ඇත්තටම මගේ ජීවිතේ බොහෝ දේවල් යෙහෙනිට සමානයි
කාලෙන් කාලෙට කලා ක්ෂේත්රයට එකතු වෙන අලුත් මුහුණු අතර ඇය ටෙලි ප්‍රේක්ෂකාගාරයේ මේ දිනවල කා අතරත් ජනප්‍රිය සුන්දර රුවැත්තියකි. ගායනයෙන්, නිවේදනයෙන් දක්ෂතා දක්වන ඇය මේ දිනවල කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අපිට මුණ ගැහෙනවා. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ යෙහෙනි එහෙමත් නැත්නම් ලෝයර් නෝනා ඇය තමයි ඉසුරින්දි පියසේකර. මේ කතා බහ ඇය වෙනුවෙනුයි.
ඉතින් මේ දවස්වල මොක ද වෙන්නේ?
වැඩිපුරම කාලය ගෙවෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය රූගත කිරීම් එක්ක. ඒ එක්කම රැකියාවේ වැඩකටයුතු එක්කත් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නවා. ඊට අමතරව තව අලුත් වැඩ දෙක තුනකටත් ආරාධනා ඇවිත් තියෙනවා. ඒවත් කරගෙන ෂේප් එකේ ඉන්නවා. නිදහසක් කියලා නෑ. මේ දවස්වල නම් ටිකක් විතර කාර්ය බහුලයි.
කොහොමද ලෝයර් නෝනාට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මගේ චරිතය තිරයට ආ දවසේ ඉඳලාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, ආදරයක් ලැබෙනවා. ඒ ආදරය හිතුවටත් වඩා දවසින් දවස වැඩි වුණා. කියා දෙන්න ආදරේ තරම් කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම. යෙහෙනිට මේ තරම් ආදරයක් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.
යෙහෙනි වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ ධනුෂ්ක රත්නායක අයියාමයි. ඒ වෙනකොට වෙනත් නාලිකාවක මම නිවේදන කටයුතුවලින් දායක වෙමින් වැඩසටහනක් කළා. ඒක දැකලා තමයි ධනුෂ්ක අයියා මට කතා කරලා තියෙන්නේ. ධනුෂ්ක අයියා කීප වතාවක්ම මට කතා කළත් මට ඒ කියපු දවස්වලට යන්න අවස්ථාවක් ලැබුණේම නැහැ. මට පුළුවන් දවසට ධනුෂ්ක අයියාට බැහැ, ඔය විදිහට ටික දවසක් මග ඇරුණා. පස්සේ මට ධනුෂ්ක අයියා ආයේ දවසක් කතා කරලා කිව්වා ‘‘යෙහෙනි’’ කියලා චරිතයක් තියෙනවා ඇවිත් බලන්න කියලා. මම එදා නම් කොහොම හරි යන්න ඕන කියලා හා හා පුරා කියලා තිර පරීක්ෂණයට ගියා. දවල් තිර පරීක්ෂණය තියලා ධනුෂ්ක අයියා කිව්වා නංගි හෙට උදේ 4ට ෂූටින් පටන් ගන්නවා කියලා. කිව්වාම මාව ගල් වුණා. තිර පරීක්ෂණයට ගිහින් හුස්ම ගන්නවත් කාලයක් තිබුණේ නෑනේ. ‘‘යෙහෙනි’’ කියන්නේ මට දෛවෝපහගතව ලැබුණු චරිතයක් කියලයි මට හිතෙන්නේ.
ධනුෂ්ක අයියා මුල දී කතා කරපු වෙලාවේ ගියා නම් මට වෙන චරිතයක් ලැබෙන්න තිබුණා. ඒ කාලේ මගඇරීමෙන් පරක්කු වෙලා හරි මට හොඳම දේ ලැබුණා කියලා මම හිතනවා.
යෙහෙනිට කැමති වෙන්න විශේෂ වූ කාරණා ටිකක් තිබුණ ද?
