අලි ගහලා මිනිස්සු මැරෙනවා, මිනිස්සු නිසා අලි මැරෙනවා, මේකට හේතුව අලි නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය කෙරෙන, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘කුංචනාද’ ටෙලිනාට්‍යය සඳහා කතාව පාදක කරගෙන ඇත්තේ අලි-මිනිස් ගැටුම සම්බන්ධවය. එහි ප්‍රධන චරිතයකට දායකව සිටින චමීර ලියනගේ රංග ශිල්පියා සමග අපි කතාබහකට එක්වෙමු. ‘කුංචනාද’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට අමතරව විකාශය වන ගඟන පියවර, කෝලම් කූට්ටම යන නාට්‍යවල චරිත රඟපාන ‘චමීර’ මේ පිළිසඳරට එක්වූයේ අලි-මිනිස් ගැටුම ගැන කියැවෙන කුංචනාද නාට්‍යය සහ එහි ඔහු දායක වූ චරිතය ගැන විස්තර කීමටය. 

චමීර කොහොමද ඉතින්?

“හොඳයි, හොඳයි. මේ දවස්වල පොඩ්ඩක් බිසී වුණා. අවුරුදු උත්සව ඇතුළු අවුරුදු සමයේ වැඩ කටයුතු එක්ක බිසී වුණා. ගෙදර අය එක්ක තමයි වැඩිපුර කාලය ගත වුණේ. සතුටුයි ඒ ගැන.”

ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක බොහෝ දෙනෙක් මේ දිනවල කතා වන්නේ ‘කුංචනාද’ නාට්‍යය සහ එහි චරිත ගැන. අපි ඒ ගැන කතා කරමු. මෙහි ඔබගේ චරිතය ගැන අපට කියන්නෙ කොහොම ද?

“ගමේ අන්ත දුප්පත් කොල්ලෙක්. අම්මා මහන්සි වෙලා උගන්වලා ඒ පුතාව කැම්පස් යවන්න උත්සාහ ගන්නෙ. ඒත් එයාව කැම්පස් තේරෙන්නෙ නැහැ. ඒ වුණාට හොඳ දැනුමක් තියෙන ගමේ කොල්ලෙක්. පසුව ඔහු ගොවිතැන් කරන්න පටන් ගන්නවා. ඒ අතරේ නගරයෙන් ආ කාන්තාවක් සමග ඇතිවන සංවාදයක් සහ කතාවක් හැටියට තමයි කුංචනාද නාට්‍යය විකාශය වෙන්නේ. පරිසරය ගැන සතා සීපාවා ගැන සහ බොහෝ දේ ගැන මේ දුප්පත් තරුණයාට ඉතා හොඳ දැනුමක් තියෙන්නේ. කැම්පස් නොතේරුණාට, ගිය කෙනකුට හා සමානවම දැනුමක් ඇති අයෙක්. මතක විදිහට මේ නාට්‍යය රූගත කළේ 2020 කාලයේදී වගේ.”

චමීරගෙ කී වැනි නාට්‍යය ද මේ?

“මේ වන විට ටෙලිනාට්‍ය හතළිහක හෝ හතළිස් පහකට ආසන්න සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. 2011 දී මම ටෙලිනාට්‍ය රංගනයට ආවේ. 2013 දී කොළඹ අහසේ ප්‍රධාන චරිතයක් කළා. නැගී එන නළුවාට නිර්දේශ වුණා. ඒ විදිහට නාට්‍ය බොහොමයක රඟපෑවා. මේ අතරින් වැඩිපුර මා ගැන කතාබහ වුණේ කොළඹ අහස සහ වෙස් නාට්‍ය නිසා.” 

අපි නැවතත් කුංචනාද නාට්‍යයේ චරිතය ගැන කතා කරමු. එහි ඔබගේ මව හැටියට රඟපාන්නෙ ප්‍රවීණ රංග ශිල්පිනි ශ්‍රියානි අමරසේන. ඇය සමග රඟපෑමට පෙර ඔබ ඇය ඉස්සර රඟපෑ නිර්මාණ නරඹලා තිබුණා ද?

“ශ්‍රියානි අමරසේන මැඩම් එක්ක රඟපාන්න ලැබීම මම මගේ රංගන ජීවිතයේ ලැබූ ලොකුම පිනක්, භාග්‍යයක්. එතුමියගෙ නිර්මාණ නරඹලා තියෙනවා. මේ චරිතයේදී එතුමිය මට ලබාදුන් සහයෝගය ඉහළින්ම අගය කළ යුතුමයි. ශ්‍රියානි අමරසේන මැඩම්ට මම හරිම ආදරෙයි. එතුමියගෙ පුතා විදිහට රඟපාන්න ලැබුණු ඒ චරිතයට මම මගේ සාධාරණය කළ බව කියන්න පුළුවනි. කුංචනාද නාට්‍යය නරඹන බොහෝ දෙනා මගෙන් අහන්නෙ ඉස්සරහට මේ නාට්‍යයේ මොකද වෙන්නෙ, මේ අලි ප්‍රශ්නයට මොකද වෙන්නෙ කියලයි.” 

