමී චරිතයක්. ස්නේහාට බැනපු පිරිසකුත් හිටියා. ඇත්තටම ඒ චරිතය බලද්දී මටත් හිතෙන්නෙ ඇයට බනින්න තමයි. මොකද ස්නේහා චරිතය බැනුම් ඇසිය යුතු චරිතයක්නෙ. මානසික මට්ටම එක තැනක නැති තරුණියක් ඇය. එවැනි චරිත අපි ඇත්ත ජීවිතේත් ඕනෑ තරම් දැකලා තියෙනවා. එහෙම යාළුවොත් මට ඉඳලා තියෙනවා. අධික ලෙස ආදරය කිරීමත් ලොකු විනාශයක්නෙ. ඉතින් ස්නේහාගේ ආදරය ඇයටම දරාගන්න බැහැ. ඉතින් මේ නිර්මාණය එක්ක මම එකතුවෙලා දැන් අවුරුදු එක හමාරකට වඩා වැඩියි. කොටස් 400 කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙද්දී විකාශය වෙලා තියෙනවා. ඒ කාලසීමාව ඇතුළත ස්නේහා චරිතය විවිධ පැතිවලට පෙරළුණා. ආරම්භයේ හිටපු ඇය නෙමෙයි කොටස් 100 විකාශය වෙද්දී. එතැනින් පසුව අද වනතුරු කාලෙන් කාලෙට වෙනස් වුණා. ඒකාකාරී නොවී චරිතය ගලාගෙන ගියේ. ඒ තුළ අහිංසකකම, දුෂ්ටකම හැම පැත්තක්ම තිබුණා. ඉදිරියේදී මේ චරිත තුළ ලොකු වෙනසක් වෙන්නත් නියමිතයි. ඉතින් විවිධ පැතිවලට ගිය මේ චරිතයට මෙගා ටෙලි නිර්මාණයක් තුළ මට කරන්න පුළුවන් සීමාවන් තුළ උපරිම සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒක නිසා තමයි ප්‍රේක්‍ෂකයන් අතරට මේ චරිතය මෙතරම් ගියේ සහ කාලයෙන් කාලයට වෙනස් විදියෙ ප්‍රතිචාර ලැබුණෙ. ඒ අතරතුර බැනුම් අහන්නත් වුණේ. එතකොට ‘‘හීනයකි මේ ආදරේ’’ හි ‘‘පාරමී’’ ගැන කතා කළොත් ඇය තවම ප්‍රේක්‍ෂකයන්ට අලුත්නෙ. ඉතින් පාරමී ගැන කීවොත් ඇය හරිම නිවුණු අහිංසක ගැහැණු ළමයෙක්. පාරමී ස්නේහාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. නමුත් එකම පවුල් පසුබිමක්. පවුල් පසුබිම් සමාන වුණාට සිතුම්, පැතුම් හැසිරීම් රටාව අහසයි පොළොවයි වගේ. ‘‘හීනයකි මේ ආදරේ’’ විකාශය ආරම්භ වෙලා තවම සීමිත දින ගණනක්නෙ. ඒ නිසා මේ නිර්මාණය ගැන මම ගොඩක් කතා කරන්නෙ නැහැ. කතා කළොත් ඉදිරියට කුතුහලය නැතිවෙයි කියලා හිතනවා. ඒ නිසා ප්‍රේක්‍ෂකයන්ටම තමයි පාරමීවත් භාර කරන්න ඕනා. පාරමී චරිතයත් ස්නේහා වගේම වෙනස් විදියට ප්‍රේක්‍ෂක හදවත්වලට යයි කියලා හිතනවා.

‘‘හීනයකි මේ ආදරේ’’ තුළ ශලනිට වැඩි රංගනයක් කරන්න තියෙන්නෙ අකිලත් එක්ක. ඒ රංගනය කොහොමද?

අකිල එක්ක මම පළමු වතාවට වැඩ කරන්නෙ. මීට පෙර අපිට එක නිර්මාණයක වැඩ කරන්න අවස්ථාව ලැබිලා නැහැ. මේ නිර්මාණයෙත් තවම මුල් කොටස් කිහිපය තමයි වැඩ කරන්න ලැබුණෙ. තවම සීමිත කාල සීමාවක්. ඒ කාලය තුළ අපි ඉතින් ඉතා සුහදව වැඩ කළා. ඉදිරියෙදි ඉතින් අපේ ඒ රංගනයන් දැකබලා ගන්න හැකිවෙයි.

ශලනිට ආදරේ කරන බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ගැමි, නාගරික හෝ ඕනෑම චරිතයකට සාධාරණයක් කරන රංගන ශිල්පිනියන්ගෙන් අද වන විට ඉදිරියෙන්ම ඉන්නෙ ඔබ කියලා? ඒ නිසාම වෙන්න ඇති එකම වේදිකාවක හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය සම්මානයන්ටත් පාත්‍ර වුණේ? ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඒ ගැන ඇත්තටම සතුටුයි. මට පසුගිය කාලෙ එකිනෙකට වෙනස් විවිධාකාර විදියෙ චරිත ගොන්නක් එක දිගට ලැබුණා. ඒක මගෙ වාසනාවක්. ඒ වගේම ඒ නිර්මාණවල අධ්‍යක්‍ෂවරු මගෙ ගැන තබපු විශ්වාසයටත් ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. අධ්‍යක්‍ෂවරු මාව විශ්වාස කරලා ඒ චරිත දුන්නම අදාල පිටපත කියවලා දර්ශන තලයට යද්දී මොකක් හෝ හේතුවකට මට ඒ ඒ චරිතවලට ප්‍රවිශ්ට වෙන්න ඒ ස්ථානයේදී හැකියාවක් ලැබෙනවා. ඒ කොහෙන් හෝ ලැබෙන හැකියාවට මම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මම හිතන්නෙ මට කලා ජීවිතේ මම මෙතෙක් ලැබූ අත්දැකීම් ඒ චරිත රංගනවලට ඉවහල් වෙනවා ඇති. මොකද මට රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී ලැබුණෙ මල් මල් චරිත බොළඳ චරිත රංගනයන්. ඒ මගේ පෙනුම සහ වයසත් එක්ක වෙන්න ඇති. ඒ කාල සීමාවෙ ලැබුණෙම ඒකාකාරී පෙම්වතියගේ චරිතය. මට අවුරුදු 23, 24 වෙද්දී තමයි වෙනස් විදියෙ චරිත රංගනයන් ලැබුණෙ. මුලින්ම  හොඳම නිළියට නිර්දේශ වුණේ ආනන්ද අබේනායක අධ්‍යක්‍ෂවරයාගේ ටෙලි නිර්මාණයකින්. එතැනින් පසුව ටිකින් ටික යම් යම් චරිත ලැබුණා. මෑත කාලයේදී තමයි එකිනෙකට වෙනස් චරිතයන් ලැබුණෙ.

