ආපු දුර දිහා බැලුවොත් මම ඉන්නේ තවම පළමු අඩියේ
වේදිකා රංගනය තුළ ප්‍රේක්ෂක ඔබ නිතරම දැක ඇති රංගන ශිල්පිණියකට වන නදුනි ධනංජි වනිගසුන්දරට සාරවිට තුළින් මෙවර අප ඉඩක් වෙන් කළා. දැනට වේදිකා නාට්‍යය රැසකම රංගනයෙන් දායකව ඇති නදුනි මේ වනවිට සිනමා මෙන්ම ටෙලි නාට්‍යය රංගනයටද පිවිස ඇත.
ඔබ වේදිකාවෙන් රංගනයට ආපු කෙනෙක්?
මගේ රංගන ගමනේ ආරම්භය සිදුවන්නේ පාසල් වේදිකා හරහා. ඒ වගේම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ 2017 වසරේදී. මම උසස් පෙළ හදාරන අතරතුර බස්නාහිර පළාත් කෙටි නාට්‍ය උළෙලට සම්බන්ධ වෙනවා. "අපි කොනක" හා "අන්තිම මොහොත" කියන කෙටි නාට්‍ය ද්ව්ත්වයේම රංගනයෙන් දායක වෙනවා. 2017 බස්නාහිර පළාත් කෙටි නාට්‍ය උළලේ හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීමට මම සමත් වෙනවා. දිගු නාට්‍ය වලින් මම ප්‍රසිද්ධ වේදිකාවේ මුලින්ම සම්බන්ධ වෙන්නෙ අකිල සපුමල් සර්ගෙ %විකාරම හැන්දෑව^ කියන වේදිකා නාට්‍ය හරහා.
දැනට වේදිකා නාට්‍යය කොපමණ ප්‍රමාණයකට ඔබ දායක වෙලා තියෙනවාද?
පාසල් කාලයේ සිට වේදිකා නාට්‍ය ගත්තොත් මම වේදිකා නාට්‍ය 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියනවා. වේදිකා නාට්‍යයක් කියන්නෙ විශාල කාලයක් වැය කල යුතු නිර්මාණ කාර්යයක්. මේ දිනවල මම වේදිකාගත වන නාට්‍ය කිහිපයකම ප්‍රධාන භූමිකාවන්ගෙන් රංගනයට දායක වෙනවා. ජෙහාන් අප්පුහාමිගේ "blood shadows", අශෝක හදගමගේ "මාඝාත" නව නිෂ්පාදනයේ, චාලක රණසූරියගේ "සදුදා වැටෙන්නේ සිකුරාදාට" යන නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා. ඒ වගේම මේ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙලේ අවසන් වටය නියෝජනය කරමින් සුපුන් තත්සර බණ්ඩාරගේ "අහල්යා" කෙටි නාට්‍යටත් යෞවන සම්මාන උලෙල නියෝජනය කරමින් සහරා නේරංජනා නාට්‍යටත් රංගනයෙන් දායක වුණා.
රංගනය කියන දේට ඔබේ කැමැත්ත ඇති වුණේ?
රංගනය කියන දේට පොඩි කාලේ ඉදන්ම ආසාව තිබුණා. පාසලේදිත් රංගනය, ගායනය හා නර්තන කියන අංශ තුළ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා. ඒ සමගම උසස් පෙළට නාට්‍ය හා රංගකලාව විෂය ඇතුළුව කලා අංශයෙන් පෙනී ඉඳලා විශිෂ්ට සමාර්ථ තුනක් ගත්තා. මේ වෙනකොට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාවේදී (ගෞරව) උපාධිය අවසන් කරලා තියනවා. අපි කරන්න ආස දේ යම් හැදෑරීමක් එක්ක කරන්න ඕනේ කියන දේ මම තදින්ම විශ්වාස කරන දෙයක්. රංගනය කියන දේ හැදෑරීමක් ඇතුළුව කළ යුතු විශාල විෂය පරාසයක් විදියට මම දකින්නේ.
ඔබ දැනට වේදිකාවට පමණක් සීමා වුණ රංගන ශිල්පීණියක්ද?
මම වේදිකාවට පමණක් සීමා වෙලා නෑ. මගේ පළමු සිනමා නිර්මාණය ඉන්දික ෆර්ඩිනෑන්ඩු සර්ගේ %වෙඩි නොවදින ළමයි^ චිත්‍රපටය, ඒ වගේම ලලිත් රත්නායක සර්ගෙ බලාපොරොත්තුව පොහෝ දින ටෙලිනාට්‍යයෙත් මම රංගනයෙන් දායක වුණා. ඊට අමතටව වෙලද දැන්වීම් වලට තමයි මම තිර රංගනයෙන් වැඩිපුරම දායක වෙලා තියෙන්නේ. මේ වෙනකොට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා ඉන්න නිසා ඉදිරියේදී වේදිකාව වගේම අනෙකුත් මාධ්‍ය තුලින් නිර්මාණවලට දායකවෙන්න මම බලාපොරොත්තු වෙනවා.
රංගන ශිල්පිණියක් විදිහට ඔබ දැන් ජනප්‍රියද?
මම ජනප්‍රියද නැද්ද කියන එකට උත්තරයක් දෙන්න මට බෑ ඇත්තටම ඒක මම දන්නෙ නෑ හැබැයි මම තාම ටෙලි නාට්‍ය රංගනයෙන් දායකවෙලා නැති නිසා මම කවුද කියලා දන්න වේදිකා ප්‍රේක්ෂකාගාරයක් රසික පිරිස් පමණයි. ගිය වසරේ මම යෞවන සම්මාන උළෙලේ ඒකල රංගනයක් සිදුකලා 'රතුපාට මල්' නමින් ඒ නාට්‍ය නිසා මම විශාල පිරිසක් අතරට ගියා වගේම ඒක කතා බහට ලක්වුණු නිර්මාණයක් බවට පත්වුණා. ගිය වසරේ යාපන විශ්වවිද්‍යාලයෙත් එම නාට්‍ය ප්‍රදර්ශනය කලා එහිදී ඉතාම හොද ප්‍රතිචාර රැසක් ලැබුණා.
ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
ආපු ගමන ගැන කිව්වොත් මම තවම පටන් ගත්තා විතරයි මගේ ගමන. ආස කරන තැනට යන්න කෙටි පාරවල් නෑ ඒ නිසා මගේ ගමන හිමින් සැරේ මම යනවා. විශේෂයෙන්ම මේ ගමනෙ අමතක කරන්නම බැරි පාර්ශවය මගේ ආදරණීය පවුල, මගෙ අම්මා,තාත්තා ඇතුලුව පවුලෙ අයගෙන් මට ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. ඒ වගේම මගේ නාට්‍ය ගුරුතුමිය චම්පා සරෝජනී මැඩම්වත් ආදරෙන් මතක් කරනවා.
බුද්ධික සේනාධීර