අම්මා හැමදාම මට කිව්වේ ලංකාවම දන්න ගායකයෙක් වෙන්න කියලා
ක්ෂේත්රයට නවකයෙක් වුවද නුවන් චාමර බොහෝ පිරිසක් දන්නා හඳුනන තරුණ ගායන ශිල්පියෙකි. දැනට තමගේම ගීත කිහිපයක්ම නිකුත් කර ඇති ඔහු උදාවෙන මේ ජනවාරියේදීද තවත් අලුත් ගීතයක් එළිදැක්වීමටද සූදානමින් සිටියි. සාරවිට මෙවර අපි කතා කරන්නේ ඔහු සමගය.
නුවන් චාමරව අඳුන්වලා දෙමුකෝ මුලින්ම අපිට?
මගේ ගම් පළාත අනුරාධපුරේ හොරව්පතානේ. ගායකයෙක් වෙන හීනේ මට පොඩි කාලේ ඉඳලාම තිබුණා. මගේ හීනේට වඩා මේක මගේ අම්මාගේ තිබුණේ ලොකුම හීනයක් කිව්වොත් හරි. හැබැයි ඉතින් මේ හීනේ මට සෑබැ කරගන්න ලැබුණේ මේ මැතකදී.
ගීත කියක් විතර දැන් නිකුත් කරලා තියෙනවාද?
දැනට ගීත කිහිපයක්ම මම නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තව ගීත තුනක් දැනට නිර්මාණය වෙමින් පවතිනවා. මගේ පළමු පළමු ගීතය නිකුත් කළේ 2021 වසරේ. ඒ නෙරංජනා.. කියන නමින්. ගීතය ලිව්වේ ඩී.එම්.පී. දිසානායක. සංගීතවත් කළේ ලක්ෂ්මන් හිල්මි. මේ ගීතයට මම රූප රචනාවකුත් කළා. ඒ වැඩ කටයුත්ත සිදු වුණේ තරිඳු බෙනරගම අතින්. දෙවැනි ගීතය නිකුත් කළේ තනිකම අඳුර.. කියන නමින්. ඒ ගීතයත් ලිව්වේ ඩී.එම්.පී. දිසානායක. සංගීතවත් කළේ ලක්ෂ්මන් හිල්මි. මේ ගීතයටත් මම රූප රචනවක් කළා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මෙනවද?
ජනප්‍රිය ගීත රාශියක්ම ලියපු රාජාංගනේ පොඩි හාමුදුරුවෝ පද රචනා කරපු ගීත දෙකක වැඩ කෙරෙමින් යනවා මේ දවස්වල. ගීත දෙක නම් කරලා තියෙන්නේ මහමෙරක් තරම්.. හා අරන් යන්න හැමදේ.. කියලා. මේ ගීත දෙකෙන් එක් ගීතයක් මේ ජනවාරියේදී මම එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා.
ගායකයෙක් වෙන්න පාර හැදුණේ කෙහොමද?
මම උපතින්ම පාද දෙකම ආබාධිතකයෙක්. මනෝජ් හා පැතුම් යන මගේ මිතුරන්ගේ උනන්ඳු වීම හරහා තමයි ගායකයෙක් විදිහට මම වැඩ කරන්න පටන් අරගත්තේ. මගේ මිතුරා මනෝජ්ගේ මාර්ගයෙන් මට දැන හඳුනාගන්නට ලැබෙනවා ශාමා පෙරේරා කියලා කෙනෙක්. ඇයගේ මැදිහත් වීම මත ජනප්‍රිය ගායක ලක්ෂ්මන් හිල්මි අයියාව මට මුණ ගැහෙන්නේ අවස්ථාවක් ලැබෙනවා. ඔහු තමයි මගේ පළමු ගීතය නෙරාංජනා.. නිර්මාණය කරන්නේ.
අම්මාගේ දිරිගැන්වීම නුවන්ට අද ගොඩක් වටිනවා?
අද වෙන කොට මගේ අම්මාගේ හිනේ සැබැ කරන්න ලැබුණ එක මට ගොඩක් සතුටුයි. මගේ අම්මා විදෙස්ගත වෙලා ඉන්නේ. ඇය එවන මුදල්වලින් තමයි ඉන්න ගේ හදාගත්තෙත් මගේ ගි නිර්මාණවලට වියදම් කළෙත්. මගේ අම්මා හැමදාම මට කිව්වේ ලංකාවේ ඉන්න ජනප්‍රිය හා දක්ෂ ගායකයෙක් වෙන්න කියලා. මම ඒ ඉලක්කේට කොහොම හරි යනවා. ඒ වගේම ඒ ඉලක්කය සපුරගත්තු දවසට මගේ ආදරණිය අම්මාව මා ගාවට අරගෙන සතුටින් හොඳින් රැක බලාගන්නවා. ඒක තමයි දැන් මගේ තියෙන ලොකුම හීනය.
උදව් කරපු පිරිසකුත් ඇති?
මනෝජ්, පැතුම් දෙදෙනා මෙන්ම නිතරම තමන්ගේ වැඩ වලට මුලීකත්වය දුන් චන්දන හේවාසිංහ මේ මොහොතේදී මතක් කරන්න ඕන. ඒ වගේම මගේ මුල් නිර්මාණ ත්‍රිත්වයම සංගීතවත් කළ හා ඒවාට වටිනාකමක් එකතු කළ ලක්ෂ්මන් හිල්මි අයියාව විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඊට අමතරව හිල්මි අයියාව මුණ ගැස්සු ශාමා පෙරේරා, මුල් ගීත දෙකම පද රචනා කළා ඩී.එම්.පී. දිසානායක හා මහමෙරක් තරම්.. හා අරන් යන්න හැමදේ.. කියන ගීත දෙක පද රචනා කළා රාජාංගනේ හාමුදුරුවෝ වගේම චන්දන පළිහවඩනත් මම මතක් කරනවා.
බුද්ධික සේනාධීර