ඇත්තටම මට විරුද්ධ පක්ෂයේ ගනුදෙනු තමයි වැඩිපුරම තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයගේ රංගන ප්‍රතිභාව හරිම සුවිශේෂයි. මතක, නිස්සාර, රාධාවනී වැනි ගීත රූප රචනා වලින් ප්‍රේක්ෂක හිත් මන බැඳගත් ඇය ගීතරූප රචනා තුලින් නිතර දකින්නට ලැබුන චරිතයක්. විවිධ චරිත, ගීත ප්‍රේක්ෂක හිත් වශීකරගත් කොණ්ඬේ ක්‍රේල් මේ තළෙලු‍ කෙල්ල තමයි මනෝජා ප්‍රනාන්දු. පානාමංකඩ, පොදු, තුංපනේ, අඳුන්ගිර යන ටෙලි නාට්‍යයන් ඇයගේ රංගන දක්ෂතාවයන් කරලියට ගෙන ආ තවත් සුවිශේෂි නිර්මාරණයන්. දඟකාර හැඩකාර, විසේකාර මනෝජාගේ ඊළඟ පිම්ම “සිදාදියේ සමනළියෝ”‍ හැඩි නොකර හැඩ කරන රෝසපාට හීන පාට කරන්න හීන පස්සේ කොළඹ දුවන් ආ අනුරාධා ගැන මනෝජා සමඟ කතා කරන්නයි මේ සූදානම.

මනෝජා වෙඩි වගේ එනවා වෙඩි වගේ නැති වෙලා යනවා ඒ ඇයි?

නිර්මාණ කිහිපයක් විකාශය වෙලා අවසන් වුනා. ඇත්තටම මම පහුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නෑ. එකක් මම නිර්මාණ භාර ගන්නවා අඩුයි. මම ලොකුවට වැඩ කරන්නෙ නැති නිසා බොහෝ අය මම පේන්න නැත්තේ ඇයි කියලා අහනවා. මේ දවස් වල මම දායක වන අලු‍ත් ටෙලි නිර්මාණය සිදාදියේ සමනලියෝ විකාශනය වෙනවා. ඊට අමතරව තව අලු‍ත් නිර්මාණ දෙකක රූගතකිරීම් කරගෙන යනවා.

වැඩිපුරම මනෝජා ජනප්‍රිය වුනේ ගීත රූප රචනා නිසාද ටෙලි නාට්‍ය නිසාද?

මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ 2017 වසරේ නිස්සාර ගීතයේ රූප රචනාවත් එක්ක. ඒ හරහා බොහෝ දෙනා මම කවුද කියලා සොයන්න ගත්තා. ඒත් එක්කම කරපු ගීත රූප රචනා හරහා මාව ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. නිස්සාර ගීතයෙන් යම් පිරිසක් දැනගත්තත් ලොකු ප්‍රේක්ෂක පිරිසක් අතරට යන්න ලැබුනේ පොදු ටෙලි නාට්‍ය හරහා. නිස්සාර කරාට පස්සේ මට චිත්‍රපටි නිර්මාණ දෙකකටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා. චිත්‍රපටි දෙක කරාට පස්සේ ටෙලි නාට්‍ය වල නම් රඟපාන්නේ නෑ කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඇත්තටම ටෙලි නාට්‍ය වලට එන්න මට එච්චර කැමැත්තක් තිබුනේ නෑ. ඒ අතරතුර තමයි පානාමංකඩ ටෙලි නාට්‍යට කතා කළේ. ඒ පිටපත දැක්කාම මට ආසාවක් ඇති වුනා සුද්දිගේ චරිතෙට. ඒ විදිහට තමයි පානාමංකඩ ටෙලිනාට්‍යට දායක වුනේ. ඊට පස්සේ ප්‍රේක්ෂකයෝ අතර කතා බහට ලක්වුන චරිත කිහිපයක්ම මට කරන්න ලැබුනා. පොදු ටෙලි නාට්‍යයේ කෞෂිගේ චරිතය, අදුන්ගිර තාරා ගේ චරිතය, තුංපනේ මැණික්කැටේ ගේ චරිතය සමාජමාධ්‍ය තුල ගොඩාක්ම ජනප්‍රිය වුණා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. මේ දවස් වල විකාශය වන සිදාදියේ සමනලියෝත් මට ලැබුන සුවිශේෂි චරිතයක්. ඇය හීන ගොඩාක් පස්සේ දුවන යුවතියක්.

