අවුරුදු තුනකට විතර කලින් පළවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන් තමයි කතාවට අදහස ආවෙ
රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල යනු ලොව පැරණිතම සිනමා උළෙලකි. එහි තරගකාරී අංශයට චිත්‍රපටයක් තේරීම යනු සැබැවින්ම දුර්ලභ අවස්ථාවකි. පසුගිය කාලයේදී විටින් විට මෙම උළෙල නියෝජනය සඳහා ශ්‍රී ලාංකීය නිර්මාණ ඇතුලත් වුවද ලාංකීය සිනමා පටයක් මෙම උළෙල තරගකාරී අංශයට තේරී ඇත්තේ වසර 39කට පසුව පමණය. එලෙසින් තේරි පත්ව ඇති සිනමා නිර්මාණය වන්නේ සම්මානනීය තරුණ සිනමාකරුවකු වන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටයයි. අවසන් වතාවට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් තරගකාරී උළෙල නියෝජනය කර ඇත්තේ 1983 වසරේදීය. ඒ නැසීගිය ආචාර්ය, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තයයි. එයින් පසුව මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ තරගකාරී වටයට ‘මාරියා’ තේරී ඇති මොහොතක එම චිත්‍රපටය නිර්මාණය කළ අපූර්වත්වය පිළිබඳව අධ්යක්ෂ අරුණ ජයවර්ධනගෙන් අසා දැන ගැනීමටයි මේ සූදානම.
‘මාරියා’ හදන්න මුල් වූ විදිය ගැන මුලින්ම කියමු
අවුරුදු තුනකට විතර කලින් පළවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන් තමයි කතාවට අදහස ආවෙ. ඉන්දුනීසියාවේ ධීවරයින් පිරිසක් මුහුදේ එයාලගෙ ධීවර කටයුතුවල යෙදී සිටි අවස්ථාවක ලොකු පාර්සලයක් මුහුදේ පාව එන අයුරු එයාලා දැකලා තිබෙනවා. පසුව ඒ පාර්සලය එයාලගෙ බෝට්ටුවට අරගෙන ලිහලා බලද්දී ඒක කාන්තාවකගේ ඉටි රූපයක්. විශාල බෝනික්කෙක් වගේ කිව්වොත් හරි. ඉන්පසුව තමයි කතාව ගලාගෙන යන්නේ. ඒක තමයි මම මේ ‘මාරියා’ හදන්න මුල්කර ගත්ත වස්තු බීජය වුණේ.
මේ බෝට්ටුවේ ධීවරයින් හත් දෙනෙක් ඉන්නවා. නායකයාගෙ නම ‘විලී’. ඒ චරිතය රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා, බෙනට් නමැති ධීවරයාගෙ චරිතය රඟපාන්නේ ප්‍රියන්ත සිරිකුමාර එයා මේ පිරිසේ දෙවැනියා වගේ ඉන්නේ. හේමාල් රණසිංහගෙ නම ඇන්තනී. එයා තරුණ ධීවරයෙක්. දසුන් පතිරණ රඟපාන්නෙ ‘මාලන්’ ලෙස. හැබැයි එයා මේ පිරිසේ ඉන්න ධීවරයෙක් නෙවෙයි. මිනිහට ඕනෑ ඔස්ට්‍රේලියාවට පැනල යන්න. එයා මේ පිරිස එක්ක ඉන්නෙ ඒ අදහසින්. අශාන් ඩයස් රඟපාන්නෙ ‘ඩයියා’ නමැති චරිතයයි. ඊළඟට දර්ශන් ධර්මරාජ් සහ සුරන් දසනායක අනෙක් ධීවර චරිතවලට දායක වෙනවා. මේ පිරිස එතෙක් ධීවර රස්සාව කළේ බොහොම සතුටින්. නමුත් මේ කාන්තා ‘ඉටි රූපය’ ලැබුණට පස්සේ මේ අයගෙ තිබූ සාමූහිකත්වය සුහදත්වය සියල්ල නැතිව යනවා. බාහිර දේ අපි අපේ ඇඟට ඔළුවට දාගත්තම වෙන්නෙ මොනවද කියන දේ තමයි ප්‍රකාශ වෙන්නෙ.
මේ චිත්‍රපටයේ ඒ කතාව ගෙනියන්නෙ පිරිමි රංගන ශීල්පීන් 7ක් විතරයි. ඇයි ඒ වගේ දෙයක් කළේ.
