ඇඟ විකුණලා සල්ලි හොයන්නෙ ගෑනු විතරද? - ’වේසාවා’ කතා කරයි
Q උදාර.... පල්ලියගුරු ඔබ අධ්‍යක්ෂණය කළ ''වේසාවා'' චිත්‍රපටයේ තේමාව ගැන මුලින්ම සඳහන් කළොත්...?
''වේසාවා'' චිත්‍රපටය රූගත කිරීම් කළේ ගිය වසරේදීයි. 2022 ඔක්තෝබර් මාසයේදී අපි මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා. මම චිත්‍රපට කරමින් ඉඳිද්දී ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීමට මට අවශ්‍ය වුණා. ඒ වෙද්දි ලංකාවේ තිරගත වුණ චිත්‍රපට වෙනත් චිත්‍රපටයක කොපියක් වුණා. ඒ නිසා මම මෑත කාලයේදී සමාජයේ, අපේ පොළොවෙන් ඇතිවන වස්තු බීජයක් පාදක කරගෙන නිර්මාණයක් කිරීමට පෙළඹුණා. අපේ රට ආර්ථික ගැටලු බොහෝමයකට මුහුණ දෙන රටක්. සමහරු මේ ආර්ථිකය හැදිලා කිව්වට එහෙම ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙලා නැහැ. අපි ඇස්දෙක වහගෙන ඒ දේවල් නොපෙනී වගෙයි ඉන්නේ. තමන්ට දෛනික ආර්ථිකය නැතිවුණාට පස්සේ ඇතැමුන්ට තමන්ගේ ශරීරය පවා විකුණන්නට සිදුවෙලා තිබෙනවා. ඇතැමුන් වකුගඩු පවා විකුණනවා. සිනමා නිර්මාණවලදී කාන්තාවන් අවසානයේදී ශරීරය විකුණන තත්ත්වයට පත්වන අවස්ථා අපි රූපරාමුවලින් දැකලා තිබෙනවා. සාහිත්‍යවේදීන් පවා ඒ තත්ත්වයට පත්වුණ කාන්තාවන් වෙනුවෙන් නිර්මාණ බිහිකළා. මේක පුරුෂාධිපත්‍යය තිබෙන රටක් නිසා පිරිමින්ගේ ඒ තත්ත්වය වහලයි තියෙන්නේ. බොහෝවිට ''පුරුෂයා හොඳයි'' කියලයි සමාජය පෙන්වන්නට උත්සාහ කළේ. නමුත් මම ඉන්න සමාජය ඇතුළේ එහෙම ශරීරය විකුණන තරුණයෝ මම දැකලා තිබෙනවා. ඒ ඔවුන්ගේ කතා අහලා තිබෙනවා. ඔය දේවල් එක්ක එවැනි තරුණයන් ගැන නිර්මාණයක් කරන්න මට ඕනෑ වුණා. වේසාවා කියන්නේ එවැනි තරුණයෙක් වටා ගෙතුණු කතාවක්.
Q 'වේසාවා' 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ නිර්මාණය වුණු චිත්‍රපටයක්ද?
ඔව්. මම නිර්මාණ කළ චිත්‍රපටයත් එක්ක මෙය අනිවාර්යයෙන්ම වැඩිහිටියන්ට පමණයි. මෙම චිත්‍රපටයෙන් තමන්ගේ ශරීරය විකුණන පුරුෂයෙක් ගැන අපි කතා කරනවා. ඒ කතාවට අනුකූලව අපිට එවැනි රූපරාමු එකතු කරගන්න සිදු වුණා. ඔහුගේ ජීවන වෘත්තිය අපගේ මේ කතාවට ඇතුළුට පෙන්නන්න ඕනෑ වුණා. ඒ නිසා මෙය ''වැඩිටියන්ට පමණයි'' ලේබලය යටතේ තිරගත වෙන චිත්‍රපටයක්.
Q චිත්‍රපටය ''වේසාවා'' කියන නම යොදාගන්න හේතුවක් තිබුණාද?
චිත්‍රපටයට නම යොදද්දී අපි ඒ ගැන හිතුවා ප්‍රේක්ෂකයින්ට ''මෙවැනි කතාවක්'' කියලා කියන්න මට වහෙන්ඔරෝ කියන්නට අවශ්‍ය නැහැ කියලා හිතුණා. මේක මොන වගේ කතාවක්ද කියලා ප්‍රේක්ෂකයින්ට එක්වරම දැනගන්නට සලස්වන්න මට ඕන වුණා. ''වෛශ්යාවි'' කියන වචනය අපි දන්න වචනයක්. නමුත් ශබ්ද කෝෂයටවත් ''වේසාවා'' කියන වචනය ඇතුළත් කරලා නැහැ. ඉංග්‍රීසියෙන් Gigolo කියලා තිබුණට ''වේසාවා'' කියලා සිංහලයෙන් ඇතුළත් කරලා නැහැ. පුරුෂයන්ට පවා අදාළ වචනය දාන්න ලැජ්ජයි ඉතින් මේ කතාවස්තුවත් එක්ක බොහෝම ඍජුව මේ චිත්‍රපටයට මේ නම යොදන්න තීරණය කළා.
