ආසාවෙන් උනන්දුවෙන් කරනවා නම් වැඩේ දුෂ්කර වෙන්නෙ නැහැ
ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දී අපට නිරන්තරයෙන් අලුත් මුහුණු දැක ගන්න ලැබෙනවා. මේ යුවතිය ඒ වගේ අලුත් මුහුණක්. ඇය අපට හමුවන්නෙ මේ දිනවල විකාශය කෙරෙන ‘කෝලම් කුට්ටමේ’ නතාෂා සොයිසා ලෙසයි. තවම පාසල් අධ්‍යාපනය ලබමින් සිටින අතරේ රඟපෑමට ආ ඇය කවුද? නමින් ඇය ශමින්දි රුක්ෂලා විජේසිංහය.
ශමින්දි රුක්ෂලා විජේසිංහ, මොන නමින්ද කතා කළොත් හොඳ?
භාවිතා වෙන්නෙ රුක්ෂලා කියලා. රුක්ෂලා විජේසිංහ කිව්වොත් හොඳයි. මගේ අම්මගෙ මල්ලි කෙනෙක් හිටියා එයා යුද සමයේදී මියගියා. එස්.ටී.එෆ්. ඔෆිසර් කෙනෙක්. එයාගෙ නම ශමින්ද. ඊට අවුරුදු දෙකකට පස්සේ මගෙ අයියා ඉපදුනාම අම්මා එයාට නම දැම්මෙ මාමාගෙ නම වූ ශමින්ද. ඊට පස්සේ මම ඉපදුනාම ශමින්දි කියලා දැම්මාලු. තාත්තගෙ නම රුක්මල්. අම්මගෙ නම ශමිලා. ඉතින් ඒ නම් දෙක එකතු කරලා රුක්ෂලා කියලා නම දාලා. අයියා ශමින්ද රුක්ෂාන්. මම ශමින්දි රුක්ෂලා.
ඉතින් ඒ ෆැමිලි එක ගැන අපට විස්තර කියන්නකෝ?
අම්මයි, තාත්තයි, මමයි, අයියයි. අයියා ‘නීති’ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන්නෙ. අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා තාත්තාගෙ වැඩවලටත් උදව් කරනවා. මම මේ වසරේ ඕලෙවල් ලියන්න ඉන්නෙ. අපි පදිංචිය කෝට්ටේ.
රඟපාන්න අවස්ථාව ආවෙ?
සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගේ IMPAS රංගන පාසලට ගියාම තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. සද්ධා සර්, චේතනා මිස් මට බොහෝ දේ ඉගැන්නුවා. කෝලම් කුට්ටමට මාව ගත්තේ සිවගුරුනාදන් සර්, කැමරා අධ්යක්ෂ ප්‍රභාත් අයියා සහ එහි රඟපාන අනෙක් අයියලා - අක්කලා හැමෝම මට බොහෝ දේ ගැන කියා දුන්නා. එයාලගෙ උපදෙස් මට පුදුම ශක්තියක් ගෙන දුන්නෙ. එයාලා ඔක්කෝම නිසා තමයි අද මට රංගනයේ ගමනකට මුල පුරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. එයාලා ඔක්කෝටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි. ඊට අමතරව කොහොමටත් පාසලේදී මම නාට්‍ය කළා. මගේ සර් ජෙරොම්ද සිල්වා. පොඩි කාලයේ ඉඳලාම මම ඩ්‍රාමාවලට කැමතියි. ‘ඉම්පාස්’ ආයතනයට ගියාම තමයි මාව තවත් පොලිෂ් වෙලා ආවේ. එයාලා තමයි මාව පොලිෂ්කරලා ගත්තෙ. ඊට කලින් සර් ජෙරොම් ද සිල්වා යටතේ ෂේක්ෂ්පියර් නාට්‍යවල රඟපාලා සමස්ත ලංකා තරගවලදී හොඳම ශිල්පිනිය වෙලත් තියෙනවා.
රුක්ෂලා ඉගෙන ගන්නෙ?
ගේට්වේ ජාත්‍යන්තර පාසලේ.
මුලින්ම කැමරාව ඉදිරියට ගියාම මොකද හිතුණේ?