පිරිමි හත් දෙනෙක් හිටියට මේ විශාල බෝනික්කිය (කාන්තා ඉටි රූපය) කියන්නෙත් එක්තරා සළකුණක්. අපි අපේ රට ගනිමු. හැකිතාක් පිටින් එන දේ අරගෙන ඒවා අපේ කර ගන්නනෙ බලන්නෙ. ඒ නිසා මුහුණ දෙන ප්‍රශ්න බොහෝමයිනෙ. අපේ සමාජය ඒ නිසා මුහුණ දෙන විනාශයන් බොහෝමයි. ඉතින් ඒ නිසා මේ බෝනික්කිය සළකුණක් කරගෙන පිරිමි රංගන ශිල්පීන් (කොහොමටත් ධීවර රස්සාවට මුහුදු යන්නෙ පිරිමිනෙ) විතරක් යොදා ගත්තේ.
මේ චිත්‍රපටය ඒ විදියට මුහුද මැදනෙ ෂූටිං කළේ? කොහෙද ඒ වෙනුවෙන් යොදා ගත්තේ?
මීගමු මුහුදු වෙරළ තීරයේ සිට මුහුද මැදට වන්නට තමයි අපේ ප්‍රධාන දර්ශන තලය තැනුවේ. ඒක ගොඩබිම දර්ශන තලයක් වගේ නෙමෙයි. තනිකරම බහුදින ධීවර යාත්‍රාවක්. ඒක තමයි අපේ ප්‍රධාන දර්ශන තලය. මේ බෝට්ටුවට අමතරව අපි නතර වුණේ මුහුද මැද නවතා තැබූ යොට් (yacht) යාත්‍රාවක. රංගන ශිල්පීන් සියලු දෙනා නතර වුණේ ඒ යාත්‍රාවේ. ඒ විදියෙම තවත් යාත්‍රාවක් තබා ගත්තා ආහාරපාන තබා ගන්න සහ අවශ්‍ය කැමරා ආම්පන්න ඇතුළු සියලු දේ තබා ගන්න. ඊට අමතරව ගොඩබිම සිට ආහාර පාන මුහුද මැද ඇති එම යාත්‍රාවලට රැගෙන ඒමට තවත් යාත්‍රාවක් භාවිතා කළා. දින 22ක් මේ විදියට අපි මුහුද මැද හිටියේ. රංගන ශිල්පීන් හත්දෙනා ඇතුළු පිරිස සම්පූර්ණයෙන්ම වගේ දින දහයකට වඩා හිටියෙ මුහුද මැද.
යාත්‍රාවක මුහුද මැද රාත්‍රියක් ගත කිරීම වෙනස්ම අත්දැකීමක්නෙ. ඒ විදියට දින ගණනාවක් ගත කළ විදියම එකතකට හරි පුදුමයි නේද?
සැබැවින්ම ඔව්. රංගන ශිල්පීන් වේෂ නිරූපණ ශිල්පියා සහ මම හිටියේ එක් යාත්‍රාවක. නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙකුත් හිටියා. නිෂ්පාදන කණ්ඩායමේ පිරිස සිටියෙ ගොඩබිම. උදේට අවශ්‍ය සියලු දේ සම්පාදනය කරගෙන එයාලා රූගත කරන දර්ශන තලයට ආවා. මේ චිත්‍රපටයේ ගීතයක් තියෙනවා. කලින් අහලා තියෙන සුරංගනිට මාළු ගෙනාවා ගීතය. ඒක වෙනස් සංගීතයට වෙනස් විදියට මේ චිත්‍රපටයට ඇතුළත්. රාත්‍රියට මුහුද මැද ඇත්තටම හරිම සුන්දරයි. කතාබහ කරමින් සිංදු කියමින් රාත්‍රිය ගත වෙනවා. පසුවදා උදේ අවදි වුණාම ආයෙත් ෂූටිං පටන් ගන්නවා. මේ නළුවන් පිරිස තනිකරම ධීවරයන් බවට පත්වූ අවස්ථාවක් කිව්වොත් හරි.
කොහොම වුණත් යාත්‍රාවක මුහුද මැද සිටීම ගෙන දෙන්නෙ බියක් මිස සතුටක් නොවෙයිනෙ?
