ආකාස කුසුම් ‘කුඩා සන්ධ්‍යා’ චිත්‍ර ප්‍රදර්ශනයකට සූදානම්
රිදී තිරයෙත්, පුංචි තිරයෙත්, රගහලෙත් වේදිකාවෙත් දිදුලන තාරකා ගොන්නේ, දිලි දිලි හිනැහෙන පුංචි සිත්තරාවිය ඇයයි. ප්‍රසන්න විතානගේ ගේ ආකාශ කුසුම් හි කුඩා සන්ධ්‍යා රාණි වූ ඇය රග පෑ චිත්‍රපටි, ටෙලි නාට්‍යය ද කිහිපයකි. වෑකන්ද වලව්ව, මීදුම් අම්මා, සෙල්වම් එම නිර්මාණ අතර වෙයි. මෙහි ප්‍රධානම චරිත නොවුන ද, ලැබු චරිතය තුලින් සිය ප්‍රතිභාව අපූරුවට ප්‍රතිනිර්මාණය කරන්නට ඇය සමත් ව තිබිණ. ඒ ප්‍රතිභාපූර්ණ නිළි පරම්පරාවක ජානමය ලක්ෂන ද ඇය සතුව තිබිමත් වන්නට ඇත.
සදුනි වරංගනා ෆොන්සේකා නම් වු මෙම සුන්දර සිත්තරාවියට ඒ නම දී තිබුනේ සිය ලොකු නැන්දනිය වූ නිළි රැජින මාලනි ෆොන්සේකා ය. ඇය තරුවකට වඩා, සිත්තරාවියක ලෙස අප දකින්නේ ඇයගේ අපූරු සිතුවම් නිසාම ය.
සදුනිගේ තාත්තා, මාලනීගේ ලොකු මල්ලී ය. ඔහු මහින්ද ෆොන්සේකා ය. සඳුනිගේ අම්මා රසාංජලි පෙරේරා ය. නැන්දලා මාමලා සහ ඥාති සහෝදරියන්ගේ මෙන්ම සිය එකම සොහොයුරිය වු හිරුණි උමයංගනාගෙන් ද ඇයට ලැබෙන්නේ නොමද ආදරයකි. සෙනෙහසකි.
සඳුනිගේ කතා කරන දෙතොලට වඩා දොඩමලු වන්නේ ඇයගේ කතා කරන දෑස් ය. ඇයගේ බොහෝ සුන්දර තොරතුරු අප හා කියා සිටියේ ඇයගේ දයාබර අම්මා වූ රසාංජලි ය. බොහෝ අම්මාවරුන් හඩා වැටෙමින්, සුසුම්ලමින්, මහත් වු කම්පාවෙන් කියන කතා සඳුනිගේ අම්මා කියා සිටියේ සතුට උතුරා යන හඩිනි. අභියෝග ජයගත් අම්මා කෙනෙකුගේ හඬින් ය. සැබවින්ම ඇය බොහෝ ධෛර්යවන්ත අම්මා කෙනෙකි.
“ සදුනි ඇත්තටම පුංචි කාලේ මලක් වගේ සුන්දරයි. දූ ටික ටික ලොකු වෙද්දි මාලනි අක්කා වගේමයි. සඳුනිගේ තාත්තයි මායි හිතුවා නැන්දා වගේ කවදා හරි මිනිස්සු ගොඩාක් ආදරේ කරන , ගෞරව කරන නිළියක් වේවි කියලා. ඒත් දුව ලස්සන එක්කම චුටිම චූටි අඩුවක් එක්ක තමයි අපේ දෝතට ආවේ. දුවට අවුරුදු එකහාමාරක් විතර වෙනකොට තමයි දැන ගත්තේ ශ්‍රවණ ඌණතාවයක් තියෙනවා කියලා. මගේ හිත කඩාගෙන වැටුනත්, කොයිතරම් දුෂ්කරතා තිබුණත් මේ අභියෝගය මම හරිම සතුටින් බාර ගත්තා. “ ඇය පවසන්නීය.
ටවර් හෝල් පදනමේ කළ රැකියාව දුව වෙනුවෙන් අත්හළ ඇය දුව වෙනුවෙන්ම බොහෝ දෑ කැප කිරිමට අදිටන් කරගත්තේ එතැන් සිටය. මෙහිදි තමන්ට දැවැන්තම ශක්තිය ධෛර්ය වූ ග්‍රේටා නලවත්ත කන්‍යා සොහොයුරිය ගැන ඇය කියා සිටියේ බොහෝ සෙනෙහසිනි.
“ඇත්තටම සිස්ටර් විසින් පවත්වා ගෙන ගිය පාසැලේ ශ්‍රවණ ඌණතා ඇති දරුවෝ ගොඩක් හිටියා. දුවට මූලික අධ්‍යාපනය ලැබුනේ, නර්තනය, ක්‍රීඩා මේ සියල්ල විතරක් නෙමෙයි ජිවිතය බොහෝම ලස්සනට විදින්න කියා දුන්නේ ඒ පාසැලයි.
ඇය අසීමිත ගෞරවයෙන් පවසන්නීය.
“අනිත් බොහෝ දරුවන් වගේම අපේ දුව සඳුනිත් වැඩුනා. දගකාරකම් කෙළවරක් නැහැ. හිටියෙම ගස් උඩ. කොල්ලෙක් වගෙයි. ඒ වගේම නටන්න, ක්‍රිඩා කරන්න ජිම්නාස්ටික් කරන්න ලොකු දක්ෂතාවයක් තිබුණා. චිත්‍ර අදින්න නම් තිබුනේ අපූරුම හැකියාවක්.“ සඳුනි වෙනුවෙන්ම කැපවු ඇයගේ සිහින, යථාර්තයක් කරමින් සිය දියණිය වු සදුනි ජයග්රහන රැසකට උරුම කියන්නට වාසනාවන්ත වි තිබිණ.
සඳුනි කැලනිය විශ්ව විද්‍යාලයෙන් චිත්‍ර, මනෝ විද්‍යාව, සහ රූපවාහිනි සිනමාව කැමරාකරණය යන විෂයන් ත්‍රිත්වය ඇතුලත් විෂයයන් උපාධියට කර ඇත. සඳුනිගේ චිත්‍ර අතිශය සුන්දරය. ඇය අපුරුවට ග්‍රැෆික් ඩිසයිනින් කරන්නේ ය. වයස අවුරුදු 11 දි ලයනල් වෙන්ටඞ් හීදි සහ 2009 දි කලා භවනේදි ඇය චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්නට හැකි වුයේ සිය චිත්‍ර ගුරුවරුන්ගෙන් ලැබු ශිල්පීය දැනුම නිසා ය. ජෝ දඹුලුගල, රවින්ද්‍ර සර්, පුලස්ති එදිරිසිංහ, ජයන්ත තිසේරා ගුරුවරුන් මෙන්ම සිය නර්තන ගුරුවරුන්ගේ ඉගැන්විම් නිසා ය. ඇය දෙතොල් සොලවමින් මෙම තොරතුරු අපුරුවට කියන්නට උත්සහ කරන්නි. අම්මාගේ ද සහය ඇතිව ය.
සඳුනිට ඇය ගැන ලියනවාට වඩා කියන්නට අවශ්‍ය තමන්ට ශක්තිය ධෛර්ය දුන් පිරිවර ගැන ය. සිස්ටර් ග්‍රේටා ගැන ය. ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ තමන් සමග අධ්‍යාපනය හැදෑරු යහලු යෙහෙලියන් ගැන ය. ඔවුන්ගෙ දෙමාපියන්ගේ සෙනෙහස ගැන ය. විශ්ව විද්‍යාලයේ මිතුරු රෑන ගැන ය. ඔවුන්ගේ සහෝදරත්වය, මනුස්සකම ආදරය සෙනෙහස ගැන ය. අම්මාගේ ආදරය ගැනය. කෝකිලා විතානගේ නැන්දා ගැනය. වචනවලින් ඒවා කියන්නට අසීරු වුවද සිනාසෙන ඇයගේ දෑස ඒ සියල්ල පවසන්නීය.
ග්‍රැෆික් ඩිසයිනින් කෙනෙකු ලෙස රැකියාව කළ සදුනි දැන් රැකියාවක් කරන්නේ නැත. සිය හැකියාවන්ට දක්ෂතාවයන්ට සාධාරණයක් ලැබෙන රැකියාවක් කරන්නට ඇය බලා සිටින්නිය. ඒ සියල්ලට වඩා සිය නිර්මාණ එකතු කරමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට ඇය මේ දිනවල සුදානමින් වන්නීය.
ජිවිතයේ මේ තරම් දුර දුවව අරන් ආව වගේ ඉතිරි දුරත් මම දුවව අරන් යනවා. මේ වගේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට මම කියන්නේ ජිවිතේ කවදාවත් වැටෙන්න එපා කියලා. ඒ සියලු අභියෝග ආදරෙන් බාර ගන්න කියලා. මාලනි අක්කා දමයන්ති නංගි වගේම පවුලේ සහෝදර සහෝදරියන්, ඒ අයගේ දරුවන් හැමෝගෙම ආදරය නිසා මේ ගමන එන්න පුලුවන් වුණා. ඇත්තටම අද මම මගේ දුව ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බර වෙනවා. සඳුනිගේ අම්මා අසිමිත දරු සෙනෙහසින් පවසන්නීය.
ගී ගයනවා හැර අන් සියලු කලා කටයුතුවලට ඇය දක්ෂ ය. ගීත කිහිපයකම රූප රචනාවන්ට ඇයගේ සුවිශේෂි රුව රංගනය එක්කර තිබිණ. කලා ලොවේ තව බොහෝ දුර ගමනක් යන්නට ද ඇය බලා සිටින්නීය. ඒ සියල්ල මැද සිය උසස් අධ්‍යාපනය තව දුරටත් කරගෙන යන්නට ද ඇය අදිටන් කරගෙන සිටින්නිය.
අපි සඳුනිට සුබ පැතුවෙමු. රිදි තිරයෙත්, පුංචි තිරයෙත් නිලි තරුව, උදාවෙන හෙට දවසේ ජිවිතය පාට පාටින් වර්ණවත් කරන්නට සිතුවම් කරන්නට හැකි වේවා යැයි පුංචි සිත්තරාවියට හැකි වේවා !!
පද්මිණි මාතරගේ