ආදරය කළා, වෙන්වුණා, වෛරයක් අමනාපයක් තුන් හිතකවත් නෑ - රූපා ඉන්දුමතී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරය කරන්නට හෝ වෛර කරන්නට අපට ලැබී ඇත්තේ එක් ජීවිතයක්ය. තත්ත්පර, විනාඩි, පැය ගෙවී දින සති මාස ගෙවි වසරින් වසර ගෙවී යන්නේ ඒ ජීවිතයයි. පහන් දැල්ලක් සේ කිසිවක්ම ඉතිරි නොකොට දැවී යන මේ ජීවිතයේ අප මෙලොවේ ඉතිරි කර යන්නේ අප ගැන මතකයන් පමණි. ඉතින් ඒ මතකයන් සුන්දර ආදරණීය යළි යළි ස්මරණය කළ හැකි මතකයන් කරනවාද නැතිනම් සිහි කිරීමට පවා අපුල දනවන අසුන්දර කටුක මතකයන් කරනවාද යන්න සියයට සියයක්ම තීරණය වන්නේ අප කරන කියන දෑ අනුවය. එබැවින් අප ජීවත්වන අපට හිමි වූ මේ ජීවිතයට ආදරයෙන් ආදරය කරමින් ගෙවා දැමිය හැකි නම් එය කෙතරම් අගනේද? හදසර My Story කියවන ඔබ සමඟ එසේ කියන්නට මට සිතුණේ අද අපට හමුවන මේ ආදරණීය ගැහැනිය නිසාය. හැටේ දශකයේදී ශ්‍රී ලාංකික ගායන ලෝකයට අවතීර්ණ වෙමින් අදටත් තම ආදරණීය රසික සිත් ගීතයෙන් සුවපත් කරන ඇය ප්‍රවීණ ගායන ශිල්පිනීරූපා ඉන්දුමතී නම් වන්නීය. අද ඇගේ කතාව කියවා අවසාන වනවිට ඉහත මා ඔබට කියූ කතාව කොතරම් නම් සත්‍යයක්දැයි ඔබට වැටහෙනු ඇති.

"මම ඉපදුණේ කිරුළපන ප්‍රදේශයේ. සහෝදර සහෝදරියන් හත් දෙනකු සහිත පවුලේ මම තුන්වැනියා. මගෙ අම්මා ඩොටී ජයසේකර. ඇය ටෙලිනාට්‍යවලට එහෙම රංගනයෙන් එක්වූ ශිල්පිනියක්. තාත්තා සයිමන් පීරිස්. ආරක්ෂක නියාමකවරයෙකු ලෙස තමයි වැඩ කළේ. හරිම සුන්දර ළමා කාලයක් අපි ගත කළා. අයියා, අක්කා, නංගිලා සහ මල්ලි ඇතුළු අපි හත් දෙනෙකු පවුලේ සිටියා. ඉතින් බොහොම කෙළිදෙළෙන් තමයි කුඩා කාලය ගෙවිලා ගියේ. අපි පුංචි කාලෙ ගියේ වැල්ලවත්ත ලංකාධාර බාලිකා විද්‍යාලයට. ඉන්පසුවයි මම නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණේ. පාසලේදී මම හැමදෙයකටම ඉදිරිපත් වුණා ගීත ගායනා කරන්න, නර්තනයට ඔය හැමදේටම. උඩරට නර්තනය මම හොඳින් ප්‍රගුණ කළා. ඒ නිසාම පසුකලෙක මම නැටුම් ගුරුවරියක ලෙසත් සේවය කළා. පාමංකඩ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මම නැටුම් ගුරුවරියක ලෙස වැඩ කළා. ඉස්කෝලෙදි මම තරගවලට අනිවාර්යයෙන් සහභාගි වූ කෙනෙක්. පාසල් මට්ටමින් වගේම පළාත් සහ සමස්ත ලංකා මට්ටමින් පවා පාසල් වයසෙදි මම තරගවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මගෙ පාසල් ගුරු මව්පියවරුන් සහ විදුහල්පතිවරුන් මම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. මගේ දක්ෂතා දැකලා ඒවා හොඳින් හඳුනාගෙන මට ඉදිරියට යන්න පාර කියා දුන්නාට. ඒ වගේම මගෙ දහම් පාසල ගැනත් මතක් කරන්නම ඕන. අපේ ගමේ බලපොකුණ සාධු දහම් පාසල. හැම වසරකම ගායනා තරගයක් පැවැත්වුණා. මම සහභාගි වුණු හැම තරගයකදීම පළමු ස්ථානය ලැබුවා. අපේ විදුහල්පතිතුමා බස්නායක මහතා පොඩි කාලෙ ඉඳන්ම අපිව විජිතානන්ද මැණික්දිවෙල මහත්මයාගේ බෝසත් ළමා ළපටියෝ කියන වැඩසටහනට එක්කරගෙන ගියා. දහම් පාසල් ගාථා, ගායනා ඉදිරිපත් කරන ගුවන් විදුලිය විතරනේ ඉස්සර තිබුණේ" ඇය තම අතීතයට පියමං කරමින් සිහි කරන්නීය. මෙසේ කාලය ගෙවී යන අතරතුර වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා එක් සුවිශේෂ පුද්ගලයෙකුගේ පැමිණීම සිදුවිය. කරු අයියා නමින් ගුවන් විදුලිය ඔස්සේ රටම හඳුනාගත් ඔහු කරුණාරත්න අබේසේකර නම් විය. "එදා කවි ගායනා තරගයේ පළමුවැනියා වූ මට වේදිකාවේදී කවි ගායනය නැවත ඉදිරිපත් කරන්න සිදුවුණා. ඉතින් මගේ ගායනය ඉදිරිපත් කළාට පසු කරුණාරත්න අබේසේකර මහතා අපේ විදුහල්පතිතුමාට කිව්වා ඉරිදා දවසට "සරස්වති මණ්ඩපයට" මාව එක්කරගෙන එන්න කියලා. ඉන්පසුව මම දිගටම සරස්වතී මණ්ඩපයට සමූහ ගායනා සඳහා එක්වුණා. කාලය ගතවෙලා යද්දී මම සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. මොකද වයස 16 දී ළමා පිටියෙන් ඉවත්වෙන්න ඕනනෙ. සරල ගී පරීක්ෂණයෙන් මම "බී" ශ්‍රේණියට සමත් වුණා. වසරින් වසර පරීක්ෂණ පැවැත්වුණා. 1979 දී ඉන්දියාවේ මහාචාර්ය දීපාල් නාග් මහත්මිය ලංකාවට පැමිණියා. එතුමිය ලංකාවේ සියලුම ශිල්පීන් වර්ග කළා. එහිදී මාව විශිෂ්ට ශ්‍රේණියට සමත්වුණා. ගුවන් විදුලිය තුළ මම විවිධ ඉසව් සඳහා එක්වුණා. හඬ ශිල්පිනියක් ලෙස මොණරතැන්න, ගජමුතු, මුවන් පැළැස්ස වැනි නාට්‍ය විශාල ප්‍රමාණයකට කටහඬ දායකත්වය ලබා දුන්නා. ඉතා මෑතක් වනතුරුම මම නාට්‍ය හඬකැවීම් සඳහා එක්වුණා. ඒ වගේම විරිදු, නෘත්‍ය, පද්‍යාවලී ගායන ශිල්පිනියක් ලෙස මා කටයුතු කළා. ගුවන් විදුලි වැඩසටහන් ගණනාවක් සඳහා මම ගායනා සඳහා එක්වුණා. සරල ගී වගේම චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක් ලෙසත් මා නිර්මාණ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා."

