’අමු’ සින්දුත් එක්ක දැනෙන ගමනක්
හැමදාම ලෝකය වෙනස් කළේ, වෙනස් විදිහට ලෝකය දිහා බලපු මිනිස්සු. අදත් එහෙමයි, හෙටත් එහෙමයි වෙනසක් නැහැ. සමහර තැන්වලදී ඒ මිනිස්සුන්ව අමුතු චරිත විදිහට අපිට පෙණුනා, ඔවුන් කරන වැඩවලට අපි අමුතු වැඩ කියලා කිව්වා. නමුත් ඒ අමුතු වැඩ කරන අමුතු මිනිස්සු අපිව වගේම මුළු ලෝකයම වෙනස් කළා.
ඒ අර්ථයෙන් ගත්තම ඔහුත් අපිට මුණගැසුණු අමුතු චරිතයක්. ඔහු නමින් සංජීව් ලෝන්ලියෙස්. සංජීව් තමා ''අමු මියුසික් කල්චර්'' එක නිර්මාණය කළේ. අමු සින්දුවක් අහල තියෙනවා නම් ඔබ දන්නවා අපි මේ කතා කරන චරිතය පිළිබඳව. අහල නැත්තන් අහන්න, අපි යෝජනාවකුත් කරනවා ''ඔබත් අහන්න''. ඔහුගේ කතාව තේරුම් ගන්න පුළුවන් ඔහුගේ නිර්මාණ ඇතුළෙන්මයි.
සංජීව් ගැන කතා කරන්න ඉස්සෙල්ලාම අපි ඔහු කරන වැඩේ ගැන දැනගෙන ඉන්නම ඕනෑ. මොකක්ද මේ අමු මියුසික් කතාව. මේ ''අමු මියුසික්'' කියන්නෙ අපිට අනුව, සංගීතමය උප සංස්කෘතියක මූලික අවස්ථාවක්. මේ කියන අමු සංගීත සංස්කෘතිය ශ්‍රී ලාංකිකයි, ඒ වගේම මුළුමනින්ම ස්වභාවිකයි. ඒක තමා විශේෂත්වය.
අමු මියුසික් ඇතුළෙ කිසිම කෘත්‍රිම සද්ද බද්ද නැහැ. මිනිස් ස්වරතන්ත්‍ර සහ ස්වභාවික තන්තු, පටල කම්පනයන් බිහිවෙන හඬ තමා මේ සංගීතය ඇතුළෙ තියෙන්නෙ. ස්වභාවිකව බිහිවෙන සංඛ්‍යාත කිසිම තාක්ෂණික වෙනස්කමකට භාජනය නොකර මේ සංගීතය ඇතුළේ ඉදිරිපත් කරනවා.
ඒ විතරක් නෙවෙයි සංජීව්ගෙ අමු සංගීත සංස්කෘතියෙ විද්‍යාත්මක පරිච්ඡේදයකුත් තියෙනවා. එතැනදී මේ උප සංස්කෘතිය, තවමත් නිමා නොවුණු පරීක්ෂණාත්මක චාරිකාවක එක ප්‍රතිඵලයක් විදිහට විදියට හඳුන්වන්න පුළුවන්.
විද්‍යාවෙන් මේ කතාව කිව්වොත් මෙහෙමයි. අපි දන්නවා තරංග ගැන. විද්‍යාව ගැන දන්න සංගීතඥයකුට මැක්ස් ප්ලාන්ක්, අයින්ස්ටයින් වගේ විද්‍යාඥයන්ගේ මතවාද නියමයන් පරීක්ෂණ වාර්තා ඇතුළෙන් රිංගල ගිහිල්ලා මියුසික්වලින් මැජික් කරන්න පුළුවන්.
සංගීත සංබ්‍යාත ඇතුළෙන් වෙනම හැඟීම් හදන්න, ඒ කියන්නෙ යම් ශක්තියක් හදන්න පුළුවන්. ඒක තමා සංජීව් කරන්නෙ. නිවාඩු පාඩුවේ අවධානයෙන් ඇහුවොත් සංජීව්ගෙ අමු සින්දු, සංගීත භාෂාවෙන් අපේ හදවත් ප්‍රකම්පනය කරනවා. මේකත් මතක් කරන්න ඕනෑ, සංජීව් මියුසික් අහන්න විද්‍යාව ඕනේ නැහැ. හැබැයි ඔහුගේ සංගීතය අධ්‍යයනය කළොත් ඔබට තේරෙයි, සීමිත කෝඩ් දෙක තුනක් අස්සෙ ඔතපු සංබ්‍යාත ටිකක් එක්ක තමා ඔහු මේ විප්ලවය කරන්නෙ.
පුදුමෙ කියන්නෙ බොක්කටම වදින සංජීව්ගේ මේ සංගීතය ඇතුළේ විද්‍යාව තිබ්බට කෘත්‍රිම තාක්ෂණික සද්ද බද්ද නෑ. කටහඬ මික්ස් කරලා අඩුපාඩු හදලා මකලා කපලා එඩිට් කරලා ගත්තු කෘත්‍රිම සින්දු නෙවෙයි මේවා. සරලවම කිව්වොත් ෆුල් නැචුරල්. පට්ට ෆීලින්.
අමු මියුසික් කල්ච්ර් එක ගැන දීර්ඝව පැහැදිලි කරන්න ගියොත් සංජීව් ලෝන්ලියෙස්ව අපිට මග හැරෙනවා. කවුද මේ ලෝන්ලියෙස්. එකපාරට මතක් කරන්නද? මතකද අර කට්ට ''කට්ට කාලා දාගත්ත කෙල්ල යාලු ආයේ මාව හම්බ වෙන්න නෑලු'' සිංදුව. ඔව් ඒ සිංදුව කළේ සංජීව් තමා. හැබැයි ඒක අද බොහොම සරල ප්‍රාථමික හඳුන්වාදීමක්. සංජීව් කියන්නේ රසායන විද්‍යා ගුරුවරයෙක්. සාමාන්‍ය පෙළට ඒ නමයක් ගත්ත උසස් පෙළට ඒ තුනක් ගත්ත විද්‍යා විෂය ධාරාවෙන් කැම්පස් ගියපු, කැලණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ගත්ත චරිතයක්. නමුත් අපිට දැනෙන විදියට, සංජීව් ලෝන්ලියෙස් කියන්නෙ විශ්වීය සංගීතයක් සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කරපු චරිතයක්.
ඔහු ගැන ඔහුගේ වචන වලින්ම කියනවා නම්,
''අප්පච්චිගෙ පුට්සයිකලේ ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන බාට කෑලි දාන් කැම්පස්වල ඇවිදලා, හැප්පිලා, තෙරපිලා, මිරිකිලා, වැටිලා පෙරලිලා, නැගිටලා, සොසයිටියට බැහැපු, ස්වාධීන රසායන විද්‍යා දේශකවරයෙක්. සුන්දර නෑ මචං මේ ගමන...''
අමතක වුණා කියන්න සංජීව් ලෝන්ලියෙස් පාසල් ගියේ ශාන්ත ආනා විද්‍යාලය විද්‍යාලයට. ගම් පළාතත් කුරුණෑගල තමා. මෑතකාලීනව සංජීව් නිර්මාණය කරපු කලීෆා, පිහි තුඩෙන් ආදරයේ ලිව්වේ, යකඩ මනමාලි වගේ ගීත බොහොම තදින් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරයි. ඔහු තමන්ගේ නිර්මාණ පරතරයට විඳින සුළුතරයට සුළුතරය වෙනුවෙන් තිළිණ කළේ. ඒත් අද වෙනකොට, ඔහුගේ නිර්මාණ බහුතර රසික සමාජය හරහා ගමන් කරමින් තියෙනවා.
වර්තමාන සමාජීය වෙනස්වීම්, සංස්කෘතික වෙනස්වීම් එක්ක මේ සංගීත සංස්කෘතිය රටේ තාරුණ්‍ය වැළඳගන්න බවත් පේනවා. ඒ නිසයි මේක අලුත් සංගීතමය උප සංස්කෘතියක් විදිහට අපි ඔබට හඳුන්වලා දෙන්න. ජන සංගීතය ඇරුණට පස්සේ මේ වගේ සංස්කෘතියක් පහුගිය කාලේ අපිට තිබුණේ නැහැ. ඉන්දියාවෙන් බටහිරෙන් පෝෂණය වුණු සංගීත සංස්කෘතීන් තමයි අපට තිබුණේ. හැබැයි මේක අපේ එකක්.
සංජීව් අවසාන වශයෙන් නිර්මාණය කරපු ''සිරස බිම වැටුණා'' ගීතය ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහයන්. ''මේක උඹ කියන්නම ඕනද කොල්ලො කියලා'' ඒ වගේ කලාකරුවෙක් සංජීව්ට ගීතයක් තිළිණ කරනවා කියලා කියන්නෙම, එතැන ගතයුත්තක් තියෙනවා. දැන් මේ චරිතය පිළිබඳව අපිට පේන විදියට ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමුවෙලා. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ අපිත් ඔහුගේ නිර්මාණ රස විඳිමින් හිටියා. කොහොම නමුත් දැන් තමයි ඔහු ගැන රට දැනගත යුතුම කාලය.
ඔහු ගීතයෙන් කතා කරන තේමාවල්, සංගීතයෙන් කතා කරන භාෂාවන් ඇත්ටම අමුතුයි. දැනට තියෙන දේවල්වලට සාපේක්ෂව අමුතුයි. නමුත් ඒක හැඩයි රසවත්. යහපත් දියුණු බුද්ධිමත් සමාජයක් උදෙසා කලාකරුවාගේ කාර්යභාරයට සංජීව් වගේ චරිත දැනුවත්ව හෝ නොදැනුවත්ව උර දෙනවා. සමාජ වෙනස් කරන එක කලාකරුවාගේ කාර්යභාරය නොවුණත්, මේ වගේ කලාකරුවන්ගේ කලාව නිසා සමාජය වෙනස් වෙයි කියලා බලාපොරොත්තුවක් අපේ හිත් තුළ උපදිනවා.
ඔහු ගැන කතාව සෑහෙන දීර්ඝයි. රෝයි අංකල් කියන ඔහුගේ ගුරුවරයා, ඔහුගේ බිරිඳ, මිත්‍රයන් ඔහු නිතරම මතක් කළා. ඒ සියල්ලන් එකතු බැඳුණු කතා සෑහෙන්න තියෙනවා. අඩ හෝරාවකට අධික අපේ ජංගම සම්මුඛ වීම ඇතුළේ වුණත් කියවුණු කාරණා සියල්ල මෙහි ලියා තබන්න බැහැ. ඉතින් අදට අපි නවතින්නේ. සංජීව් ලෝන්ලියෙස් ගැන කියන්න, ලියන්න, හොයන්න, පර්යේෂණ කරන්න බොහෝ දෑ අනාගතයට අපි ඉතුරු කරලා. ඉතින් දැනට ඇති.
නිසල්