අල - තක්කාලි උඩ දදා උයන අමුතු සූපවේදියා
අපි වගේම අපි අවට ඉන්න අයත් හැමදාම කරන්නේ සුපුරුදු දෛනික රාජකාරි. ඒ අතර හිටපු ගමන් අපි දකිනවා, කෙනෙක් ටිකක් වෙනස් දෙයක් කරනවා. ඒ වැඩේ ටිකක් ''අමුතු වැඩක්'' නිසාම, ඒ වැඩේ කරන කෙනාව අපි ''අමුතු චරිතයක්'' විදිහට හඳුනාගන්නවා. අදත් ''අමුතු චරිත'' විශේෂාංගයෙන් අපේ රටේ තවත් අමුතු වැඩක් කරන අපූරු තරුණයෙක් පිළිබඳ තොරතුරු බෙදාගන්න අපි කල්පනා කළා.
මේ තරුණයා සූපවේදියෙක්. ඇත්තටම මේ වෙනකොටත් ලංකාවේ ගොඩක් දෙනෙක් ඔහුව දන්නවා. සමාජ මාධ්‍ය ඇසුරු කරනවා නම්, ඔබ වරක් හෝ ඔහුව දැක ඇති. ඔහු නමින් චරිත් එන්. සිල්වා.
චරිත් කියන්නේ තමන් උගත් සූප ශාස්ත්‍රය ප්රාසාංගිකව ලෝකයට ඉදිරිපත් කරන අපූරු චරිතයක්. චරිත්ගෙ ඉවුම් පිහුම් සම්බන්ධ කෙටි වීඩියෝ ටික්ටොක්, ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍යවල දැන් අවුරුද්දක විතර ඉඳන් බහුල වශයෙන් සංසරණය වෙනවා.
ඇත්තටම ලංකාවේ විතරක් නෙවෙයි, චරිත් කියන මේ අපූරු ශ්‍රී ලාංකික තරුණයාට විදේශ රටවලත් රසික සමාජයක් ගොඩනැගෙමින් තියෙන්නෙ. ඒ ගැන විස්තර අපි ඉස්සරහට කියන්නම්. චරිත් දකුණේ බලපිටිය ප්‍රදේශයේ තරුණයෙක්. අධ්‍යාපනය ලබලා තියෙන්නෙ බලපිටිය රේවත ජාතික පාසලෙන්. චරිත්ට තවත් සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා.
කාලෙක ඉඳන් ලංකාවේ තරුණියෝ චරිත් කියන මේ අපූරු තරුණයාට ලොකු කැමැත්තක් දක්වනවා. චරිත් කියන්නෙ තරුණියන් අතර ක්‍රෂ් එකක්. මොකද, නළුවෙක්, ගායකයෙක් නොවුණත් චරිත් කියන්නෙ තරුවක්.
චරිත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණ කතාව ටිකක් විතර දිගයි. අපි කෙටියෙන්ම කිව්වොත්, අද තරුණ පරම්පරාවේ ගොඩක් දෙනෙක්ම වගේ චරිත්ගෙත් පළවෙනි උත්සාහය දියත් වුණේ යූටියුබ් මාධ්‍ය ඇතුළේ. ලංකාවේ හෝටලයක සූපවේදියෙක් විදියට වැඩකරන ගමන් වීඩියෝ කිහිපයක් නිර්මාණය කරලා වරින්වර ඔහු යූටියුබ් එකට එකතු කළා. නමුත් ඒකම නෙවෙයි ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂය වුණේ.
කාලවේලාව මදිපාඩු සහ වෘත්තීය රාජකාරි කටයුතු නිසාම එක්තරා අවස්ථාවක ටික්ටොක් තමන්ගෙ වේදිකාව විදිහට චරිත් තෝරගන්නවා. ආරම්භයේදීම මිත්‍රයෙක් එක්ක එකතුවෙලා කරපු ටික්ටොක් වීඩියෝවක් මිලියනයක විතර පිරිසක් නරඹනවා. විදෙස් රටක කෑම වර්ගයක් තමයි චරිත් මෙතැනදී හදන්නේ. ඒ රටෙනුත් බොහොම ප්‍රතිචාර ලැබෙනවා මේ වීඩියෝවට. ඉතින් ඊටපස්සෙ හරිම වේගෙන් ටික්ටොක් එක ඇතුළෙ චරිත්, චරිතයක් බවට පත්වෙන්න පත්වුණා.
චරිත් කියලා කියන්නේ බොහොම ප්‍රියමනාප තරුණයෙක්. ඔහුගේ පෙනුමත් විලාසිතාවක් හැකියාවක් එකිනෙක මුසුවුණාම අමුතු රසයක් නිර්මාණය වෙනවා. රූපවාහිනියෙ වගේම යූටියුබ් ඇතුළෙත් කෑම හදන අය දහස් ගණනක් ඉන්නවා තමයි. ඒත් චරිත් හැමෝටම වඩා වෙනස්.
