අම්මා කියන වචනයම ආදරණීයයි - අම්මගෙ චරිතයම 15 වතාවක්
පුංචි තිරයේ ආදරණීයම අම්මා විදියට කිරුළ පළන් චරිතයක් මේ දිනවල නිතර දෙවේලේ දකින්න ඉන්නවා. ඒ විශේෂත්වය ගැන කතාබහ කරන්නට ඒ ආදරණීය චරිතය මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. ඇය නමින් අංජලී ලියනගේ.
අංජලී ලියනගේ පුංචි තිරයේ ආදරණීයම අම්මා වෙලා නේද?
ඇත්තටම ඔව්, මම හිතන්නේවත් නැති විදියට මට ඒ ටයිටල් එක ලැබිලා තියෙන්නේ. ඉතින් මම ඒ ආදරණීය චරිතයට ගොඩක් ආසයි. ගොඩක් හොඳ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. අවුරුදු 45 – 50 අතර අම්මාගේ චරිතයෙන් තමයි මාව දකින්න ඉන්නේ. ඇත්තටම ලොකු වෙනසක් සහ ගෞරවනීය චරිත රංගනයක් විදියට තමයි මම මේ රංගනය දකින්නේ.
ඉතින් මේ දිනවල පුංචි තිරයේ දකින්න ඉන්නේ අම්මා චරිත ගැන කියමු.
මම අම්මා චරිතයෙන් ගොඩක්ම ජනප්‍රිය සහ ආදරණීය අම්මා වුණේ දෙවනි ඉනිම චරිත රංගනයේ අනූෂා චරිතයෙන්. ඇය කාගෙවත් හිත රිදවන්නේ නැති තමන්ගේ ස්වාමි පුරුෂයටත් පක්ෂපාතීව ජීවත් වන දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්නේ. ඉතින් ඒ තුළින් තමයි මට මේ චරිත රංගනයට වැඩිපුරම යන්න ලැබුණේ. ඒ චරත රංගනය මම අවුරුදු 4ක් පමණ කරගෙන යනවා. තවමත් ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ටෙලි නිර්මාණ රංගනයක් තමයි සිරස නාළිකාවේ විකාශය වන හිත ළඟ හිනැහුණා චරිතය. ඇයත් ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් ඒ චරිතය මට භාර දෙද්දීත් හරිම සතුටින් කැමැත්තෙන් භාරගත්තේ. මෙහි චරිතයක් එක්කම දෙරණ නාළිකාවේ විකාශය වන දියණි නාට්‍යයේත් මම අම්මා කෙනෙක්ගේ චරිතය හරහා තමයි දකින්න ඉන්නේ.
මේ චරිත රංගනයන්වල එකිනෙකට වෙනස් බවක් තියෙනවද?
ඇත්තටම අම්මා කියන චරිතයම ඒ වචනයම හරිම ආදරණීයයිනේ. කොහොමත් මට මේ දක්වාම ලැබුණෙම කාගෙත් සිත් දිනාගෙන ඉන්න අම්මා චරිතය තමයි. එකම චරිතය වුණාට ඒ නිර්මාණ රංගනයන් තුළ විවිධ වෙනස්කම් තිබුණා. දෙවනි ඉනිමේ අනූෂා ලොකු වගකීමක් නැති දරුවන්ගේ ස්වාමි පුරුෂයාගේ වැඩක් කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වුණ ගැහැනියක්. නමුත් හිත ළඟ හිනැහුණා නිර්මාණයේ තමන්ගේ දුවත් බලාගෙන වගකීම් ගොඩක් එක්ක ජීවත් වෙන්න වුණු අම්මා කෙනෙක්. මොකද ඇයගේ ස්වාමි පුරුෂයා විදෙස්ගතවෙලා ඉන්නේ. ඇයට ඉන්නේත් ටිකක් දඟකාර දුවෙක්. ඒ නිසා නිර්මාණයේ ලාලනී චරිතය දෙවනි ඉනිමේ අනූෂා චරිතයට වඩා ගොඩක් වෙනස්. ටිකක් සැර පරුෂ වෙන්න වෙලා තියෙනවා. දුව බලාගන්න හදා ගන්න.