එක් දවසක සුළඟ වැඩිවෙලා යාත්‍රාව වෙනදාට වඩා පැද්දෙන්න පටන් ගත්තා. හැබැයි එදා නම් අපේ සංගීත අධ්යක්ෂ චින්තක ජයකොඩි තරමක් බය වුණා. ඒත් ඒක අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. ඒක අපි විඳ දරා ගත්තා. සමහර දිනවලදී විතරක් අද මට යන්න ඕනැ බං කියලා මහේන්ද්‍ර පෙරේරා අයියා නම් ගොඩබිම ඉඳලා පහුවදා ආයෙත් දර්ශන තලයට ආවා.
එතකොට කෑම බීම නිතරම ගොඩ බිමින් ගේන්න බැහැනේ. කොහොමද මුහුද මැද ගත කළ ජීවිතයේදී ආහාරපාන සකසා ගත්තේ?
අපේ යාත්‍රාවෙ සියලු පහසුකම් තියෙනවා. අපි කෑම හදා ගත්තා. ඒ වෙනුවෙන් සූපවේදියෙක් හිටියා. අශාන් ඩයස්ට එහෙම හොඳ රසට කෑමත් හදා ගන්න පුළුවන්නෙ.
මුහුද මැදදි අද්භූත දේ දකින්න ලැබෙනවා කියලා සමහරු කියනවනෙ. ඒ වගේ දේ දුටුවේ නැද්ද?
විශ්වාස කරන්න. අපි මේ බහුදින යාත්‍රා සහ අපේ නවාතැන් ගත් යාත්‍රා නවතා තිබුණේ ගොඩ බිමින් කිලෝමීටර් 50ක් විතර එහාට වන්නට ගොඩබිම නොපෙනෙන සීමාවක. හතර වටේ මුහුද විතරයි පේන්නෙ. සමහර අවස්ථාවලදී මුහුදට පනින්න තිබුණා. ඒ අභියෝගය බාර කළාම කිසිදු පැකිලීමකින් තොරව හේමාල්, අශාන් ඩයස් සහ දසුන් පතිරණ බාර ගත්තා. ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් ආරක්ෂාවට යොදා තිබුණත් ඒ වගේ ජීවිත අභියෝගයක් නළුවන් ගැනීම ඉතා විරල දෙයක්. කොහොම වුණත් දර්ශන් ධර්මරාජ් නම් නිතරම ඒ විදියට පනින්න ගියේ නැහැ. අවශ්‍යම දර්ශනයට විතරයි එයා මුහුදට පැන්නෙ. එක් වතාවක හේමාල් යට ගියා. එයාට දාපු ලණුවත් එයාට අතරුණා. ඒත් ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපි කාටවත් ඒ ගැන ලොකු අත්දැකීම් තිබුණෙ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපට දර්ශන රූගත කරන්නෙ විශාල ස්ටුඩියෝවල. ඒත් ඒ අයට ඒ පහසුකම් නැහැනෙ. අපිට ඒ තරමටම වත්කමක් නැහැනේ. ඉතින් අපි මුළු පිරිසම එක් කණ්ඩායමක් ලෙස එක පවුලක් වගේ එකමුතුව තමයි මේ ගේම් එක ගැහුවෙ.
මෙච්චර අවදානමක් දරාගෙන ඇයි අධ්යක්ෂවරයකු ලෙස ඔබ මේ අභියෝගය බාර ගත්තේ? ඇත්තටම මේක ඉතා අවදානම් සහිතව කළ බව තමයි පෙනෙන්නේ?
මේ කතා සංකල්පය එක්ක මම මගේ කණ්ඩායම එක්ක කතා කළා. හේමාල් ගත්තොත් එයා රඟපාන පළමු වාණිජමය නොවූ චිත්‍රපට රංගනය මේක. ඇන්තනිගෙ චරිතය. ඒත් එයා ෂූටිං කරන්නට පෙර ත්‍රිකුණාමලයට එහෙම ගිහින් පුරුදු පුහුණු වෙලා මාරම කැපවීමක් කළා. අනෙක් සියලුම ශිල්පීන් පවා එහෙමයි. ඒ හැමෝම කැමති වුණේ මේ කතා සංකල්පය නිසයි. චන්න දේශප්‍රිය එයාගේ සුපුරුදු කැමරා හයෙන් විශ්මිත ක්‍රියාන්විතයක් කළ බව කියන්න පුළුවනි. අපි කවුරුවත් එක අඩියක්වත් පස්සට ගත්තෙ නැහැ. මේක කරමු කියන ඒකායන අරමුණ තමයි හැමෝටම තිබුණේ.
සඳුන් ගමගේ