අල්පොන්සු කියන චරිතයට මම හරිම ආසයි. ඔහු මම දැකපු සැබෑම ආදරවන්තයෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය හරිම සැහැල්ලුය. සරලය.
තම ජිවිතයෙන් හොඳම කොටසට සතුට පමණක් රැගෙන
වලාකුළක් තරම් සැහැල්ලුවට පාවෙන්නීය.
"නෝරා" වලාකුළු නම් සැහැල්ලු යුවතියයි,
ඇය ගැන නොව නෝරා ගැන ඇය අකුරු කර තිබුණේ එලෙසය.

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ජානු ටෙලිනාට්‍යයේ චරිත අතරට අලුතින්ම එකතු වුණ ඇය තමයි නෝරා. ජානු ​ෙටලි නාට්‍යයේ නෝරාට පණ දෙන නවක රංගන ශිල්පිනියක් වන ඉෂිනි විජේසිංහ යොවුන් පරපුරේ දක්ෂ ලේඛිකාවක්ද වෙනවා. 

ඇත්තටම කවුද මේ නෝරා....

මම හෙට්ටිආරච්චිගේ නෙත්මිකා ඉෂිනි විජේසිංහ. වයස අවුරැදු 22යි. මම පදිංචි වෙලා ඉන්නේ උදම්මන. අධ්‍යාපනය හැදෑරුවේ නිමල මරියා බාලිකා විදුහල තුඩැල්ල. දැනට වැඩිදුර අධ්‍යාපනයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. පවුලේ ඉන්නේ අම්මායි, අත්තම්මායි, අක්කායි,මමයි විතරයි.  

මේ වෙනකොට ඉෂිනි රැකියාවක් කරනවද?

ලොකු කාලයක් වෙන් කරලා තියෙන්නේ රංගන කටයුතුවලට තමයි. රංගනය වගේම මම ආසම දේ තමයි ලිවීම. මම ලේඛිකාවක විදිහටත් ඒ කටයුතු වලත් නියැළී ඉන්නවා. මගේ රැකියාව විදිහට ලිවීමයි රංගනයයි දෙකම කරගෙන යනවා. ඇත්තටම මගේ ගෙදර අය සහ ළගම හිටපු යාළුවෝ කිහිප දෙනෙකුගේ උනන්දුව මත මම 2023 අයි ටී එන් අවුරුදු කුමරිය තරගයට අයැදුම් කරන්නේ. ඒ තුළින් මගේ ජීවිතේ ගොඩක් තැන් නොසිතපු විදිහට වෙනස් වෙනවා. 

ඒ කියන්නේ ඉෂිනිටත්  රංගනයට වාසනාව ගෙනාවේ අවුරුදු කුමරිය  තරගය ද? 

ඇත්තටම ඔව්.  2023 අයි.ටී.එන් නාළිකාවේ අවුරුදු කුමරිය තරඟයෙන් තමයි මම කලාවට පිවිසෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ පවුලේ අය සහ මගේ ළඟම හිටපු කිහිප දෙනෙක්ව. ඔවුන් හිටියේ නැත්නම් ඉෂිනි කියන කෙනාව ප්‍රේක්ෂකයෝ දැනගන්නේ ලේඛිකාවක් විදිහට විතරයි. අවුරුදු කුමාරි තරගයේ අවසන් 12 දෙනා අතරට එන්න මට වාසනාව ලැබුණා. අවුරුදු කුමරි තරගය ඉවර වෙලා මාස එකහමාරකට පස්සේ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරළෙන්නේ. ඒ තමයි ජානු ටෙලි නාට්‍යයේ රංගනයට ලැබුණ අවස්ථාව.  මගේ ජීවිතේ හැරවුම් ලක්ෂදෙකක් තිබුණා එකක් පොතක් එළිදක්වන දවස, දෙවෙනි එක තමයි අවුරුදු කුමාරි තරගය. 

ඉෂිනිට කොහොමද නෝරා වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

මට මේ චරිතය ලැබෙන්නේ පාර්ශ්ව තුනක මැදිහත් වීමකින්. ජානු අධ්‍යක්ෂතුමා සහ ජානු පිටපත ලියන සිනෙත් කවිරාජ අයිය වගේම අනිත් කෙනා තමයි දුලින. අධ්‍යක්ෂතුමා දවසක් මට කිව්වා ජානු ටෙලි නාට්‍යයේ චරිතයකට අපි තෝරගෙන ඉන්නවා .චරිතේ නම කුරුදු මිස් තිර පරීක්ෂණයට කැමතිද කියලා. ඒ වෙනකොට චරිතෙට හරියට නමක් තෝරගෙන ඉඳලා තිබුණේ නැහැ. 

කුරුදු මිස් නෝරා වුණේ කොහොමද? 

නෝරා වලාකුළු කියන නම පෞද්ගලිකව ජානු නාට්‍යයට එන්න කලින් ඉඳලා මගේ ලේඛන කලාවට භාවිතා කරපු නම. අවසානයේදී අධ්‍යක්ෂක තුමා කිව්වා කුරුදු මිස් නෙමෙයි චරිතයට නෝරා වලාකුළු කියන නමම භාවිතා කරමු කියලා. චරිතෙට මගේම නම ලැබුණම මම ගොඩක් ආස වුණා. ඒ වගේම මගේම නම නිසා නෝරා මට ආගන්තුක බවක් දැනුණෙත් නැහැ.  නෝරා වලාකුළු ජානු නාට්‍යයට ආවේ ඒ විදිහට.