වේදිකාවේ විදියයි, කැමරාව ඉදිරියේ කරන විදියයි, ගැන අපට කියලා දීලා තිබුණෙ. රඟපෑම ඒ අංශ දෙකේදී වෙනස්. ඒ වෙනස හරියටම දැනුණේ පළමු ෂූටිං දවසේ. තත්පර දෙක තුනේ, කොටස රූගත කරන්නත් කොච්චර පිරිසක් ඉන්නවද? ඉතින් ඒ ඔක්කෝම ඉස්සරහා රඟපානවා කියන්නේ ඒක වෙනස්ම අත්දැකීමක්. මට මාරම චකිතයක් තිබුණෙ. ඒත් අපිට ලැබෙන කාලය එක්ක වෙලාවට ඒ වැඩේ කරන්නම වෙනවා. ඉතින් මට එක පාරටම මතක් වුණේ මගේ පොඩි කාලය. එදා ෆිල්ම් එකක් බලලා ආවාම මම මිරර් එක ඉස්සරහට ගිහින් රඟපෑවා. ඉතින් ඒ අවස්ථාව මට මතක් වුණා. ලයනල් වෙන්ඩ්ට් තියටර් එකේ රඟපෑවෙ ග්‍රේඩ් 3වල ඉඳලා. ඉතින් ඒ ඔක්කෝම දේ නිසා මගේ සිහිනය රඟපෑම නිසා ඒ දවස මට කවදාවත් අමතක නොවන දවසක්. ඒක හරි අපූරු දවසක්. එදා එහෙම වුණාට අද මට නාට්‍ය කණ්ඩායම මට කිසිම විදියකින් අපහසුතාවක් ඇති වෙන්න දෙන්නෙ නැහැ.
ඉස්කෝලෙ වැඩයි, රඟපෑමයි, කරන්න අපහසුතාවක් නැද්ද?
අපි වැඩ ටික හරියට බැලන්ස් කර ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. කරන දේ ඒ මොහොතට අවංක වෙලා කළොත් ප්‍රතිඵල ගන්න පුළුවනි. විභාගයත් ළඟ නිසා හැමදේම කැපවෙලා කරනවා. ආසාවෙන් උනන්දුවෙන් කරනවා නම් වැඩේ දුෂ්කර වෙන්නෙ නැහැ. අධ්‍යාපනය පැත්තකට දාලා රංගනය කරන්නෙ නැහැ. රංගනයට ආසයි. ඒ වගේම ඉගෙනීමට මම බොහෝම ආසයි.
රුක්ෂලාගෙ අරමුණ?
හොඳට ඉගෙනගෙන ප්‍රතිඵල අරගෙන, රංගනයත් හොඳට කරන්න උත්සාහ ගන්නවා. රංගනයේදී මට සිංහල භාෂාව උච්චාරණය කිරීම තමයි අපහසු වුණේ. සද්ධා සර්ගෙ IMPAS එකට ගියාට පස්සෙ තමයි මෙච්චර දුරට හරි සිංහල කතා කරන්න හුරු වුණේ. මොකද මම පොඩි කාලයේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන නිසා නිතරම නැඹුරු වුණේ ඉංග්‍රීසි භාෂාවට. අධ්‍යාපනයෙන් ඉදිරියට යන අතරේ රංගනයත් කරගෙන යාම තමයි අරමුණ.
ව්‍යාපාර කරන්න? ලෝයර් කෙනෙක් වෙන්න වගේ අරමුණු නැද්ද?
ඇත්තටම ලෝ කරන්න ආසයි. හැබැයි ‘මනෝවිද්‍යාව’ට තමයි වඩා කැමතියි.
රුක්ෂලා කොයි වගේ කෙනෙක්ද?
මම සත්තුන්ට ගොඩාක් කැමති කෙනෙක්. බල්ලො පූසො විතරක් නෙවෙයි කැරපොත්තන්ටත් බය නැහැ. ඔක්කෝම සතුන්ට අනුකම්පා කරනවා.
කැරපොත්තන්ට බය නැති එකම කෙනා රක්ෂලා වෙන්නැති?
අනේ මන්දා. මම ඒ විදියයි. මට මතකයි පොඩිම කාලයේදී මම හිස් ගිනිපෙට්ටියක දාගෙන කැරපොත්තෙක් ටීචර්ට ගෙනිහින් දුන්නා. ටීචර් බය වෙලා කෑ ගැහුවා. තව දවසක් ටීචර්ට මම තෑගි දුන්නෙ පෙට්ටියක දාලා පණුවො ටිකක්. අදත් ඒ ටීචර් අපේ අම්මව මුණ ගැහුණාම ඒ ගැන කියනවා.