තක්කාලි ගෙඩි අලගෙඩි උඩදාලා වැඩදාලා කපලා කොටලා අලුත් පරපුරේ ගීතයක් පසුබිම් වාදනය කරගෙන කෑම උයන චරිත්ට තරුණියන් පිස්සු වැටෙනවා. චරිත්ගෙ වැඩවල ලොකු ලොකු දිග පැහැදිලි කිරීම් හරිම අඩුයි. ඔහු වගේම ඔහුගෙ කෑමත් දැක්කම හරිම ප්‍රියමනාපයි. ඒ වගේම තව වැඩ කිඩ කෝටියයි. දවසක් ලංකාවේ ප්‍රසිද්ධ නිළියකුත් කියලා තිබුණා ''චරිත් වගේ කෙනෙක්ව විවාහ කරගන්න තිබුණ නම්'' වගේ කතාවක්. මේ තරුණයාට තියෙන ඉල්ලුම එතැනින්ම හිතාගන්න පුළුවන් ඉතින්.
මේ අපූරු තරුණයා සූපශාස්ත්රයට කැමැතිවෙන්න නැඹුරුවෙන්න පටන් ගත්තේ ඔහුගෙ සහෝදරයෙක් නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. සහෝදරයත් සූපවේදියෙක් වුණ නිසා ඔහු වැඩකරපු රටට යන්න අපේක්ෂා ඇතිව තමයි චරිත් සූපශාස්ත්‍ර ඉගෙනගෙන තියෙන්නෙ.
පස්සේ කාලෙක තමා සමාජ මාධ්‍යයේ චරිත් චරිතයක් වෙන්නෙ. ඒ අනන්‍යතාවය ගොඩනගාගන්න මිත්‍රයෝ හතරදෙනෙකුගේ විශේෂ උපකාර ලැබිලා ඔහුට තියෙනවා. ඒ වගේම ඔහු සේවය කරපු ආයතනවලත් ඔහුගේ ඉහළින් හිටපු සූපවේදීන්ගේ සහායක් චරිත්ට ලැබුණු බව ඔහු කියලා තියෙනවා.
මේ ප්‍රාසාංගික සූපවේදියා තරුණ වයසෙ හිටියත්, ලංකාවෙ වගේම විදෙස් රටවලත් සූප ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් ඔහුට තියෙනවා. වර්තමානයේදී චරිත් සිදුකරමින් ඉන්න කලාව, ලෝක මට්ටමින් සිදුකරන අය පිළිබඳවත් ඔහු තුළ ඇල්මක් උනන්දුවක් ඇති බව කියන්න ඕනෑ.
ඔහු කොතරම් සුවිශේෂිද කියන කාරණාවට සාක්ෂි දෙන්න පුළුවන් චරිත් උපයාගත ගත්ත දේවල් වලින්ම තමයි. ටික්ටොක් එක ඇතුළේ විතරක් මිලියන තුනක් අධික පිරිසක් ඔහුගේ Wild Cook Book ගිණුම අනුගමනය කරනවා. ඒ වගේම ටික්ටොක් ඇතුළේ මිලියන 34ක විතර ලයික් ප්‍රමාණයක් දැනටමත් ඔහු නමින් ලියැවිලා තියෙන්නේ.
චරිත්ගෙ යූටියුබ් නාලිකාවක් මිලියන දෙකකට අධික පිරිසක් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. යූටියුබ් ඇතුළේ බිලියන හතකට කිට්ටුවෙන්න වීව්ස් ප්‍රමාණයක් චරිත්ට තියෙනවා. තවත් විස්තර කිව්වොත් මුහුණු පොතේ මිලියනයක ෆ්ලෝවස්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ලක්ෂ දෙකක විතර ෆ්ලවර්ස්ලා චරිත්ට ඉන්නවා. මේ සියල්ලම ඔහුගේ උපයා ගැනීම්.
ඇත්තටම චරිත් කියලා කියන්නේ දේශීය සන්නාමයකට වඩා ජාත්‍යන්තර සන්නාමයක් දරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක්. සමාජ මාධ්‍ය ඔහු අනුගමනය කරන්නේ ශ්‍රී ලාංකිකයන් විතරක් නෙවෙයි. ඒක බොහොම පැහැදිලියි. ආසියානු කලාපයේ වගේම යුරෝපය අයත් ඔහු දිහා බලාගෙන ඉන්නවා. කොහොම නමුත් ඇත්තටම චරිත් එන් සිල්වා ප්‍රාසාංගික සූපවේදියෙක් විදිහට කරළියට ඇවිල්ලා තාමත් ඉතාම සුළු කාලයක් විතරයි ගතවෙලා තියෙන්නේ. ඉතින් තව ඔහුට කාලය තියෙනවා.
අපිට තේරෙන විදිහට තමන්ගේ ශාස්ත්‍රය තුළ තවත් බොහෝ දේවල් ඉගෙන ගනිමින් ඉහළටම යන්න මේ අපූරු තරුණයා කැමතියි. ඒ වගේම අපි හිතන විදිහට ඔහු සතු තරු ගුණයත් එක්ක මේතාක් ලංකාවේ සූපවේදියෙක් නොගියපු දුරක් චරිත්ට යන්න පුළුවන්. ඉතින් අවසානයේදී අනාගත ලෝකයේ හැඩතල අඳුනගෙන යාවත්කාලීන වෙමින් චරිත් යන ගමනට අපි සුභ පැතුම් එක්කරනවා.
නිසල්