අයියෝ රඟපාන්න ලෙහෙසියි කියලා අපි හිතුවට ඒක කියන තරම් ලෙහෙසි නැහැ- සුහන්දි වෝසදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q අපි ඔයාට මෞලි කියන්නද... සුහන්දි කියන්නද?

“මෞලි" කියන නමටත් මම ආසයි. දැන් සමහරු මට "මෞලි" කියලා තමයි කතා කරන්නේ. හැබැයි මගේ නම සුහන්දි උපෙත්මා වෝසදී.

Q මේ දවස්වල මෞලිව මිනිසුන් දකින්නේ "see you “ටෙලිනාට්‍යයෙන් නේද?

ඔව් see you ටෙලිනාට්‍යයේ මගේ චරිතයේ නම මෞලි. ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන සඳුන් බණ්ඩාර නිෂ්පාදනය කරන see you  ටෙලිනාට්‍යයේ මෞලි කියන ගැහැනු ළමයා වත්තක ජීවත් වෙන්නේ. අම්මයි එයාගෙම නොවෙන එයාගේම අයියයි එක්ක මෞලි හැදෙන්නේ. අයියාට ගොඩක් ආදරේ කරන කටකාර, අයියා වටා ගෙතුණු චරිතයක් තමයි මෞලි කියන්නේ.

Q සුහන්දි මෞලි වුණේ කොහොමද?

මෞලි කියන්නේ සුහන්දිට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. මෞලිගේ ඇවිදිල්ලේ ඉඳන් එයා කතා කරන, එයා පාවිච්චි කරන වචන, හැමදේම වෙනස්. සුහන්දි එහෙම කෙනෙක් නෙවේ. හැබැයි මම මෞලි කියන චරිතයට හරි කැමතියි. මෞලි කියන්නේ හරි අව්‍යාජ ගැහැනු ළමයෙක්. ඉතින්  මට මෞලි වෙන්නට අවස්ථාව ලැබෙන්නේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමා නිසයි.

Q ඔබ ඔහුගේ "වීණාවී" ඇකඩමියෙන් රංගනය පිළිබඳ හැදෑරුවද?

ඔව්.. ධනුෂ්ක අයියගේ නාට්‍ය වැඩමුළුවකට මම සහභාගි වුණා. ඒ නිසා මේ සම්බන්ධව නොදැන සිටි මට බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ මේ වගේ චරිතයක් තියෙනවා කියලා ඔහු මට මේ චරිතය බාර දුන්නා. ඇත්තටම මෞලි කියන්නේ මට අභියෝගයක්.

Q සුහන්දි රංගනයට එකතු වෙන්න  කැමැත්තෙන්ද  හිටියේ?

ඔව්... මම රංගනයට එකතු වෙන්න පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියේ. මට මතක ඇති කාලෙක ඉඳන් මට ඒ හීනය තිබුණා. පුංචි කාලේ "කවුරු වෙන්නද ආසා" කියලා ඉස්සර කවුරු හරි ඇහුවොත් මගේ බලාපොරොත්තුව වුණේ "නිළියක් "වෙන්නයි. ඒ හීනය තාමත් එහෙමමයි.

Q ඔබගේ පවුලේ කවුරු හෝ මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියද?

එහෙම කවුරුවත්  කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒ නිසාම මම නිළියක් වෙන්න ආසා කළේ ඇයි කියලා මම දන්නේ නැහැ. සමහරවිට රූපවාහිනෙන් දැකලා මටත් නිළියක් වෙන්න ආසා හිතෙන්න ඇති. මගේ ආච්චි ගුරුවරියක්. ඒ නිසා ඉස්සර මම නිළියක් වෙන්න ආසයි කිව්වාම ආච්චි "නැහැ... නැහැ... ඔයා හොඳට ඉගෙන ගන්න. හොඳ රස්සාවක් කරන්න ඕනෑ" කියලා කිව්වා. හැබැයි දැන්නම් ඒ හැමෝම මම රංගනයට එකතු වීම ගැන සතුටුයි.

Q සුහන්දිගේ පවුලේ විස්තර ටිකක් කියමු?

මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි නංගියි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඉතින් මගේ රංගන කටයුතුවලට වගේම හැම කටයුත්තකටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.

Q See you නිර්මාණයට පෙර ඔබ තවත් නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණා?

ඔව්.. see you කියන්නේ මම දායක වුණු තුන්වැනි ටෙලිනාට්‍යයි. මම මුලින්ම 1990 ටෙලිනාට්‍යයට දායක වුණා. දෙවනුවට "මන්දාරමේ කතාව" ට සම්බන්ධ වුණා. ඒක අධ්‍යක්ෂණය කළෙත් ධනුෂ්ක රත්නායකයි.

Q පළමු රංගනය රූපවාහිනියෙන් දකිද්දී අපූරු අත්දැකීමක් නේද?

අනේ ඔව්... මම මුලින්ම රංගනයෙන් දායක වුණේ වෙළෙඳ දැන්වීමකටයි. ඒකෙ මම ගොඩක් පොඩි කොටසකට තමයි සම්බන්ධ වුණේ. හැබැයි ඒ වෙළෙඳ දැන්වීම මුලින්ම රූපවාහිනියෙන් දකිද්දී මට පුදුම සතුටක් දැනුණා. මාව හරියට පේන්නෙත් නැහැ. හැබැයි මම ඒකට පුදුම විදිහට ආසා කළා. ඒ පොඩි කොටසකින් පටන් ගත්ත වෙළෙඳ දැන්වීමෙන් රංගනයට එකතු වෙන්න මගේ තිබුණු ආසාව තවත් වැඩි වුණා. ඒ නිසාම මට  ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනෑ වුණා. ඒ නිසාම මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා.

Q පුංචි කාලෙදී තිබුණු හීනයත් එක්ක ආසාවට රංගනයට එකතු වුණාට, විෂය ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයේ නියැලෙද්දී ඒක හිතන තරම් පහසු නැහැ නේද?

ඇත්ත... රූපවාහිනියෙන් දැකලා "අයියෝ... රඟපාන්න ලෙහෙසිනේ" කියලා අපි හිතුවට "ඒක කියන තරම් ලෙහෙසි නැහැ" කියලා තේරෙන්නේ අපි රංගනයට එකතු වෙද්දී සහ ඒ විෂය ඉගෙන ගනිද්දියි. ඇත්ත චරිතයෙන් මිදිලා වෙන චරිතයකට යද්දි ඒ චරිතේ හිටපු කෙනා වෙන්නෙ කොහොමද කියන දේ හරි අමාරුයි. එකම කාලෙ චරිත දෙක තුනක් කරද්දිත් ඒක අමාරුයි. මෞලි කියන්නේ මම මීට පෙර රංගනයෙන් දායක වුණු චරිතවලට වඩා වෙනස් චරිතයක්.

Q තවත් නිර්මාණවලට දායක වෙන්න සුහන්දිට ආරාධනා ලැබිලද තියෙන්නේ?

මීට පෙර මම කරපු නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා.

Q ඔබ ඉගෙන ගත්තෙ මොන පාසලේද?

මම මුලින්ම ඉගෙන ගත්තේ ශාන්ත ප්‍රුන්සිස් විදුහලේ. ඊට පස්සේ මම සපුගස්කන්ද විශාඛා බාලිකා විදුහලට ඇතුළත් වුණා. එම පාසලේදී මම නර්තනය හැදෑරුවා. ඒ නිසාම බොහෝ වෙලාවට මම නැටුම් පන්තියේ තමයි හිටියේ. හැබැයි ඒ හැමදේම කළත් මම ඉගෙන ගත්තා. මොන දේ කළත් මගේ හිත තිබුණේ කලාවටයි. ඉතින් එදා වගේම අදටත් මගේ ආසාව මේ කලාවයි. මම තාම ආධුනිකයි. තව බොහෝ දේවල් මට ඉගෙන ගන්න තියෙනවා. හදාරන්න තියෙනවා. ඒ හැමදේම ඉගෙන ගන්න මම හරි ආසයි.

I දිශානි ජයමාලි