’ආවාට තිබුණත් නිසසල සඳ මත’ පළමු ගීතයෙන්ම ජනප්‍රිය වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආවාට තිබුණත් නිසසල සඳ මත

නංගිලාට කාසි බෝ වගේ දැන්

ඉර නෑ වෙනස්වෙලා

මඩේ පිපුණු හින්දා

මට නොවේ ඔබ ආදරය කළේ

මේ ගීත ඇසෙන විට ඔබේත් මගේත් පොදුවේ රසික ජනතාවගේත් මතකයට එන්නේ නිමල් ගුණසේකර නමයි. ගැයූ පළමුවෙනි ගීතයෙන්ම ගී පැදුරෙන් තරු අඹරට එසවුණු ඔහු අද ගායකයකු පමණක් නොව සංගීත අධ්‍යක්ෂ වරයෙකුද ගීත රචකයකු ද වේ. එසේම ඔහු ගත් කතුවරයෙකු ද වෙමින් ගුවන් විදුලි රසකතා, ලියමු ගී මනරම් යනුවෙන් අගනා කෘති දෙකක්ද ලියා තිබේ.

ඉතිං ගී පැදුරෙන් තරු අඹරට ඔසොවා තැබුණු වාසනාවන්තම ගීතය ගැන කතා කරන්නට අපි නිමල් ගුණසේකරට ඇරියුම් කළෙමු.

නිමල් ගුණසේකර නම එක රැයින් තරු අඹරේ සටහන් කළ ගීතය මොකක්ද?

ආවාට තිබුණත් නිසසල සඳමත

සඳ හරි ප්‍රියංකරයි

මා කාට නැති මුත් ඔබට පිදූ පෙම

සඳමෙන් අහිංසකයි.

කව්ද මේ ගීතය ලියන්නේ.

නිමල් ජූලිගේ

ආවාට තිබුණත් ගයන්න කලින් ඔබ ගීත කියක් ගයා තිබුණා ද

එකක් වත් නෑ.

කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ.

ඒක ටිකක් දිග කතාවක්.

කමක් නෑ කෙටියෙන් කියමු.

මං එතකොට ගුවන් විදුලියේ වාදක මණ්ඩලේ වයලීන වාදකයෙක්. දවසක් ආනන්ද සමරකෝන් උපහාර ප්‍රසංගයකට ලංකාවෙම ඉන්න දක්ෂම ජනප්‍රියම ගායකයෙක් වගේම සංගීතඥයෙක් වෙන කෙනෙක් ගුවන් විදුලියට ආවා. ඇත්තම කිව්වොත් ඔහු මගේ ප්‍රියතම ගායකයෙක්. ඒ නිසාම ඔහුගේ ගීතයට වාදනයෙන් සහාය වෙන්න මං හිටියේ ආශාවෙන්. ඒත් ඔහු මගේ දිහා බලාගෙන වැඩේ කන්න නම් එපා කිව්වා. ඒ වෙලාවෙ මට හොඳටම කේන්ති ගියා. මම ඔහුට බැණගෙන බැණගෙන ගියා. එදා හවස මම නවාතැනට ගිහින් මගේ අසල් වැසි මිත්‍රයට කතා කරලා මේ සිද්ධිය කිව්වා.

කව්ද ඒ අසල්වැසි මිත්‍රයා

නිමල් ජූලිගේ එයා ඒ කාලෙ ලේක්හවුස් එකේ වැඩ කළ මාධ්‍යවේදියෙක්.

ඊට පස්සේ ?

මං ඇහුවා නිමලගෙන් මොකක්ද මං මේකට කරන්නෙ කියලා. එතකොට නිමල් තමා කීවේ උඹත් සිංදුවක් කියපං කියලා. ඒ යෝජනාව මට අලුත් එකක් වුණෙත් නැහැ. මොකද මම දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් එක්ක අවන්හලක ඉන්නකොට ප්‍රේම්ට කිව්වා මටත් සිංදුවක් කියන්න ඕනෑ මට සිංදුවක් ලියලා දෙන්න කියලා. ඒවෙලාවේ ප්‍රේම් මගේ දිහා බලලා හිනාවෙලා කිව්වේ අනේ උඹයි මායි කියන සිංදු කියලා. ඒ කතාවෙන් මගේ සිංදු කියන අදහස යට ගිහින් තිබ්බේ. ජුලිගේ මතු කළේ ඒ මගේ අදහසම තමා.

