ආදරයේදී බොහෝ සෙයින් ඉවසන චරිතයක් මම. මගේ ජීවිතය එකතකට ලොකු කතා පොතක එක් පිටුවක් වගෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දක්වා වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය ඔස්සේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරය වෙනස් මානයකට, අරුත්බර, වින්දනීය මාවතකට ගෙන ගිය ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණයා නිර්මාණය කළ අලුත්ම ටෙලි මාලාව වන ‘නන්නත්තාර’ මේ දිනවල විකාශය වෙනවා. සැමදාම නිර්මාණ ඔස්සේ අලුත් මුහුණු හඳුන්වා දුන් ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණයා මෙවරත් ‘නන්නත්තාර’ ඔස්සේ අලුත් මුහුණක් හඳුන්වා දී තිබෙනවා. ඇය නමින් වින්ද්‍යා දෙගල්දොරුව. ‘නන්නත්තාර’ ටෙලි මාලාවේ ‘රම්බා’ ලෙස වින්ද්‍යා රංගනයක යෙදී සිටින මොහොතක අපි ඇය කවුද කියා විපරම් කර බලමු.

ගම එහෙම?

මහනුවර, වටපුළුව.

විද්‍යාගෙ ගමේ විස්තර එක්ක පවුලෙ තොරතුරුත් කියමු?

අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මමයි, නංගියි. මම හැදී වැඩුණෙ නුවර කන්‍යාරාම පාසලක අධ්‍යාපනය ලබාදීමට මව්පියන්ට තිබූ කැමැත්ත නිසා මාවයි, නංගිවයි පාසල් අධ්‍යාපනයට යොමු කළේ නුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන්. තාත්තා ඒ කාලයේ වැඩිපුරම හිටියෙ විදෙස්ගත වෙලා. ඒ නිසා අපි දෙන්නා හොස්ටල් එකේ හිටියෙ. පසු කාලයක අපේ පවුලම විදෙස්ගතව හිටියෙ.

පාසල් ජීවිතයේ කළ කී දේ ගැන මතක අවදි කළොත්?

පාසලේදී විෂයය වැඩවලට අමතරව බාහිර වැඩවලට දායක වීම නිසා පාසලේ සිටි ජනප්‍රිය චරිතයක් වුණා. විශේෂයෙන්ම සංගීත අංශයේ කටයුතු නිසා කැපී පෙනුණු බව කියන්න පුළුවන්. ගායනය සහ රංගනය ඔස්සේ පාසලේ විවිධ නිර්මාණවලට දායක වූ ශිෂ්‍යාවක්. පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව වගේම සංස්කෘතික කණ්ඩායමේ සභාපතිනිය ලෙසත් කටයුතු කළා. නර්තනයට ලැදිව හිටියෙ. මේ දේ නිසා තමයි පාස​ෙල් ප්‍රකටව සිටියෙ.

මගේ ගුරුවරු මාව වඩාත් දිරිමත් කළේ සෞන්දර්යය කලාව ඔස්සේ ඉදිරියට යනවාට. ඒත් අම්මයි තාත්තයි මාව උනන්දු කළේ පොතපත අධ්‍යාපනයට. ඉහළම අධ්‍යාපනය ලබාදී මාව ගුරුවරියක් කිරීමේ අරමුණ එයාලට තිබුණෙ. අම්මගෙ කැමැත්ත තිබුණෙ මම බැංකුවක වැඩ කරනවට. මේ නිසාම උසස් පෙළින් පසුව සීමාවාසික පුහුණුව ලැබුවෙ බැංකු ක්ෂේත්‍රයේ. ඒත් මට ඒ  කටයුතු අල්ලලා ගියේ නැහැ. විදෙස්ගතව උසස් අධ්‍යාපනයට පිවිසුණේ ඉන් පසුවයි.

විදෙස්ගතව මොන අංශයෙන්ද ඉගෙන ගත්තේ?