ශලනි අද ඇවිල්ලා තියෙන ගමන ගැන මොකද හිතෙන්නෙ? කලා තරුවක් වීමේ අරමුණක් තිබුණද?

ඇත්තටම නැහැ. නමුත් ගොඩක් සතුටුයි අද ඉන්න තැන ගැන. ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණු ගමනක් නෙමෙයි, මේ ගමන අහම්බයක්. නමුත් මගේ ආගම දහමට, දෛවයට ඒ හැමදේටම අනුව මේ මට ලැබුණු මාර්ගය වෙන්න ඇති. මගේ පුංචි කාලෙනම් මට රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් තිබුණා. ඒ අවුරුදු 5 ක් 6 ක් වගේ පොඩි වයසකදි. ඒ කාලෙදි මට පොඩි හින්දි පිස්සුවක් එහෙම තිබුණා. නමුත් ඒ කාලෙදි හරිම ලැජ්ජාශීලී ළමයෙක්. ඒකත් එක්ක රඟපාන්න නම් කිසිම දෙයක් ඔළුවෙ තිබුණෙ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාලයට යන්න ඕනෑ. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරියක් ඒ වගේ වෙන්න හීන තිබුණෙත් නැහැ.  මට ඕනෑ වුණේ ව්‍යාපාරයක් කරන්න. නිදහසේ රැකියාවක් කරගෙන යන්න. පාසල් කාලේ මම ඉගෙන ගන්නත් දක්ෂයි. වැඩිපුරම ලකුණු තිබුණෙ ගණිත විෂයට. ඒත් කිසිම විදියකින් විශ්වවිද්‍යාලයට යන්න ඕනෑ කියලා හිතපු කෙනෙක් නෙමෙයි මම. විශ්වවිද්‍යාලයට යාම සමහරුන්ගෙ හීනයක්නෙ. ඉතින් මට ඒ හීන තිබුණෙ නැහැ. ඒ වගේම රංගනයට සම්බන්ධ වෙන්නත් හිතකවත් තිබුණෙ නැහැ. අඩුම තරමෙ සිරස කුමරිය තරඟය ජයග්‍රහණය කළාට පසුවවත් රංගනයට සම්බන්ධ වුණේ නැහැ. ලැබුණු ආරාධනා පවා ප්‍රතික්ෂේප කළා. තරගාවලියෙන් මාස 8 කට පසුව තමයි රංගනයට පිවිසෙන්නෙ. ඒ පළමු රංගනය කරලත් මට මේ දේ හරියන්නෙ නැහැ කියලා හැරිලා ගෙදර යනවා. ඊට වසරකට පසුව තමයි නැවතත් ලැබුණු ආරාධනාවක් එක්ක කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නෙ. ඉතින් ඒ විදියට බැහැ කිය කිය ඉඳලා අවසානයේ කලාව මගේ ජීවිතේ වුණා. ඉතින් මේ මගේ ලැබීම වෙන්න ඇති. ඒ ලැබීම ගැන මම අද සතුටින්.

සිරස කුමාරිය තරගාවලියේ ජයග්‍රහණය තුළින් ක්ෂේත්‍රයට ආපු ශලනිට එදා වගේම අදටත් ඒ ආදරය නොඅඩුව ලැබිලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

නිහතමානී සතුටක් තියෙනවා. සිරස කුමරිය තරගය පවත්වලා අවුරුදු 15 ක් වගේ කාලයක් වෙනවා මේ වෙද්දී. ඉතින් ඒ කාලයේ පටන් අද වනතුරුම ඒ ආදරය, ප්‍රතිචාරවල කිසිදු අඩුවක් නැහැ. ඒ හැමදේම මට ලොකු ආශිර්වාදයක්. ප්‍රේක්‍ෂක ආදරය ප්‍රතිචාර නිසා තමයි කලාකරුවන් ඒ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නේ. මට ඒ වාසනාව එදා සිට අද දක්වාම තියෙනවා. ඒ දේවල් නිසා තමයි අපි මේ ක්ෂේත්‍රය තුළ ගමනක් යන්නෙ. ඒ ආදරයට මමත් හැමදාමත් ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෑ U Tube හරහා ආදරණීය ප්‍රේක්‍ෂකයො දක්වන ප්‍රතිචාර මම බලනවා. ඒ ප්‍රතිචාර ඇත්තටම ඉදිරි ගමනට ශක්තියක්. ඒවා මට ගොඩක් වටිනවා.

ධනු විජේරත්න / ජායාරූප - සජීව ලක්ෂාන්