ඒ හීන ගොඩ පස්සෙන් කොළඹට දුවන් එන අනුරාධා ගැනත් කියමු? 

සදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යයට මට ආරාධනා කරන්නේ එහි අධ්‍යක්ෂක ධනංජය සිරිවර්ධන අයියා. මුලින් මට ආරාධනා කරාට ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි පිටපත අනුර ජයවර්ධන අයියාගේ. අනුර අයියාගේ පිටපතක වැඩ කරන්න මං කොහොමත් ආසාවෙන් හිටපු කෙනෙක්. මේක වෙනස් විදිහේ කතාවක් සහ සමාජයේ කතා කළ යුතුම ගෑනු ළමයි පස්දෙනෙක් වටා ගෙතුණ මාතෘකාවක්, මේ හරහා විවිධ පැතිකඩයන් ගැන කතා වෙනවා. මේක මට රංගනයට ලැබුන හොද අවස්ථාවක් කියලා හිතුනා. විශේෂයෙන් මට අනුරාධා ගේ චරිතය වෙනස්ම අත්දැකීමක් වුනා. මම කොළඹ නිසා මට කවදාවත් බෝඩිං ජීවිතයක අත්දැකීම් තිබිලා නෑ. ඒ අත්දැකීම මට විඳින්න අවස්ථාව ලැබුනා. ඒ වගේ සැලෝන් වල වැඩත් චරිතේ නිසාම ඉගෙන ගන්න ලැබුනා.   අනුරාධා ගැන කියනවනම් අනුරාධා තණමල්විල ඉඳලා කොළඹට එන්නේ රැකියාවක් සොයාගෙන. ඇයට රැකියාව විදිහට ලැබෙන්නේ සැලොන් එකක වැඩ කරන්න. ඒ අතර නතර වෙන්න නවාතැනක් ලැබෙනවා මංගලිකා අක්කාගේ බෝඩිම. මංගලිකා අක්කා විරුද්ධ පක්ෂයේ අය එක්ක ගණුදෙනු කරනවට කැමතිම නෑ. අනුරාධා හරිම ආසයි හීන වලට දුවන්න. අනුරාධට සැලෝන් එකේ වැඩ කරලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් වේවිද. ඇය ලඳ බොළඳ, සමාජය ගැන කිසි අවබෝධයක් නැති කොළඹට බය ගෑණු ළමයෙක්. අනුරාධා කොළඹ සමාජයේ ගැටෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු.

අනුරාධ විරුද්ධ පක්ෂයේ ගණුදෙනු තහනම් වුනාට මනෝජට විරුද්ධ පක්ෂයේ විශේෂ ගණුදෙනුවක් නැද්ද?

ඇත්තටම මට විරුද්ධ පක්ෂයේ ගනුදෙනු තමයි වැඩිපුරම තියෙන්නේ. පිරිමි යාළුවෝ වැඩියි. එහෙමයි කියලා විශේෂ ගණුදෙනුවක් නම් නෑ.

ඉතින් වේදිකාව පැත්තෙන් මොනවද අලු‍ත් වැඩ?

