අසරණයින්ට සරණ වෙන නිරෝගා නිවහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අසරණ මිනිසුන් වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ කැපවුණ සමාජ සේවකයෙක් කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු විය. ඔහු නමින් ජාතික ගෞරව සම්මානලාභි ජයන්ත ලක්මාල් වීරසුරිය මහතාය. දැනට විවිධ සමාජ සත්කාරයන් රැසකටම පුරෝගාමීව ඉදිරිපත් වී ඇති ඔහු වර්තමානයේ හඳපාන්ගොඩ, නිරෝගා වැඩිහිටි නිවහනේ සභාපතිතුමන් ලෙසද කටයුතු කරමින් සිටියි.

ඔබ සමාජ සේවයට යොමු වුණේ ඇයි?

මුලින්ම කියන්න ඕනා දෙයක් තියෙනවා. මගේ පියා ගැන. ඔහු අප අතරින් සමුගත්තේ මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිය කාලේ. මගේ පියාට මම ගොඩක් ආදරේයි. ඔහු අපේ පවුල වෙනුවෙන් ගොඩක් කැපවිම් කළා. නමුත්, මම තරුණයෙක් වෙලා රැකියාවක් කරලා පිළිවෙළක් වෙන්න කලින් ඔහු අප අතරින් වෙන්වුණා. ඒක මගේ හිතට තදින්ම බලපෑවේ මගේ පියාට තිබුණ ආදරේ තරමට මට ඔහුට හරියට සළක්නන බැරිවුණ නිසා. අන්න ඒ කාරණය තමයි මාව සමාජ සේවයට යොමු වෙන්න හේතුවක් වුණේ. මගේ ගම මැදිගිරිය, පොළොන්තරුව. නිතරම වගේ මම කොළඹ එනවා විවිධ සමාජ සේවා කටයුතු වෙනුවෙන්. ඒ එනකොට වයසක අය දකිනවා හිසට සෙවණක් නැතුව තැන් තැන්වල නැවතිලා ඉන්නවා. ඒ නිසා මට හිතුණා මගේ පියා වෙනුවෙන් අසරණ වුණ වැඩිහිටි අය වෙනුවෙන් යමක් කරන්න. ඔය අදහස පෙරදැරි කරගෙන තමයි මම හඳපාන්ගොඩ නිරෝගා වැඩිහිටි නිවාසය ආරම්භ කරන්න පටන් ගත්තේ.

මේ වැඩිහිටි නිවාසය ගැන තොරතුරු කිව්වොත්?

මේ නිවහන ආරම්භ කළේ මම නිරෝෂා රණසිංහත් එක්ක. ඒ වගේම මතක් කරන්න ඕනා මැදිරිගිරිය කොට්ඨාසයේ හිටපු තරුණ සේවා නිලධාරි තිලක් බණ්ඩාර මහතා. ඔහු තමයි මාව සමාජ සේවයට යොමු කරන්න මුලීකවම කටයුතු කරපු කෙනා. ඔහුගේ සේවා කාලයේදී මට දුන්න පුහුණුව, අත්දැකිම්, උපදෙස් මේ සියල්ල මුලීක කරගෙන තමයි මම මේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න ගත්තේ. අපිට තිබුණ ලොකුම ගැටළුව තමා මේ වැඩේ පටන් ගන්න තැනක් හොයාගන්න ඒක. කොළඹ ස්ථාන කිහිපයක් බැලුවත් වැඩිහිටි නිවාසයකට තැනක් දෙන්න කවුරුතු කැමති වුණේ නැහැ. කොහොම හරි අපට 2016 වසරේදී නිවසක් ලැබුණ හ ඳපාන්ගොඩ ප්‍රදේශයෙන්. ශාන්ත කියලා හමුදා සේවයේ වැඩ කරපු මහත්තයෙක් තමයි අපිට ඒක දුන්නේ කිසිදු මුදලක් අය නොකර.

මෙතැන කොපමණ වැඩිහිටියෝ පිරිසක් ඉන්නවාද?

වැඩිහිටියෝ කියලා නැහැ. මනස වැඩිලා නැති අය වගේම ආබාධ වලින් පෙළෙන අය ඉන්නවා. ඊට අමතරව අසරණ වෙලා කාත් කවුරුත් නැති නිරෝගි වැඩිහිටියන් කිහිප දෙනෙකුත් මේ නිවහනේ ඉන්නවා. මේ නිවාසයට අපි වයස අවුරුදු 30න් ඉහළ අයව ගන්නවා. ගැහැණු පිරිමි, තරුණ වැඩිහිටි කියලා භේදයක් නැහැ. දැනට මෙහි 28 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට 35 දෙනෙකුට නවතින්න ඉඩ පහසුකම් මේ නිවහන තුළ තියෙනවා. දැනට අපි අලුත් අයව සම්බන්ධ කරගන්නේ නැත්තේ රටේ තියන ආර්ථික තත්ත්වයත් එක්ක අපට මේක කරන්න අපහසු වෙලා තියෙන හින්දා.

මේ නිවාසය නඩත්තු කරගන්න මුදල් හදල් ලැබෙන්නේ?

මෙතැනට වාර්ෂිකව හා මාසික දාන ලබාදෙන පිරිස් ඉන්නවා. ඒ අය මේ නිවාසයේ ඉන්න අයට බෙහෙත් වර්ග සනිපරාක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් සුළුවෙන් ලබා දෙනවා. ඊට අමතරව තවත් පිරිස් ඇවිල්ලා පුළුවන් විදිහට අපිට මේ වැඩ ටික කරගෙන යන්න උදව් උපකාර කරනවා. මෑතකදී මේ නිවහට අලුත් බුදුමැදුරක් හැදුවා විදෙස් ගතව සිටින ශ්‍රීමති ජයන්ති පෙරේරා මහත්මිය මැදිහත් වෙලා. ඇය තමයි දැනට මේ නිවහනේ ප්‍රධාන දායිකාව ලෙස කටයුතු කරන්නෙත්. එතුමිය හැම මාසයකම වගේ දානමය පිංකමකුත් කරනවා. ඇත්තටම මේ නිවහන පවත්වාගෙන යන්න එතුමිය ලබාදෙන දායකත්වය ගොඩක් වටිනවා. නිතරම වගේ ඇය මේ නිවහනේ තොරතුරු සොයලා බලනවා. මාව පවා දිරිමත් කරනවා අපි ඉදිරියට මේ දේවල් කරමු කියලා. ඇය මේ වැඩවලට ලබා දෙන දායකත්වය ඇත්තයම අගය කරන්න තරම් වටින එකක්. ඊට අමතරව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රංගන ශිල්පිනි දුලීකා මාරපන මහත්මිය හා සංජය වෙදාරච්චි මහත්මයා. අලුතින් ඉඳිවු බුදුමැදුර හා දාන ශාලාවට ඔවුන් දෙදෙනාගේ දායකත්වයත් ලැබුණා.

මේ නිවාසය වැඩි දියුණ කරන්න අදහසක් ඔබේ තියෙනවා නේද?

දැනට මගේ එකම අරමුණ තමයි වැඩිහිටියන් සියයක් සඳහා මෙහි රැකවරණය ලබා දෙන්න. ගොඩක්ම අසරණ වෙලා ඉන්න. දරුවෝ සළකන්නේ නැති වැඩිහිටියෝ පමණක් නෙවෙයි විවාහ වෙලා නැති අය හා විවාහ වෙලා දරුවෝ නැති අයට මේ නිවහට පැමිණෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ආබාධිත අයටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට උදව් කරන පිරිස ගොඩක් අඩුයි. නිතරම වගේ මේ නිවහනට පැමිණෙන හා දානමය කටයුතු සිදු කරන පිරිස් තමා අපිට උදව් කරන්නේ. ඒ අයත් ලොකු ධනපතියෝ නෙමෙයි. ඉතින් මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා මේ තැනට උදව් උපකාර කරන්න කැමති අය ඉන්නවා නම් අපත් සමග සම්බන්ධ වෙන්න කියලා. අපේ තැන තියෙන්නේ හඳපාන්ගොඩ, පන්සල පාරේ. අංක 156, බී, 02 කියන ස්ථානයේ. එතැනට ඇවිල්ලා බලලා මේ නිවහන ගැන අවබෝධයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ 0779845203 දුරකථන අංකයට අමතලා තොරතුරු විමසන්නත් පුළුවන්.

බුද්ධික සේනාධීර