Q මේ සඳහා නළු නිළියන් තෝරා ගැනීමම අභියෝගයක් නේද?
ඔව්.... අනිවාර්යයෙන්ම. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා. මේ වගේ වස්තු බීජයක් සමඟ තිබෙන නිර්මාණයකට නළු නිළියන් තෝරා ගැනීමම අභියෝගයක්. ලංකාවේ බොහෝ නළු නිළියන් රඟපානවාට වඩා පෙනී සිටින්නන් ලෙසින් තමයි ඉන්නේ. ඇඳුම් ඇඳලා, මේකඅප් දාලා, කැමරාව ඉදිරියේ පෙනී සිටීමම ඔවුන් නළු නිළියන් කියලා හිතනවා. නමුත් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් විදිහට නළුවෙක්, නිළියක් කියන්නේ මැටි ගොඩක් වගේ දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. අධ්යක්ෂ ඔහුට අවශ්‍ය විදිහට ඒ චරිතවලට අවශ්‍ය විදිහට වෙනස් කිරීමේ හැකියාව තිබෙන්න ඕනෑ. මෙම චිත්‍රපටයේ වැඩිමහළු කාන්තා චරිතයක් තිබෙනවා. ඒ සඳහා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු මහත්මියට ස්තූති කරන්නම ඕනේ. ඇය මේ අභියෝගය බාරගත්තා.
ඊට පස්සේ මට තිබුණ ලොකුම අභියෝගය වුණේ ''වේසාවා'' කියන මේ පුරුෂ චරිතය සොයාගැනීමයි. මේ සඳහා අපේ රටේ ප්‍රවීණ, ජනකාන්ත නළුවන්ට ආරාධනා කළත් ඔවුන් මේ චරිතය බාරගත්තේ නැහැ. සිනමාවට බොහෝ නළු නිළියන් හඳුන්වා දීලා තිබෙන නිසා තවත් කෙනෙක් හඳුන්වා දෙන්න මම තීරණය කළා. ඒ අනුව මට රුණ්ඩි සෙනවිරත්න මුණගැසුණා. ඔහු චරිතයට කැමැති වුණා. රූගත කිරීම් කරන්නට මාස හතරකට පෙර රුණ්ඩිව මම ගෙනත් රංගනය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් ඔහුව මේ චරිතයට සූදානම් කළා. ඒ අතරතුරේ මට තවත් නළු නිළියන් කිහිප දෙනෙක් අවශ්‍ය වුණා. දිල්රුෆා ෂානාමි මීට පෙර මාත් එක්ක වැඩ කරලා තිබුණා. ඒ නිසා වේසාවාගේ පෙම්වතියට ඇය එකතු වුණා. ඒකත් අභියෝගයක්. ඊළඟට ඉරේෂා අසංකි පොලිස් පරීක්ෂකවරියට එකතු වුණා. සාමාන්‍යයෙන් මම කැබිනට් එකෙන් ගන්නවා වගේ එළියට අරගෙන ඒ මොහොතේ රූගත කිරීම් කරන්නේ නැහැ. මාස කිහිපයකට පෙර වැඩමුළු පවත්වා අපි පුහුණුවීම් කළා.
Q එක දිගට රූප රාමු වේසාවා ඔස්සේ දැකගන්නට ලැබෙනවා...?
ඔව්... ඒකත් විශේෂයි. සාමාන්‍යයෙන් බොහෝ චිත්‍රපට තවමත් සම්මත රූපරාමුවලින් තමයි නිර්මාණය වෙන්නේ. සමහරවිට ලංකාවේ චිත්‍රපටයක නිළිය දෙබස් කියද්දී නළුවා එතන නැහැ. නමුත් එකදිගට රූප රාමු ගෙනියන්න මට ඕනෑ වුණා... මේ වෙනුවෙන් දෙබස් කොටස් කටපාඩම් කරගෙන රූගත කිරීම් කරනවාට වඩා එක දිගට දෙබස් රූගත කිරීම් කරන්නට මට ඕනෑ වුණා. ඒ විතරක් නෙවෙයි රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර අපි කැමරා, දෙබස් සියල්ලම පුහුණුවීම් කළා. මාසයකට පෙර කරපු මේ පුහුණුවීමෙන් රූගත කිරීම් කරද්දී කැමරාවට මුහුණ දෙන හැටි දෙබස් කියවන හැටි සියල්ල ඔවුන් දැනගෙන හිටියා. එවැනි විධිමත් අන්දමට යමින් සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා අපි ''වේසාවා'' රූගත කිරීම් කළා. ''වේසාවා'' මගේ දෙවැනි අධ්‍යක්ෂණයයි. ඒ වගේම වේසාවා මගේ දහවෙනි නිෂ්පාදනයයි. ඉතින් දෙසැම්බර් මාසයේදී ''වේසාවා'' (Gigolo) නැරඹීමට හැකියාව ලැබේවි.
I දිශානි ජයමාලි