ඉතින් ඒ අලි ප්‍රශ්නය ගැන මොකද ඔබට හිතෙන්නෙ?

“මේක ඇත්තටම ලංකාවෙ තියෙන ප්‍රශ්නයක්නේ. මොන රජය ආවත් මේ අලි ප්‍රශ්නය විසඳලා නැහැනේ. විසඳුම් ඕනෑ තරම් තියෙනවා. ඒත් විසඳුම් දෙන්නෙ නැහැ. මම දන්නෙ නැහැ ඇයි විසඳුම් දෙන්නෙ නැත්තෙ කියලා? ඔය නාට්‍යය කරන කාලයේදීත් ඔය ප්‍රශ්නය මම කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. අලි ගහලා මිනිස්සු මැරෙනවා, මිනිස්සු නිසා අලි මැරෙනවා. මේකට හේතුව අලි නෙවෙයි. ඒ සතුන්ගෙ භූමිය මිනිස්සු අයිති කරගෙන. මේ ලෝකය මනුස්සයින්ගේ ලෝකය විතරක් නෙවෙයි. මිනිස්සු කොටු කරලා ඉන්න කැමැති ද? සත්තුත් කැමැති නැහැ. සත්තු බලන්නෙ නිදහසේ ඇවිදින්න, කෑම සොයා යන්න. ඒත් මිනිස්සු එයාලගෙ සීමාවට ඇවිත්. කුංචනාද නාට්‍යයේ කියැවෙන්නෙ සම්පූර්ණයෙන් ඒ කතාව.” 

ශ්‍රියානි අමරසේන ප්‍රවීණ රංග ශිල්පිනිය ඇයගේ පුතා විදිහට ඔබ රඟපාද්දි ඔබට ලබාදුන් ලෙංගතුකම මොන වගේ ද?

“මම උපන්නෙ 1990 දී. එතුමියගෙ නිර්මාණ පසු කාලීනව නරඹන්න අපට ලැබුණා. ඒ නිර්මාණවලට ඇය දක්වා ඇති දක්ෂතා බලද්දි මම ඇයව දකින්නෙ ලෙජන්ඩ් එකක්, නැති නම් තවත් විශිෂ්ට රංගවේදිනියක් ලෙසයි. ඇයගෙ පුතා වීම ඇත්තටම භාග්‍යයක්. මගේ වැරැද්දක් දැක්කොත් ඒක මට කියා දුන්නා. පුතේ මෙහෙම රඟපෑවා නම් හොඳයි කියලා කිව්වා. අද කාලයේ රංගන ක්ෂේත්‍රයේ සිටින සමහරක් අය එහෙම කියන්නෙ නැහැ. එයාලා බලන්නෙ එයාලගෙ චරිතය ගොඩදාගන්න. ඒත් නිර්මාණයක රඟපෑම යනු හරියට ක්‍රිකට් මැච් එකක් වගෙයි. ඔක්කෝම හරියට ලකුණු ගත්තොත් තමයි තරගය දිනන්නෙ. ඒ වගේම ඔක්කෝමලා හොඳට රඟපෑවොත් තමයි නාට්‍යය සාර්ථක වෙන්නෙත්. තනියම හයිලයිට් වෙලා ගොඩ යන්න බැහැ. ශ්‍රියානි අමරසේන මැඩම් මට මගේ චරිතය කරන්න මාරම සපෝර්ට් එකක් දුන්නෙ. ඒ සපෝර්ට් එක නැත්නම් මේ චරිතය මෙච්චර සාර්ථක වෙන්නෙ නැහැ. සම්මාන ගත්ත පලියට ලෙජන්ඩ්ස්ලා වෙන්නෙ නැහැ. ශ්‍රියානි අමරසේන මැඩම් කියන්නෙ කෙනෙක්ව රංගනයෙන් හදන්න පුළුවන් ලෙජන්ඩ් කෙනෙක්. ඒ වගේම ඇයගෙ තියෙන අපරිමිත නිහතමානීකම.”

ෂූටිං අතරවාරයේදී ඇය සමග කතාබහ කළ දේ මොනවා ද?

“ෂූටිං අතරතුර එතරම් විවේකයක් තිබුණෙ නැහැ. ඒත් අපි කෑමට හරි වාඩි වුණාම කතා කළේ ඒ නිර්මාණය ගැන සහ අලි ප්‍රශ්නය ගැන. ඒ වගේම අලි සිටින පළාතක ෂූටිං තිබුණෙ. අලිත් එක්ක ගනුදෙනු කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයිනෙ. අනුරාධා තමයි අලි එක්ක ළඟින්ම වගේ රූගත කිරීම්වලට හිටියෙ. ඉතින් ඔයා බය නැද්ද කියලා ඇහුවාම මොකට ද බය වෙන්නෙ, අපි අලින්ට කරදරයක් නැත්නම් අලි අපට කරදර කරන්නෙ නැහැ කියලා තමයි ඇය කිව්වෙ. ඒ නිසා අපට අලින්ගෙන් කරදර වුණෙත් නැහැ.”