කතාවේ නෝරාව මට දැනුණේ හරි ලස්සනට. නෝරයි ඉෂිනියි කියන්නේ තැන් කිහිපයක් ඇරුනම එක සමාන චරිතයක්. 

ජානු ටෙලි නාට්‍යට එන්න කලින් ඔබ එහි රසිකාවයක්ද?

ඇත්තටම ඔව්. මුල ඉඳලාම මම ඒ ටෙලිනාට්‍යය බැලුවේ සමරක්කොඩි අයියා නිසා. අල්පොන්සු කියන චරිතයට මම හරිම ආසයි. ඔහු මම දැකපු සැබෑම ආදරවන්තයෙක්. මම ජානු ටෙලි නාට්‍යයේ හොඳ රසිකාවියක් වෙලා ඉන්න මොහොතක තමයි එහි ප්‍රධාන චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක ලොකු සතුටක්. 

ඇත්තටම දැන් නෝරාට  අල්පොන්සුට ආදරේ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.? 

ඒකනම් ඇත්ත. හැම දේම රසවත් වෙන්නේ කුතුහලය තියෙන කොට ඒ නිසා  මොකද වෙන්නෙ කියලා ඉස්සරහටම බලමු .

කොහොමද ඔබේ ලේඛන කලාවේ වැඩ කටයුතු.?

මේ මොහොතෙත් මම කැමති මාව රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වනවට වඩා ලේඛිකාවක් ලෙස මාව හඳුන්වනවට. එහෙම වෙන්න හේතුව මගේ පටන් ගැන්ම එතන නිසා වෙන්න ඇති. මම ලේඛිකාවක් වෙන්නේ මට වයස අවුරැදු 18 දි. මම අවුරැදු 18 ඉඳන් ලිව්වාත් මුලින්ම මගේම පාඨක පිරිසක් හදාගන්නේ  මුහුණු පොත හරහා නවකතා ලියලා.  

2019 ඉඳලා මේ වෙද්දි මම මුහුණු පොතට නවකතා පොත් එකොළහක් පමණ  ලියලා තියෙනවා. මම ලියපු නවකතාවලින් ආසම නවකතාව "රාග වේදනා" ඒක පොතක් විදිහට එළියට ගේනවා. ඒ පොතේ තමයි නෝරා ඉන්නේ. ජානු එකේ ඉන්න නෝරයි පොතේ ඉන්න නෝරායි දෙන්නෙක්. හරිම වෙනස්. පාරවල් දෙකක නෝරලා දෙන්නෙක්.

මේ දවස් ටිකේ නම් ජානු ටෙලි නාට්‍යයේ රූගතකිරීම් එක්ක ලිවිම ටිකක් අතපසු වෙලා තියෙනවා. පහුගිය ටිකේම මගේ පාඨකයෝ කතාව කෝ කියලා ඇහුවා. ඒත් පුළුවන් හැම මොහොතකම මම පාඨකයින්ට කතාවක් ලියන්න උපරිම උත්සාහ කරනවා. ලේඛන කලාවෙන් තමයි නෝරා එළියට එන්නේ .ඒ ලේඛන කලාව තමයි මගේ ජීවිතේ සහ මගේ ජීවිතේ එකම ආශීර්වාදය. 

සැබෑ ජීවිතේ නෝරා කොයි වගේ කෙනෙක් ද? 

සරල ,පාඩුවේ ඉන්න හැබැයි ටිකක් ගුප්ත චරිතයක්. සමහර වෙලාවට මට මාවම හොයාගන්න අමාරු අවස්ථා තියෙනවා. 

නෝරා ඇත්ත ජීවිතේ ආදරේ දකින්නේ කොයි විදිහට ද?  

මම ආදරේ සොයාගෙන යන ගමන්. තාම විශේෂ කෙනෙක් නම් හමුවෙලා නැහැ. හැබැයි හිතේ ඇඳිලා තියෙන රූපයක් නම් තියෙනවා. මගේ ලෝකේ මාත් එක්ක නිදහසේ ඉන්න කැමති කෙනෙකුට තමයි මම කැමති.

දිගටම කලාවේ රැඳෙන්න ද බලාපොරොත්තුව?

ඔව් .මම රංගන ක්ෂේත්‍රයට ගොඩක් ආසයි. ඒ ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලස්සනට පිළිවෙළට ගියොත් මේ ගමනේ ඉදිරියත් ගොඩක් ලස්සනයි . ඒ ගමන ලස්සන කරගන්න දේවල් ඉගෙන ගන්න ඕන. කැමැත්තෙන් ආසාවෙන් කරන දේවල් මිනිස්සු අත්හරින්න ලෝබයිනේ . ඒ හැදෑරීම කරගෙන යන අතරතුර  හොද නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.   නෝරාට ආදරය කරන හැම දෙනාටම ආදරෙයි. එහෙනම් ආදරෙන් බලාගෙන ඉන්න ඉදිරියටත් මාව ආදරෙන් බාරගන්න. වෙනස් විදිහේ චරිත කිහිපයකින් ඉදිරියේදි එන්න බලාපොරොත්තු වෙනවා.

නදීශා අතුකෝරළ