එතකොට මොකක්ද ඔබ දුන් පිළිතුර ?

මං කිව්වා මොකා ද බං මට සිංදු ලියල දෙන්නෙ කියලා. ඒ වෙලාවෙ නිමල් ජූලිගේ කිව්වා මං ලියපු සිංදුවක් තියෙනව හොඳ නම් කියපං කියලා.

මොකද්ද ඒ සිංදුව.

ආවාට තිබුණත්

ඒ වචන ඔබට අල්ලලා ගියා ද ?

ඔව්. මම ජූලිගේ ළඟ තියාගෙන තනුව හැදුවා.

ඊට පස්සේ ?

ඒ සිංඳුව ගායනා කළා. හොඳට ආවා. මටම ආසා හිතුණා. ඊට පස්සේ කසුරි මගේ මස්සිනාගෙනුත් සිංදුවක් ඉල්ල ගත්තා. මාත් එකක් ලිව්වා. සිංදු හතරක් කියලා තැටිය හොරෙන්ම ගුවන් විදුලියට බාර දුන්නා.

ඉතිං ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා ද?

ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයා නිතරම තැටි ගබඩාවට යනවා. ගිහින් අලුතින් දාපු සිංදු හොයලා බලලා අහලා හොඳ ඒවා ප්‍රචාරය කරනවා. ඉතිං මගේ ආවාට තිබුණත් සිංදුවත් නිතර වාදනය වුණා.

ඔබ ගුවන් විදුලි වාදක මණ්ඩලේ සිටීම ඔබට වාසියක් වෙන්න ඇති.

මම නිමල් කියලා අඳුනගෙන හිටියට මම නිමල් ගුණසේකර බව එයාලා දැනන් හිටියෙ නෑ. ඒ වගේම මට සිංදු කියන්න පුළුවන් කියලා එයාලා හිතුවෙත් නෑ. හැබැයි කුසුම් පීරිස්, දයා ද අල්විස් දෙන්නම මගෙන් ඇහුවා නිමල් ගුණසේකර කියන්නේ මම ද කියලා.

ඉතිං ඔව් කිව්ව ද?

මම කිව්වා නෑ කියලා. හැබැයි එඩ්වඩ් ජයකොඩිට මට රහස හංගන්න බැරිවුණා.

එඩ්වඩ් මොක ද කිව්වේ?

සිංදුව බොහොම හොඳයි කිව්වා. ආයෙත් සිංදු ටිකක් කරන්න කිව්වා. ඊට පස්සේ ගුවන් විදුලියෙ හැමෝම දැනගත්තා නිමල් ගුණසේකර කියලා සිංදු කියන්නෙ මමයි කියන එක.

සිංදුව ජනප්‍රිය වෙනකොට මොක ද හිතුනේ?

පුදුම හිතුනා මොකද මෙච්චර ජනප්‍රියත්වයක් මං බලාපොරොත්තු වුණේ නෑ.

ඊට පස්සේ ප්‍රසංග වේදිකාවටත් ගියා ද?

අර්නස්ට් සොයිසාගෙන් බේරෙන්නම බැරිවුණු නිසා නිට්ටඹුවෙ තිබුණු ෂෝ එකකට යන්න සිදුවුණා. හැබැයි මං ඒ ගමන ගියේ අකමැත්තෙන්.

ඇයි ඒ අකමැත්ත.

රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්න බැරි හින්දා

මොකක්ද ඒ උපමාවෙන් අදහස් කළේ.

ඒ කාලේ ෂෝ එකක් කිව්වාම මිනිස්සු හොයන්නෙ ජෝතිපාලලා, එම්.එස්. ප්‍රනාන්දුලා, වික්ටර් රත්නායකලා, සනත් නන්දසිරිලා, ඒ අස්සෙ නිමල් ගුණසේකර කියන්නෙ මොකෙක්ද කියලයි මට හිතුනෙ.