‘කුංචනාද’ නිසා වෙන මතකයන් මොනවා ද? 

“එක් වතාවක් අනුරාධාව වඩාගෙන දුවන දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒ දර්ශනයේදී වැටුණා. තව පොඩ්ඩෙන් ඇයට තුවාල වෙනවා. ඒත් මම කොහොම හරි බේරා ගත්තා. අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගෙ මෙහෙයවීම හරිම විශිෂ්ටයි. මට හමු වූ තවත් හොඳම අධ්‍යක්ෂවරයෙක්. මාව ඒ චරිතයට ගත්තට ඔහුට ස්තුති කළ යුතුයි.” 

මේ නාට්‍යයේ රඟපෑම එක්ක අලි-මිනිස් ගැටුම විසඳන්න ඔබ සමාජයට කියන පණිවුඩය මොකක් ද?

“මගේ විසඳුම නම් අපි තවදුරටත් එයාලගෙ කැලෑව අත්පත් කරගැනීම කළ යුතු නැහැ. එවිට එයාලගෙ ජීවත් වීමේ සීමාව තවත් අවම වෙනවා. ඒ නිසා නිදහසේ අලින්ට ජීවත් වීමට ඇති පරිසර රක්ෂිත කරලා හරි ඒ වන සම්පත වගේම අලි සම්පත අපි රැක ගන්න ඕනෑ. රක්ෂිත කළොත් කාටවත් එක ගහක්වත් කපන්න බැහැනෙ. මම වනජීවී නිලධාරියකු ලෙස සේවය කළොත් අනවසරයෙන් එකෙකුට එක ගහක්වත් කපන්න දෙන්නෙ නැහැ. අලියාට එයාගෙ සීමාව දීලා අපි අපේ සීමාවෙ හිටියොත් මේ ප්‍රශ්නය විසඳේවි. අලියා කියන්නෙ මාරම අහිංසක සතෙක්. මිනිස්සු මරලා කොටියා වගේ මිනිස්සු කන්නෙ නැහැනෙ. අලියා කියන්නෙ පරිසරයේම කොටසක්. අලියාට තියෙන දුක එයාගෙ පරිසරය නැති වීමයි.”

චමීර විවේකයක් ලැබුණාම ලංකාවේ මොන වගේ පළාත්වලට ද යන්නෙ?

“මම ආස ඇල්ල සහ රිවර්ස්ටන් වගේ පළාත්වලට යන්න. ඒ නිදහසට සහ ඒ පරිසරයට මම හරිම ආසයි.”

ඒ විදිහට ජීවිතේ ගෙවන චමීරට ජීවිතේ සතුට ආදරය බෙදා හදාගන්න සමීපතම හිතවතියක් ඉන්නවා ද?

“හිටියා. දැන් අවුරුදු එක හමාරකට කලින් ඒ සම්බන්ධය නතර වුණා.”

ඒ ප්‍රේමය නැති වීම සහ අද ඔබට ඒ ගැන දැනෙන විදිහ?

“ඒක කාරණා දෙකක්. අනේ එයා හිටියා නම් කියලා වෙලාවකට හිතෙනවා. තවත් වෙලාවකට හිතෙන්නෙ කමක් නැහැ, එයාගෙ ලෝකෙ එයා හොයාගෙන ගියාවෙ, මගේ ලෝකෙ මම ජීවත් වෙනවා කියලයි. තද කරගෙන අල්ලගෙන සිර කරගෙන ජීවත් වෙන්න බැහැ. අපි දෙන්නා නොගැළපෙනවා නම් හොඳම දේ තමයි අපි සුහදව කතා කරලා අයින් වීම. අපි තරහා වෙලා මිනී මරාගෙන ඉවත් නොවී අපේ නොගැළපීම වටහාගෙන සුහදව වෙන් වීම හරි සුන්දර දෙයක්.”

අදටත් ඇය හමු වුණාම චමීර ඇය සමග කතා කරනවා ද?

“ඇයි නැත්තෙ? අනිවාර්යයෙන්ම කතා කරනවා. අපි සුහදව කතා කරලා මම ඇයගෙ නළලට කිස් එකකුත් දෙනවා. මේ මෑතකදී හමු වුණාම ඇයව හග් කරලා නළලට කිස් එකකුත් දුන්නා. අපි අවුරුදු අටක් ආදරෙන් ඉඳලා වෙන් වුණාය කියලා කිසිම වෛරයක් නැහැ. සැබෑ ආදරය කියන්නෙ පිවිතුරු ආදරය කියන්නෙ සුන්දරම හමු වීම වගේම ඒ හා සමානවම වෙන්ව යාමයි.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