ආයෙත් මම ළඟදීම මනාලියක් විදිහට අඳිනවා
පසුගිය වසරේ පිළිපිනයේ මැනිලා නගරයේ පැවති ජාත්‍යන්තර විවාහක රූපරාජිණි තරගයේ ජයග්‍රාහිකාව වූ හර්ෂනි ගලගෙදර මෙවර අප ඉඩක් වෙන් කළා. නිරූපණ ශිල්පිණියක් ලෙස පසුගිය කාලේ විවිධ නිරූපණ කටයුතුවලට දායකත්වය සැපයූ හර්ෂනි මනාලියක් ලෙස නිරූපණ කටයුත්තක් සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
කාලයකට පස්සේ නේද ඔබ මනාලියක් ලෙස හැඩ වුණේ..
ඔව්, විවාහයෙන් පස්සේ තමයි නැවත වතාවක් මේ විදිහට මම මනාලියක් විදිහට හැඩ වුණේ. මම විවාහ වුණේ මීට වසර පහකට කළින්. එතකොටත් මම හැඩ වුණෙත් උඩරට මනාලියක් විදිහට. නැවතත් ඒ අත්දැකිම් මට මේ නිරූපණ කටයුත්ත හරහා විඳගන්න පුළුවන්කම ලැබුණා. ඒ ගැන මට තියෙන්නේ කියා නිම කරන්න බැරි සතුටක්.
ඔබ මනාලියක් විදිහට හැඩවුණේ කාගේ අදහසකටද..
මාව හැඩගැන්වූ නිමේෂ් එදිරිසිංහ මල්ලිගේ අදහසක් මේක. නිමේෂ් කියන්නේ ඩුබායිවල ඉන්න මනාලියන් හැඩ කරන හොඳම රූපලාවන්‍ය ශිල්පියෙක්. අවස්ථා කිහිපයකදී මට ඔහුව මුණ ගැසුණා. එහිදි තමයි ඔහු මට මේ යෝජනා කළේ. නිමේෂ් මල්ලිගේ අදහස මම මගේ සැමියා ශශිකාන්ත්ට කිව්වා. ඔහුත් කැමති වුණා. ඊට පස්සේ මගේ සැමියා තමයි මේ වැඩේ මුලීකත්වය අරගෙන කරන්න ගත්තේ. උඩරට මනාලියක් විදිහට හැඩ වූ අවස්ථාවේදී ඡායාරූප ගත්තේ ශොහන් ඩිවෙන්. විඩියෝගත කළේ චමල් නිලුපුල්. ඇත්තටම, මේ වැඩේ නිමේෂ් මල්ලියි මායි හිතුවටත් වැඩිය ලස්සනට හොඳට කේරුණා.
යළිත් වතාවක් ඔබ මනාලියක් ලෙස හැඩ වෙන්න අදහසක් නැද්ද..
තියෙනවා. ඉන්දීයානු ක්‍රමයට මනාලියක් විදිහට හැඩ වෙන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ඇත්තටම, මේ දිනවල මම රැකියාවත් සමග තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් ටිකක් කල් අරගෙන තමයි යළිත් වතාවක් මනාලියක් විදිහට හැඩ වෙන්න සූදානමින් ඉන්නේ. මේ ටිකේ ඒ සම්බන්ධව මම සැළසුම් කරමින් ඉන්නවා කිව්වොත් හරි.
ඔබ වැඩියෙන්ම ලස්සනට පෙන්නේ මොන විදිහට හැඩ වුණාමද..
මම හිතන්නේ උඩරට ක්‍රමයට තමයි. ඇත්තටම විවාහ වෙන දවසෙත් මම ඇන්දේ උඩරට විදිහට. ඊට අවුරුදු පහකට පස්සේ යළිත් වතාවක් මට උඩරට මනාලියක් විදිහට හැඩවෙන්න අවස්ථාව ලැබුණා. දෙවැනි පාරට මම හැඩවුණ වෙලාවේ මටම හිතාගන්න බැරිවුණා. ඒ තරමට මම උඩරට ඇඳුමට ලස්සන පෙනුණා. ඡායාරූප දැකපු කවුරුත් කිව්වේ මාව උඩරට විදිහට ඇන්දාම කැපිලා පේනවා කියලා.
නිරූපණ කටයුත්තකදී මනාලියක් විදිහට ඔබ හැඩවුණ පළමුවතාව මේක නේද..
කාලයක් තිස්සේ මම නිරූපන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. නමුත්, පළමු වතාවට තමයි මම මනාලියක් විදිහට හැඩ වුණේ. දැන් නම් ගොඩක් ආසයි මනාලියක් විදිහට හැඩ වෙලා නිරූපණ කටයුතුවල නිරත වෙන්න. විශේෂයෙන්ම බටහිර, දමිල හා ඉන්දියන් ක්‍රමයට. දැනටමත් ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා මට ලැබිලා තියෙනවා. මම හිතනවා ඉදිරියේදී මාව වැඩිපුරම මනාලියක් විදිහට දකින්න ලැබෙවි කියලා.
බුද්ධික සේනාධීර