උසස් අධ්‍යාපන සහතික ඔක්කෝම තියෙන්නෙ ඇමරිකා සහ ලන්ඩන් විභාග සම්බන්ධවයි. ශ්‍රව්‍ය හා සෞන්දර්ය කලා අංශයේ මෙන්ම ගුරු වෘත්තියට අදාළව සුදුසුකම් සපුරා ගත්තා. ඉන්පසුව මම සේවය කරන්න පටන් ගත්තෙ අබුදාබි නුවර. ඉන්ටර්නැෂනල් කින්ඩර් මියුසික් අංශය ගැන වෙනම හදාරා තියෙනවා. ඒ මියුසික් විෂයය විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් කරන්නෙ. බටහිර බොහොමයක් රටවල එය ඉතා ප්‍රසිද්ධයි. එම අංශයේ මම ලැබූ අධ්‍යාපනය සමග මුළු ලෝකයේම ඕනෑම රටක ඉගෙන්වීමේ බලපත්‍රය පවා සතුයි. ඊටත් අමතරව යෝගී ව්‍යායාම් අංශයේ උපදේශකවරියක ලෙස බලපත්‍රලාභිනියක්.

මේ ඔක්කොම දේ කරලා අබුදාබි නුවර සිට ගුරුවරියක ලෙසත් කටයුතු කළ වින්ද්‍යා අද ලංකාවට ඇවිත් මොනවද කරන්නෙ?

ඔය මොන දේ කළත් මගේ ජීවිතේ ඇතුළාන්තයෙහි තිබුණෙ රංගන, ගායන, රිද්මයයි. මව්පියන්ට අවශ්‍ය දේ ඒ විදියටම කළාට මගේ හීනය තිබුණේ සෞන්දර්යය කලාවේ. ඒ හීනය සැබෑ කර ගන්න අවකාශය ලැබිලා තියෙන්නේ දැන්. මේ වනවිට මගේම ගීත දෙකක් කරලා තියෙනවා. විදෙස්ගතව ඉඳලා නිවාඩුවට ලංකාවට ආවාම ඒ වගේ නිර්මාණ කළේ ආසාවට. මුලින්ම බොහෝ දෙනා මා ගැන දැනගෙන හිටියෙ ගායන හැකියාව නිසයි. රංගනය මට අහම්බයෙන් ලැබුණු අවස්ථාවක්. නිවාඩුවකට මෙහෙ ඇවිත් සිටියදී අපේ ආදිශිෂ්‍ය බැච් පාටියකදී මම ක්වීන් (කුමරිය) ලෙස තේරුනා. ඒ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළවුනාම මට ෆිල්ම් එකකට ආරාධනා ලැබුණා. ඒ වනවිට ගුරුවරියක ලෙස අබුදාබියේ කටයුතු කරමින් සිටියෙ. ඉරාන් ගොඩමුණේ අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ රඟපෑම එකපාරටම බාර ගන්න චකිතයක් මට තිබුණෙ. මොකද නිවාඩු අරගෙන ලංකාවට එන්න තිබූ නිසා. කොහොම වුණත් ඒ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණෙ රොෂාන් රවීන්ද්‍ර ප්‍රවීනයා සහ රොෂාන් රණවන සමග ප්‍රධාන චරිතයක්. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉරාන් ගොඩමුණේ. නිෂ්පාදනය කළේ ධම්මි ගොඩමුණේ. චන්ද්‍රරත්න මාපිටිගම සර් තිර රචනය ලිව්වෙ. මුලින්ම කැමරාවක් ඉදිරියට ගිහින් රඟපෑවේ ඒ චිත්‍රපටයෙ. එය තිරගතවීමට නියමිතයි. ‘නන්නත්තාර’ ටෙලි නාට්‍ය මගේ ජීවිතයේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයයි. ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක එලෙසින් රඟපාන්න ලැබීමම මගේ වාසනාවක්.

නන්නත්තාර’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට ඔබ තෝරා ගන්නට හේතු වුණේ?