"මම මුලින්ම චිත්‍රපටයක් සඳහා පසුබිම් ගීතයක් ගායනා කළේ විජිත මල්ලිකා රංගන ශිල්පිනිය වෙනුවෙන්. ඒ "අබුද්දස්ස කාලය" චිත්‍රපටය වෙනුවෙන්. මේඝ ගර්ජනා කියන ඒ ගීතය සංගීතවත් කළේ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන්. පෙම් කුරුල්ලෝ, ආශා, දෙවියනි සත්‍ය සුරකින්න වගේ චිත්‍රපට 25කට පමණ මම පසුබිම් ගී සඳහා ගායනයෙන් එක්ව තිබෙනවා. ගායනය කියන්නේ ඉතා කුඩා කාලේ ඉඳන්ම මම ආශාවෙන් සිටි දෙයක්. ඉස්සර මට මතකයි මම කොයි වෙලාවෙත් ගීත ගායනා කරනවා. ගෙදරට කවුරුහරි ආවත් මම සින්දු කියනවා. මේසයක් පුටුවක් අස්සේ හැංගිලා ඉඳන් හයියෙන් සින්දු කියන එක මගේ විනෝදාංශයක්. ඇල්හේන පැල් රකිද්දී වගේ ගීත තමයි ගායනා කළේ. ඒ වගේම ලතා අක්කගේ (ලතා වල්පොල) ගිත ගායනා කළා. චිත්‍රපට පසුබිම් ගායනයට ආ පසුවත් ලතා වල්පොල, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරෙරා, මොහිදීන් බෙග්, ජෝතිපාල වැනි ශිල්පීන් සමඟ සමූහ ගායනා සහ යුග ගායනාවලට එක්වුණා."රූපා ඉන්දුමතී ගැයූ මුල්ම සරල ගීතය "දිමුතු මුතු මල් සල සලා... ඒ මලින් ගෙළ සරසලා" ගීතයයි. "1963 දී මම ජයතිස්ස හෙට්ටිආරච්චි සමඟ "රුවන් අඹර සෙමර සළන" ගීතය ගායනා කළා. ලයනල් සි.ද අල්විස් ලියූ ගීතය සංගීතවත් කළේ පැට්‍රික් දෙනිපිටිය. දෙහිවල පොලිස් ඡායාරූප සංගමය සංවිධානය කළ වෙසක් නාට්‍යයකට තමයි ඒ ගීතය ඇතුළත් වුණේ. ඒ ගීතය ඉතා ජනප්‍රියත්වයට පත්වුණා. මම ගැයූ ගීත 50ක් පමණ අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. කැසට්පට 10ක් සහ සංයුක්ත තැටි දෙකක් තුනක් පමණ නිකුත් කරන්න මට හැකිවුණා. මම කෙතරම් ගී ගයා තිබෙනවාද කියලා ගණන් කරලානම් නැහැ. නමුත් ගීත 500ක් පමණ ගායනා කරලා ඇති කියා හිතනවා.

රූපා ඉන්දුමතී විවාහ වූයේ තම ගී වලට ආදරය කළ රසිකයෙකු  සමඟින්ය. ඔහු ලක්ෂ්මන් රුද්‍රිගුය. පසු කලෙකරූපා- ලක්ෂ්මන් ගැයූ යුග ගී රසික ජනතාව ආදරයෙන් වැළඳගත්හ. සුවඳට මල, විදුලි දුම්රියේ, වසන්ත දූතය, ප්‍රිය හිමියනි ඇතුළු ගීත ගණනාවක් ඒ අතර විය.රූපා - ලක්ෂ්මන් හමුවීමද ඉතා සොඳුරු මතකයකි. දෙදෙනා එක්ව අතිනත ගෙන දරුවන්ද හදා එක්ව ගිය මඟ දෙපසට වී අද වනවිට වසර 35ක්ම ඉක්ම ගොසිනි. එහෙත් අදටත් ප්‍රසංගයක හෝරූපවාහිනී වැඩසටහනක ඔවුන් දෙදෙන එක්ව ගීත ගයනු දක්නට හැකිය. ජීවිතය ආදරයෙන් ගත කරන්නේද වෛර කරමින් ගත කරන්නේද යන්න පිළිබඳ අද "My Story" ලිපිය ආරම්භයේම මා සඳහන් කළේ එබැවිනි. 