මේ අවුරුද්දේ ජනවාරි මාසේ මුලින්ම ගොඩ වුනේ වේදිකාවට.සමන් පුෂ්ෂ කුමාර  මහත්මාගේ මකරෙක් ඇවිත් ළමා නාට්‍ය  ලංකාව වටේම ගෙනියන්න මේ දවස් වල පුහුණුවීම් කරගෙන යනවා. සිනමාවට පස්සේ මම ගොඩාක් ම කැමති වේදිකාවට.

මනෝජාගේ හීනේ තිබුනේ කවදා හරි නිළියක් වෙන්නද?

අපෝ නෑ. මම පුංචි කාලේ ඉදලම කලාවට හරිම ආසයි. නර්තනය, වේදිකා නාට්‍ය පාසල් කාලේ ඉඳලම කලා. හැබැයි නිලියක් වෙන්න හීනෙකවත් තිබිලා නෑ. ආසාව තිබුනේ නැටුම් ඉගෙන ගන්න ඒක ඉගෙන ගත්තා. රඟපාන්නත් පුංචි හෙම්බිරිස්සාවක් තිබුනට උණක් තිබුණෙ නෑ.

ඔබට ලැබුන යම් යම් අවස්ථාවන්වලදි  මනෝජට බැහැයි කියලා ප්‍රතික්ෂේප වුන තැන් නැද්ද?

අපෝ තියෙනවා. මම මුල් කාලේ වැඩකරලා නොතිබුණට හොඳ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ වල තිරපරීක්ෂණ වලට ගිහින් තියෙනවා. ඒ සමහර තැන් වලදි මම ශරීරයෙන් ගොඩක් පුංචියි කියලා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඔයා ගොඩක් කෙට්ටුයි, උසමහත නෑ  ඔයාට කලාවෙන් ලොකු ගමනක් යන්න බෑ කියලා මගේ ලගින්ම හිටපු අයත් කියලා තියෙනවා. ඒ වගේම ස්ට්‍රගල් කියන අරගලය තේමා කරගෙන කරපු කෙටි චිත්‍රපටය කළේ අතුල ජයසිංහ සර්. අතුල සර් මට කිව්වා මම ඔයාව මේකට ගන්න කැමති නෑ කියලා. මම ඇහුව්වා ඇයි කියලා. ඔයාට රඟපාන්න බෑ ඔයා මදි කියලා කියලා සර් මගේ මූණටම කිව්වා. මම  හිනා වුනා. ඒත් ගොඩක් දෙනා ඒ සඳහා මාව යෝජනා කරලා තිබුන නිසා සර් මාව චිත්‍රපටියට ගත්තා. අකමැත්තෙන් වුනත් මෙහෙම  ගන්න ඒක අවුලක් නැද්ද කියලා මම සර්ගෙන්  අහුව්වා. අපි වැඬේ කරලා බලමු කියලා විතරයි සර් කිව්වේ. බාරගත්ත වැඬේ මම කැපවීමෙන් කළා. මම මගේ ධාරිතාව පෙන්නුවා. මනෝජා පුංචි වුනාට රංගන ධාරිතාව විශාලයි කියලා අතුල සර්ගේ කටින්ම කියපු දවසේ තමයි  මම වැඩියෙන්ම සතුටු වුන දවස.

කොන්ඬේ ක්‍රේල් තලෙලු‍ කෙල්ලට කවදාවත්ම ඔය හම සුදු කරන්න හිතිලා නැද්ද?

කවමදාකවත් මම ඒ වගේ මනෝ භාවයන් වල ඉඳලා නෑ. මම හරිම ආදරෙයි මගේ මේ දුඹුරු වර්ණයට. මේ දවස් වල සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ සැලොන් එකක වැඩකරන චරිතයක් නිසා මාව මේකප් වලින් ටිකක් සුදු කරලා තිබුනට ඇත්තටම මම මගේ පාට වෙනස් කරගෙන නෑ. නිළියක් වෙන්න පාට නෙමෙයි අවශ්‍ය අසාවයි දක්ෂතා වයයි විතරයි. 

නදීශා අතුකෝරළ