මම ‘නන්නත්තාර’ නාට්‍යයේ රඟපාන්නෙ ‘රම්බා’ කියන චරිතයයි. ජයන්ත චන්ද්‍රසිරි සර් මාව තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති. ඒ චරිතයට ඔහුගෙ මනසේ ඇඳී තිබුණු හැඩතල මට තියෙන්න ඇති. ඉතින් ඒක ඇත්තටම වාසනාවක්. අපේ රටේ විවිධ කාන්තාවන්ගේ ප්‍රශ්න රම්බා හරහා කතා වෙන බව කියන්න පුළුවනි. රම්බා නිසා අපේ රටේ කාන්තා පරපුර මා ගැන අවධානය යොමු කරාවි. ඒ මාවත මට හදලා දුන්නෙ ජයන්ත චන්ද්‍රසිරි සර්. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, සනත් ගුණතිලක වැනි ප්‍රවීනයින් රැසක් සමග රඟපාන්න ලැබීම ඇත්තටම මහා වාසනාවක්.

නන්නත්තාර - රම්බා’ නිසා වින්ද්‍යා මුහුණ දුන් අත්දැකීම් මොනවද?

මම දීර්ඝ කාලයක් හිටියෙ විදෙස්ගත වෙලානෙ. උසස් අධ්‍යාපනය ලැබුවෙ සහ ගුරුවරියක ලෙස ඉගැන්වීම් කටයුතු කළෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් සිංහල කථනයේදී මගේ උච්චාරණය ඒ තරමටම පැහැදිලි වුණේ නැහැ. ජයන්ත සර් මාව මේ චරිතයට තෝරා ගත්තාම මුලින්ම කළේ ඉංග්‍රීසි වෙනුවට සෑම  මොහොතකදීම සිංහල කතා කිරීමට සැලැස්වීමයි. මේ ‘රම්බා’ චරිතය හදා ගන්න එතුමා වගේම අනෙකුත් ප්‍රවීණයින් සියලු දෙනාම මට උදව් කළා. මාත් හැකි උපරිම කැපවීමක් මේ චරිතය වෙනුවෙන් කළ බව කියන්න පුළුවන්.

වින්ද්‍යාට නුවර ඉතාම සුන්දර පරිසරයක තැනූ  සංචාරක හෝටලයක් එහෙමත් තියෙනවා නේද?

ඔව්. ඒක වසර කීපයකට පෙරදි නිර්මාණය කළේ. ‘ස්කයිලෝන්ජ්’ හෝටලයේ නාමයයි. මම යෝගී විෂයෙහි නියැලෙන නිසාත් පරිසරයට වඩාත් ආස නිසාත් ඒ වගේ ලස්සන තැනක සංචාරක හෝටලය ඉදිකිරීමට කටයුතු කළා.

එක විදියකට බැලුවාම, වින්ද්‍යාට තියෙන්නෙත් නන්නත්තාර වෙච්ච ජීවිතයක්. යහපත් විදියට නන්නත්තාර වෙච්ච නේද?

මේ දක්වා ලෝකයේ සෑම තැනකටම වගේ ගිහින් ලබාගත් අත්දැකීම් එක්ක ගෙවූ ජීවිතයක් මට තියෙන්කේ. විවිධ ජාතීන් ඇසුරු කරලා, විවිධ ජාතීන්ට අයත් ළමයින්ට උගන්වලා ගත්ත අත්දැකීම් ඉතා විරල අත්දැකීමක්. ඒ වගේම මේ ගෙවී ගිය අවුරුදු දෙක ඇතුළත ලංකාවට නැවත ඇවිත් කලාවට සම්බන්ධ වී ලැබූ අත්දැකීම් මගේ මුළු ජීවිතයටම වැදගත්. මට හොඳම ප්‍රායෝගික අත්දැකීම මේ රංගනයේදී ලැබුණේ ‘නන්නත්තාර’ නිසයි.

වින්ද්‍යා, ආදරය ගැන කතා කළොත්?

ආදරය  කියන්නෙම කැපවීම සහ බැඳීමයි. අරුත්බර සම්මුතිවාදී බැඳීමක්. ආත්මාර්ථකාමී නොවිය යුතු දෙයක්. ආදරයේදී බොහෝ සෙයින් ඉවසන චරිතයක් මම. මගේ ජීවිතය එකතකට ලොකු කතා පොතක එක් පිටුවක් වගෙයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