රුක්ෂලා බය නැති සතා?
කොටියෙක්, අලියෙක්, මුහුණට මුහුණ ආවොත් බයයි. ඒ හැර ඉතින් කිසිම සතෙකුට බය නැහැ.
ක්‍රීඩාවලටත් දක්ෂලු නේද?
පාසලේ මලල ක්‍රීඩා කරනවා. පිහිනුම් ක්‍රීඩාවත් කරනවා. මලල ක්‍රීඩාවලදී දුර පැනීම ඉසව්ව මගේ ප්‍රධාන ඉසව්වයි.
මේ නාට්‍යයේ චරිතය ගැන දැන් අපට කියන්න?
කෝලම් කුට්ටමේ මගේ නම නතාෂා සොයිසා. එයාගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඇයට සිංහල කතා කරන්න ටිකක් අපහසුයි. ඉංග්‍රීසි හොඳට පුළුවන්. ඒ චරිතය ඇත්තටම මගේ සැබෑ ජීවිතයේ චරිතයට ටිකක් සමානයි. ඒ නිසා මම ඒ අතින් හරි ලකී. එයාගෙ අම්මා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එයාට අක්කා කෙනෙක් ඉන්නවා. නතාෂා සොයිසා කියන්නෙ දොලේ මහත්තයාගේ හෝටලයේ මැනේජර්. එයාලගෙ ටුවරිසම් ගොඩ දාන්න තමයි නතාෂා ඇවිත් ඉන්නෙ.
කොහොමද ඉතින් මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?
මාව දැක්කාම, පාරේ යනකොට එහෙම මා දිහා බලනවා. දවසක් ටැක්සි රථ රියැදුරු මහත්මයෙක් ආ....ඔයා දොළේ මහත්තයගෙ මැනේජර් නේද? අපි ඒ නාට්‍ය බලනවා කිව්වා. මගේ යාළුවොත් මේ චරිතයට කැමතියි.
රඟපෑ කොටස් විකාශය වෙද්දි ඔබට ඔබව දකිද්දි මොකද හිතෙන්නෙ.
හරිම සතුටුයි. මට තව ගොඩක් දේ හදා ගන්න තියෙනවා. රඟපෑම කියන දේ නිරන්තරයෙන් හදාරන්න සහ ප්‍රගුණ කරන්න තියෙන දෙයක්. ඒකෙ කෙළවරක් නැහැ. මැරෙනකම්ම ඉගෙන ගන්න තියෙනවා. තවම මම අලුත්නෙ. අඩුපාඩු හදාගෙන ගමනක් යන්න බලනවා.
ගෙදර ඉන්නකොට වැඩිපුර කරන්නෙ?
මට කතා පොතක් කියවන්න තියෙනවා නම් ඒ ඇති. රෑට නින්දට පෙර පොතක් කියෙව්වෙ නැත්නම් නින්ද යන්නෙ නැහැ. ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරන්නත් ආසයි.
මේ දිනවල කියවන පොතේ නම?
මේ දිනවල නම් ඉංග්‍රීසි සාහිත්‍ය පොත් කියවන්නෙ. බ්රේක් එකක් ගන්න හිතාගෙන අභිරහස් කතා තේමාවක් රැගත් එකක් කියනවා. ඒකෙ නම A Good girls Guide to murder. හැරිපොටර් කතා මාලාව දහපාරක් විතර කියවන්න ඇති. ඒ වගේම ෆිල්ම්ස් නරඹන්න කැමතියි. අපට ඒ පිස්සුව ආවෙ අම්මාගෙන්. අම්මා තමයි අපිව කලාවට නැඹුරු කළේ. ඉතින් ඒ ඔක්කෝටම අමතරව යුකලේලි (Ukulele) සංගීත භාණ්ඩයත් වාදනය කරනවා.
මේ ලෝකය ගැන හිතෙන්නෙ කොහොමද? ගැහැනු ළමයකුවීම ගැන කොහොමද හිතන්නෙ?
ලෝකය කලුත් නැති සුදුත් නැති අළු තැනක්. කිසිම කෙනෙකුව බාහිරින් මනින්න යන්නෙ නැහැ. ඒ වගේම ගැහැනු ළමයකුවීම ගැන මට මහා ආඩම්බරයක් තියෙන්නෙ.
සඳුන් ගමගේ