ඔව්. එකක් තමයි මේ නිර්මාණය ධනුෂ්ක අයියාගේ අධ්‍යක්ෂණයක් වීම. ඔහු සමග වැඩ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා කතාවේ පිටපත් රචකයා ඔහුත් විශේෂයි. ඒ වගේම මේකේ ඉන්න නළු නිළියන් පිරිසත් මේ චරිතය බාරගන්න ලොකු හේතුවක් වුණා. විශේෂම හේතුව වුණේ ශලනි තාරකා අක්කා. මට කැමරාව හුරු පුරුදු වුණාට රඟපාන එක ගැන දැනුමක් පුහුණුවක් තිබුණේ නැහැ. දෙබස් කියන තැන ඉඳලා මට කියලා දුන්නේ ශලනි අක්කා. ඇත්තටම මම මගේ රංගන අඩුපාඩු හදාගත්තේ ඇය දිහා බලලා. තාමත් මම ඇය දිහා බලන් රංගනය ඉගෙන ගන්නවා.
යෙහෙනිගේ මිතුරිය ස්නේහා චරිතයෙන් ඉවත්වීමක් ගැන සමාජ මාධ්‍ය තුළ කතා බහ වෙනවා. එහි සත්‍යයක් තියෙනවද?
යෙහෙනිගේ අතිජාත මිතුරිය නැතුව යෙහෙනිට ඒ චරිතයේ ජීවත් වෙන්න බැහැ. ස්නේහා කියන්නේ මේ කතාවේ ජීවය. ඉඳලා හිටලා ස්නේහා පේන්න නොහිටියාට ඇයගේ ඉවත්වීමක් සිදුවෙන්නේ නැහැ. ඒවා සමාජ මාධ්‍ය කතා විතරයි.
ඉසුරින්දිත් සාමාන්‍ය ජීවිතේ යෙහෙනි වගේම ද?
ඇත්තටම මගේ ජීවිතේ බොහෝ දේවල් යෙහෙනිට සමානයි. මටත් යෙහෙනිට වගේම තරහා යනවා. යාළුවන්ට ගොඩක් මම ආදරෙයි. ඒක මගේ යාළුවොත් දන්නවා. සෑහෙන්න මම මගේ යහළුවන්ව බලා ගන්නවා. යාළුවන්ව බලාගෙන වැඩි වෙලා බැනුම් අහපු අවස්ථාත් තියෙනවා.
ඉසුරින්ඳිට කුඩා කාලේ ඉඳලාම කලා හැකියාවක් තිබුණා ද? ඇයි කලාව තෝරාගන්න හේතුව වුණේ?
මගේ ගම රත්නපුරය. මම අධ්‍යාපනය හැදෑරුවේ රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයෙන්. පාසලෙන් තමයි මගේ කලා හැකියාවන්ට මූලික අඩිතාලම වැටෙන්නේ. පුංචි කාලේ ඉඳලා ගායනයට, නිවේදනයට මගේ දක්ෂතා තිබුණා. ඒත් මට රඟපාන්න නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මාව කලාව පැත්තෙන් ඉදිරියට යවන්න හීන දැක්කේ මගේ අම්මා. මට ආස වුණේ කළමනාකරණය පැත්තෙන් ඉගෙන ගන්න. ඇත්තටම මම කලාවට ආවේ අම්මාගේ ආසාව ඉෂ්ඨ කරන්න.
මේ වෙනකොට ඔබ වෘත්තීය මට්ටමෙන් කලා ශිල්පිනියක් ද?
නැහැ. මුල් කාලේ මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තීන් කීපයක් කළා. මේ වෙනකොට මාස් හෝල්ඩිං ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. ඒ අතරතුර තමයි කලා කටයුතු කරගෙන යන්නේ. ආයතනය පැත්තෙන් මගේ රංගන කටයුතු කරගෙන යන්න විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
ඉසුරින්දිගේ රංගනයට වඩා ගායනයට ලැබෙන ප්‍රතිචාරය ඉහළයි. එහෙම නේද?