ඒ වුණාට ඔබ නිට්ටඹුවට ගියා.

ගියා ගිහිල්ලා මම ස්ටේජ් එක පැත්තට යද්දීම එක්කෙනෙක් ඇවිත් මාව නතර කළා. කොහෙද යන්නෙ කියලා මගෙන් ඇහුවා. මං කිව්ව සිංදු කියන්න කියලා.

ඊට පස්සේ යන්න දුන්න ද?

පිස්සුද? මිනිහ මට කියනවා සිංදු කියන්නෙ ගායකයො. එක එකාට සිංදු කියන්න දෙන්නෙ නැහැ කියලා.මං කිව්වා මමත් ගායකයෙක් තමා. නම නිමල ගුණසේකර කියලා.

එතකොට යන්න දුන්නා

අනේ මං අදනෙ දැක්කෙ. සමාවෙන්න කියලා මාව වේදිකාව ළඟට එක්ක ගියා. වික්ටර් රත්නායක ළඟින් තමා මාව වාඩි කෙරෙව්වෙ. එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.

ඒ කියන්නෙ ලේ වතුර වෙලා තිබුණෙ

නැතුව. වික්ටර් මාව අනිත් අයට අඳුන්නල දුන්නා අපේ එකෙක් දක්ෂයෙක් කියලා. එතකොටම තමා මගේ බය නැතිවුණේ.

එදා සිංදු කීයක් කිව්වාද?

තුනයි. අන්තිමට වගේ තමා මට සිංදු කියන්න ලැබුණේ. මොකද ඒ කාලෙ ජෝතිලා, එම්.එස් ලා ආපු ගමන්ම සිංදු කියලා පිටවෙලා යනවා. අපි අලුත් අය අන්තිමට ඉතුරු වෙනවා.

එදා සිංදු කිව්වට සල්ලිත් හම්බවුණා ද?

ඔව්. රුපියල් පන්සීයක්

පොඩි ගාණක්?

පොඩි පොඩි කොහෙද?

මේ 1987 නෙ. ඒ කාලේ උපාධිධාරී ගුරුවරයෙකුගේ මාසික වැටුපත් රුපියල් පන්සිය පනහයි.

මේ සල්ලිවලින් මොනව ද කළේ ?

මොනව කරන්න ද? යාලුවොත් එක්ක බොනවා මිස.

ඇයි අලුතින් සිංදුවක් දෙකක් කළේ නැද්ද?

නැහැ.

ඉන් පස්සේ ඔබත් ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක් වෙනවා ?

එක රෑකට ප්‍රසංග දහය දොළහට ආරාධනා ආවා. ඒත් ඔය ප්‍රසංගවලට යන එක මට වාතයක් වුණා.

ඒ මොකද ඒ?

මම ආශා  නැහැ. ඒ නිසා තෝරා ගත්තු කිපෙකට විතරයි ගියේ.

පිටරට චාරිකා එහෙම

අප්පෝ මතක් කරන්න එපා. මම ප්ලේන්වල යන්න බයයි.

ඇයි අප්පේ ඒ

මම පොළවෙ පය ගහල ඉන්න තමා කැමැති. ප්ලේන් යන්නෙ පොලොවට හුඟාක් උඩින්

ප්ලේන් එකක ගිහින්ම නැද්ද?

ගොඩකන්දගෙන් බේරෙන්න බැරිව ඉන්දියාවට ගියා. ඊට හොඳයි මලා නම් කියලා එදා හිතුනා. එදායින් පස්සේ ප්ලේන් එකක් දිහා බලන්නෙවත් නැහැ.

එතකොට හඳට කැමැති. හඳ තියෙන්නේ ප්ලේන් යනවටත් වැඩිය උඩින්නේ?

ඉතිං මම හඳට යන්නෙ නැහැනෙ. හඳේ ලස්සන බලනවා විතරනෙ. ආවාට තිබුණත් නිසසල සඳමත සඳ නම් ප්‍රියංකරයිනෙ.

ශාන්ත කුමාර විතාන