"මට ලක්ෂ්මන් හමුවුණේ සංගීත ප්‍රසංගයකදී. ඔහු මගේ රසිකයෙක්. දිනක් කැලණිය ප්‍රදේශයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයකදී ඔහු මට හමුවුණා. එදා මම තාත්තා එක්කයි ප්‍රසංගයට සහභාගි වුණේ. ලක්ෂ්මන් ඇවිත් කතා කළා. විස්තර කතා කරලා දැන හඳුනාගෙන එදා මාවයි තාත්තයි ගෙනැල්ලා ඇරලුවෙත් එයා. මේ දැන හඳුනාගැනීම ටික කලකදි ආදරයක් බවට පත්වුණා. ඉතින් 1968දී අපි විවාහ වුණා. අපි දෙන්නාට පුතාලා තුන්දෙනෙක් ලැබුණා. නුවන්, අකිල, රුවන් දැන් එයාලා විවාහ වෙලා. එයාලට දරුවන් සිටිනවා. ඒ දරුවන් ඒ කියන්නේ මගේ මුණුබුරු, මිණිබිරියනුත් දැන් විවාහ වන වයසට ඇවිදින්. දරුවන් විදේශ ගතවෙලා. මාත් ලක්ෂමනුත් මීට වසර 35කට පෙර වෙන්වුණා. ඔහු විවාහයක් කරගත්තා. නමුත් අදටත් අප අතර කිසිදු අමනාපයක් නැහැ. ඔවුන් මගේ නිවසට එනවා යනවා. ඒ වගේම විවිධ වැඩසටහන්, ප්‍රසංග ආවම අප දෙදෙනාම සහභාගි වෙනවා. ගොඩක් වෙලාවට මට ආරාධනා ලැබුණාම යුග ගායනා වෙනුවෙන් මම ඔහුගේ නම යෝජනා කරනවා. ඇත්තෙන්ම මේ ජීවිතය තුළ අප හැම මොහොතකම සතුටින් ඉන්න ඕන." කිසිවක් ස්ථාවර නොවන මේ ලෝකය තුළ අහිමිවීම් අබියස හඬා වැටෙමින්, හිමිවීම් අබියස උඩඟු වෙමින් අප කොහේද යන්නේ. ඇගේ කතාව අපිට නොකියා කියන්නේ එම කතාව නොවේද?

"මට දැනුත් ප්‍රසංග සඳහා ඇරයුම් ලැබෙනවා. මසකට එකක් දෙකක්. දැන්නම් පුංචි පුංචි අපහසුතා දැනෙනවා. වයස්ගත වීම විතරක්ම නෙවෙයි. 1999 දී මා ජාඇල සංගිත ප්‍රසංගයකට සහභාගි වෙමින් සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්වුණා. මගේ දෙපාවලට හානි සිදුවුණා. තවමත් කකුලේ ඉවත් නොකළ ඇණ තිබෙනවා. දැන් වයසත් එක්ක ඒවා ඉවත් කරන්න බැහැ කියලා තමයි වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ. ඇවිදින විට හරිම අපහසුයි. දරුවන් කියනවා එයාලා ළඟට එන්න කියලා. නමුත් මට තවමත් බොහෝ දේ තනිව කළ හැකි නිසා මා හිතනවා ඉඩ ලැබෙන හැටියට ප්‍රසංගවලට සහභාගි වෙමින් කාලය ගත කරනවා කියලා මාගේ ගීත ඇතුළත් "රූපා ගී සරණිය" නමින් වූ ප්‍රසංගයක් මා පැවැත්වූවා. ප්‍රසංග වාර 50ක් පමණ පවත්වන්නට හැකිවුණා. මගෙ පවුලේ අයියයි, මල්ලියි දෙදෙනෙකුම ජීවතුන් අතර නැහැ. මගෙ දෙමව්පියන් දෙදෙනාත් දැන් අප අතර නැහැ. මම හැම වසරකදීම එයාලා වෙනුවෙන් විවිධ පින්කම් කරනවා." ඇය පවසන්නේ දායාවන්ත සිතින්මය. දශක ගණනාවක් පුරා අප සවන් සැනසූරූපා ඉන්දුවතී ප්‍රවීණ ගායන ශිල්පිනියට අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ / සේයාරූ- සුමුදු හේවාපතිරණ