මම පුංචි කාලේ ඉඳලා ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ මට වයස අවුරුදු 10දී. ඒ සිරස ටී.වී. නෙළුම් විල වැඩසටහන හරහා. පසුව මම ප්රවෘත්ති නිවේදිකාවක් ලෙසත් මාධ්‍ය ආයතන කිහිපයකම වැඩ කළා. අවුරුදු 15 වෙනකොට මම විශාරද විභාගය සමත් වුණා. ගීත ගායනය පැත්තටත් මම හරිම ආසයි. ගොඩක් අය මගේ ගායනයන්ට ප්‍රතිචාර දක්වනවා. ලොකු ආසාවක් තිබුණා ගීතයක් කරන්න. මම මගේ පළමු ගීතය ‘‘මතකයි ඔබ එදා’’ කියන ගීතය මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. යුග ගායනයක් ලෙස තමයි මේක එළිදැක්වුණේ. ඒ විදිහට මගේ හීන ටික ටික සැබෑ කරගනිමින් මේ ගමන යනවා.
මේ ගමනේ අම්මා තමයි ඔබේ සෙවනැල්ල ?
මගේ පවුලේ අම්මායි, තාත්තයි අක්කයි මමයි ඉන්නේ. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මම මගේ තාත්තාව දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි. තාත්තගේ මරණයත් මගේ උපතත් සිදුවන්නේ එකම අවුරුද්දේ. මගේ තාත්තා හිටපු යුද හමුදා නිලධාරියෙක්. ජයසිකුරු මෙහෙයුමේ දී මගේ තාත්තා දිවි පුදනවා. තාත්තා මාවත් මම තාත්තාවත් දැකලා නැහැ. මට තාත්තා නැතිවෙන්නේ 1998 අප්‍රේල් මාසේ. මම ඉපදෙන්නේ 1998 ජූලි මාසයේ.
තාත්තා නැති වෙලා මාස 3කින් මෙලොව එළිය දැකපු මාව රකින්න, මේ තරම්ම උස් මහත් කරන්න මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩක් කැප කිරීම් කළා. මටවත් අක්කාටවත් කවදාවත් තාත්තා නැති අඩුව අම්මා දැනෙන්න දීලා නැහැ.
අම්මාට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලාවත් තාත්තා දැනගෙන ඉඳලා නැහැ. තාත්තා අප්‍රේල් නිවාඩුවට ගෙදර අැවිත් ආපහු කෑම්ප් එකට යද්දී තාත්තා අම්මාට කිව්වාලු දුවෙක් ලැබුණොත් මේ නම දාන්න, පුතෙක් ලැබුණොත් මේ නම දාන්න කියලා. මාව ලැබුණාම තාත්තා කියපු නම ‘ඉසුරින්දි’’ කියලා අම්මා මට නම දාලා තිබුණා. අදටත් තාත්තා ජීවමානව නැති වුණත් ගෙදර අපි එක්ක ජීවත් වෙනවා කියලා දැනෙනවා. එයාගේ ආශිර්වාදය අක්කාටයි මටයි හැමදාම ලැබෙනවා කියලා විශ්වාස කරනවා. මේ වෙනකොට අක්කා විවාහ වෙලා රත්නපුරේ පදිංචි වෙලා ඉන්නේ. මේ වෙද්දී අම්මායි මමයි කොළඹ පදිංචි වෙලා ඉන්නවා.
මම විශේෂයෙන් ආයතන 2ක් මතක් කරන්න ඕන. සිරස ටී.වී ආයතනය සහ දැන් රැකියාවේ නිරත වන මාස් හෝල්ඩිං ආයතනය. සිරස ටී.වී. ආයතනයෙන් තමයි මට කලාවට හරි විදිහට ප්රවිශ්ඨ වෙන්නේ. ඒ මාවත හදලා දුන්නේ මට සිරස. ඒ වගේම මට සංගීතය, නිර්මාණය උගන්නපු ගුරුවරුන්ට, මගේ පාසලට, මාස් හෝල්ඩිං ආයතනයේ කණ්ඩායමට මට රූගත කිරීම්වලට යන්න විශාල සහයක් දෙනවා. ඒ වගේම නිවේදනය ගැන කියලා දුන්න හැම දෙනාත් ගෞරවයෙන් මතක් කරනවා.
නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන්