අවුරුදු 21ක මට දැන් ලොකු දුවක් ඉන්නවා - මම ඇය නිළියක් වෙනවට කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ගෑනියෙක් මිනිහෙක් එක්ක කතා කරත් දික්කසාද කරන මිනිස්සු ඉන්න මේ රටේ ඒ මනුස්සයා මගේ හැම කුණුහරුපයක්ම ඇස් පනාපිටම දැකලයි මට කැමති වුණේ.

එහෙව්  මිහිනෙක්ට බොරු කරන්නේ කොහොමද බං.....

ඇය ඇයට  නොලැබුණු නිදහස, ආදරය  සොයා ගිය ගමනේ අපායකට ඇදවැටුණ අසම්මතේ ගැහැණියයි.

‘මේ ජීවිතෙන් වැටෙන්න තව අපායක් මට නැහැ. ඒකෙන් මාව ගොඩට  ඇදලා ගන්නව නම් ආයේ ඒ අපායට මාව තල්ලු කරන්නෑ කියලා උඹ මට පොරොන්දු වෙයං.

සිරීගෙන් ලැබිච්ච ආදරයට සුද්දි ඒ තරම්ම ලෝබයි.

එයා දැන් බැඳලා.

මෙය සත්‍යයක්. එහෙත් මේ සත්‍ය කෙදිනකවත් එළිපත්තට නොඑන වග විශ්වාසයි. ප්‍රතිභාපූර්ණ  සිනමාවේදයකු වන ප්‍රසන්න ජයකොඩි නම් සිනමාවේදියාගේ 28 සිනමා පටය ඔබ නැරඹුවා නම් එය සුද්දිගේ ජීවිතේ පිළිබඳ කියවන හොඳම හෘද සාක්ෂියයි.

හුදු විනෝදය බොළඳ ආදරය සපයන ටෙලි නිර්මාණ අතර දශක දෙකකට පසුව පුංචි තිරය ආමන්ත්‍රණය කරන ප්‍රසන්න ජයකොඩිගේ ‘එයා දැන් බැඳලා’ තැබිය හැක්කේ මේ කාලයේ වින්දන පරාසය තුළ බිහිවූ අග්‍රගණයේ නිර්මාණයක් ලෙසය.

28 සිනමා නිර්මාණය හරහා දූෂණය කොට මරා දැමුණු සුද්දිගේ සැබෑ ප්‍රේමය මුණගැහෙන අතීතය ගැන ‘එයා දැන් බැඳලා’ නිර්මාණය තුළින් කතා කරන ඇය අපේ කාලයේ ගැහැණියයි.

මේ කාලෙකට පස්සේ සුද්දි එක්ක කරලියට එන ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩයි.

වෙනස් රූපවලින් වෙනස් පාටවලින් වෙනත් වචනවලින් කරලියට එන සුද්දිගෙන්ම අපි කතාව පටන් ගමු.

‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය හැදෙන්නේ ප්‍රසන්න ජයකොඩි මහත්මාගේ ‘28’ චිත්‍රපටයේම දිගුවක් ලෙස. අවුරුදු 22කට පස්සේ තමයි ප්‍රසන්න ජයකොඩි මහත්මා එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය කරන්නේ. චිත්‍රපටයක් වෙනුවෙන් ලියපු මේ පිටපත  එතුමා අතින්ම ටෙලියක් වෙන්නේ අහම්බෙන්.

මේ ටෙලි නාට්‍යයේ රූගත කරීම් කළේ කොරෝනා දරුණුම කාලේ ගලහ කියන ප්‍රදේශයේ මීට අවුරුදු 2කට කලින්.

මේ සුද්දිට කලින් ‘28’  සුද්දි ගැන කතා කරන්නම ඕන. සුද්දි කියන්නේ මේ සමාජයේ පීඩාවට පත්වෙලා හෙම්බත් වුණ ගැහැණියක්. එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ ජීවමාන සුද්දිට වඩා දූෂණය කරලා මරලා දාපු සුද්දි මේ සමාජයට ඇත්ත කතා කළා. අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයකුට බැහැ. ඒක තමයි ඇත්ත. 28 චිත්‍රපටයේ මම කළේ කොළඹ එන සුද්දිට අත්වන ඉරණම. එහි මල මිනියක් ලෙස රඟපාන එක ඉතාම අසීරු කාර්යයක් වුණා.

‘28’ සිනමා කෘතිය හරහා දූෂණය කරලා මරපු සුද්දිව එයා දැන් බැඳලා ටෙලි නිර්මාණය හරහා ඒ සුද්දි ජීවමාන කරන්න ලැබීම ලොකු  සතුටක්.

ඒ අත්දැකීම ඔබට දැනුනේ කොහොමද?

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය හරහා කතා වෙන්නේ සුද්දිගේ විවාහයට පෙර ජීවිතය. සුද්දිව ජීවමාන කරන්න ඇත්තටම ලේසි වුණේ නැහැ. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂකවරයාගේ හිතේ ඇඳුන සුද්දිව එළියට ගන්න ඔහු දැකපු සුද්දිව ජීවමාන කරන්න ලොකු කැපවීමක් දරන්න වුණා.

සුද්දි හරහා සමාජයට මොකක්ද මේ කියන්න උත්සාහ ගත්තේ?

කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය කියන සමාජයේ හැංගුන ලිංගිකත්වය ආශාව ඇතුලේ තෙරපෙන තිරිසන්කම නිසා ගැහැනියකට මුහුණ දෙන්න වුණ ඉරණමක් ගැන. සුද්දිගේ ජීවිත කතාව හරිම ඛේදනීයයි. සුද්දි කියන්නේ පියා අහිමි වීමත් එක්ක තමන්ගේ මව සමග ජීවත් වෙන අහිංසක කෙල්ලෙක්. මුලින්ම අම්මගේ දෙවෙනි මිනිහා අතින් ඇය දූෂණයට ලක්වෙනවා. පිරිමි එක්ක ඇයට කරට කර වැඩ කරන්න වෙනවා. කාලෙකදී ඇයට නොලැබුණ ආදරය ඇයට සොයාගන්න ඕන වෙනවා. නිදහස සොයා යන්න ඕන වෙනවා. ඒ නිදහස සොයා යන ගමනේ ඇය අසම්මතේ කාන්තාවක් වෙනවා.

ඇයට නොලැබුණ ආදරය සෙනෙහස හරිම අහම්බෙන් සිරීගෙන් ලැබෙනවා. සුද්දිලා සිරීලා ඕනතරම් මේ සමාජයේ ඉන්නවා. හැම ගැහැණියකටම තමන්ගේ ජීවිතේ කතාවක් තියෙනවා. ඒ කතා සමාජය බොහෝ දෙනා දකින්නේ පිළිකුල් විදියට. සුවහසක් සුද්දිලා වෙනුවෙන් මට පෙනී සිටින්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.

ලිංගිකත්වය කියන මාතෘකාව ගොඩක් දෙනා එළිපිට කතා කරන්න කැමති නෑ බයයි. ලිංගිකත්වය කුණුහරුපයක් කියලා සිතන් ඉන්න නිසා තමයි රටේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩි වෙලා තියෙන්නේ. ප්‍රසන්න අයියලා වගේ අධ්‍යක්ෂවරු මේ වගේ මතෘකා යම් සංවරයක් ඇතුව එලිපිට කතා කරන්න ගන්න උත්සාහයම සමාජයට යහපතක්. ගෑණු වරදේ බැඳෙන්නේ පිරිමියා නිසා. මම සුද්දි වගේ කාන්තාවන්ව පහත් කරලා හෙලා දකින, අවතක්සේරු කරන, ඒ අයට නින්දා කරන කෙනෙක් නෙමෙයි. මම සුද්දිට පණ දුන්නෙත් ඒ නිසාමයි. මොකද ඇයටත් තියෙනවා කතාවක්.

කොහොම වුණත් සේමිණි ඉද්දමල්ගොඩ කියන චරිතය පුංචි තිරයට එන්නේ කාලෙකට පස්සේ.

ඇත්තටම ඔව්. ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයා මුණගැහෙන්නේ අවුරුදු 7 කට විතර පස්සේ. හේතුව මට පසුගිය  කාලෙම චිත්‍රපට වෙනුවෙන් කාලය වෙන් කරන්න වුණා. අනිත්  කාරණය මම මෙගා රැල්ලේ නිර්මාණවල වැඩ කරන්න කැමැත්තක් නැති නිසා ටෙලි නාට්‍යවලින් ටිකක් ඈත්වීමක් වුණා. විශේෂයෙන් මෙගාවල කරන හතු පිපෙනවා වගේ චරිත එක දිගට පිටපත් නැති ටෙලි නාට්‍යවල වැඩ කරන්න මම කැමති නැහැ.

කලාව ඇතුලේ සීමාවන් පනවා ගැනීම රංගන ජීවිතේට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?

මම ටෙලි නාට්‍ය නොකරනවා කියන තීරණේ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් මගේ කැපවීමට හොඳ වටිනාකමක් දෙනවා නම් මම ඒ නිර්මාණ භාර ගන්නවා.

හොඳ නිර්මාණ පිටපත් නැත්නම් කරන රංගනයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැත්නම් කලාව ඇතුළේ කුලීකාරයෙකුගේ තත්ත්වයට වැටෙන්න මම කැමති නැහැ. අවුරුදු 7ක් මම ටෙලිනාට්‍යවල වැඩ නොකර හිටියේ ඒකයි.

එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයට පස්සේ හොඳ පිටපත් දෙක තුනක වැඩ කළා. ඒ නිර්මාණත් ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි.

ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ චිත්‍රපටයෙන් පස්සේ සිනමාව පැත්තෙනුත් ඔබ නිහඬ වුණාද?

නැහැ. ටෙලි නාට්‍ය නොකරම මම චිත්‍රපට කළා. ‘28’ චිත්‍රපටයෙන් පස්සේ චිත්‍රපට 3ක වැඩ කළා.

ඉරබට තරුව’ ටෙලි නාට්‍යයෙන් පටන් ගත්ත කලා ගමන ඇතුළේ මේතාක් කරපු නිර්මාණ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

අවංකවම මම තෘප්තිමත්. පසුතැවෙන්න, දුක්වෙන්න මට කාරණා නැහැ. සිනමාව, වේදිකාව, පුංචි තිරය තුළ මම කරපු නිර්මාණ ඇතුළේ මගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා.

ජීවිතේ සතුටින්ද?

සතුට ආදරය මට ජීවිතේ අඩුවක් නැතුව ලැබුණ දෙයක්. හැම මොහොතක්ම මම උත්සාහ කරන්නේ හිනාවෙලා සතුටින් ඉන්න. අවුරුදු 21ක මට දැන් ලොකු දුවක් ඉන්නවා. අම්මෙක් විදිහට මට ඊට වඩා සතුටක් කොයින්ද?

දුවත් අම්මාගේ අඩි පාරේ යයිද?

නැහැ. එයා කලාවට සම්බන්ධ වෙන්න කැමති නැහැ. දැන් දුව උසස් අධ්‍යාපනය හදාරනවා. මමත් ඇය නිළියක් වෙනවට කැමති නැහැ.

නදීශා අතුකෝරළ /  ඡායාරූප - සජීව ලක්ෂාන්