ඒ වගේම මේ දිනවල විකාශය වන දියනි නාට්‍යයේ අම්මා චරිතයත් ටිකක් වැඩි වයසක අම්මා කෙනෙක්. ඇයත් වගකීම් දරන ආදරණීය චරිතයක්. තමන්ගේ දියණියට ඉතින් ඒ විදියට එකිනෙකට වෙනස් අම්මලා වෙලා ඉන්නවා පුංචි තිරයේ මේ දවස්වල.
දිගු කාලීන වගේම කෙටි කාලීන නාට්‍යවලත් වැඩිපුරම ඉඩ ලැබෙන්නේ මේ චරිතයටමයි නේද?
ඔව්. ඇත්තටම මේ මෑතකදීත් දෙරණ නාළිකාවේ විකාශය වුණා දවස් 5ක ටෙලි නිර්මාණයක් ‘ගමට ඇවිල්ලා’ ඒ හර්ෂ උඩකන්ද මහත්මයාගේ නිර්මාණයක් එහි මම පුංචි දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. දුප්පත් පවුලක අනුවේදනීය කතා පුවතක්. ඒක ප්‍රේක්ෂකයෝ අතරට ගොඩක් ගියා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුණු හදවතේ කතාව නාට්‍යය චරිත රංගනයටත් ගොඩක් දෙනෙක් ආදරේ කළා.
ඇත්තටම මට මේ චරිත රංගනයෙන් කරන්න වැඩිපුරම ලැබිලා තියෙන්නේත් දුවලා තමයි. මම කොහොමත් දුවලාට ගොඩක් ආදරෙයි. මොකද මට ඉන්නෙත් දුවෙක්නේ.
දැන් අම්මා චරිතය කොයි තරම් කරලා ඇතිද?
අම්මගේ චරිතය 15 වතාවක් වගේ මේ වෙද්දි කරලා ඇති. කොහොමත් මම ක්ෂේත්රයට ආපු කාලේ ඉඳන් වගේ පෙම්වතියගේ චරිතයට වඩා මට කරන්න ලැබුණේ අම්මා චරිතය තමයි. මුලින්ම මට ගිහාන් රෝහණ මහත්මයා අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනියේ විකාශය වුණු හිම කඳුළු නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි කරන්න ලැබුණේ. එහි මම පුංචිම දරුවෙකුගේ අම්මා කෙනෙක්. ඒ කාලේ ඒ විදියට ගැලපෙන චරිතයක් ලැබුණා. එතැනින් පසුව නම් මට ලැබුණේ මට වඩා සෑහෙන්න වයසින් මුහුකුරා ගිය අම්මා චරිත තමයි.
ඒ විදියේ චරිත රංගනය අංජලීට අසාධාරණයක් කියලා හිතුනේ නැද්ද?
අනේ නැහැ. මම හිතනවා මේ රංගනයක් එක් චරිතයක් පමණයි කියලා මොකද මේ මගේ ඇත්ත ජීවිතේ නෙමෙයිනේ.
ඒ නිසා මේ රංගනයන් මම හරිම ආසාවෙන් කරන්නේ. මම කොහොමත් එදිනෙදා අපිට මුණගැහෙන විවිධාකාර චරිතවල සහ විශේෂයෙන් අම්මලාගේ පොඩි පොඩි රංගන විලාශයන් තියෙනවනෙ. ඇත්ත ජීවිතේ ඒ සියුම් සියුම් තැන් මම මගේ රංගනයන්වලට ගොඩක් යොදාගෙන තියෙනවා. මේ සමාජයෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් මම ඒ දේවල් මගේ ජීවිතේ රංගනයන්ට එකතු කර ගන්නවා. කොහොමත් මම මේ චරිත රංගනයෙම කොටුවෙලා ඉන්න කැමතිත් නැහැ. විවිධාකාර චරිත රංගනයන්ට යන්න කැමතියි. නමුත් මට දැන් ලැබෙන්නෙම මේ චරිත රංගනය විශේෂයෙන් දුප්පත් අහිංසක අම්මා චරිතය තමයි ලැබෙන්නේ.
අම්මා චරිතය මෙතෙක් කරද්දි හිතට දැනුනම දුව හෝ පුතා කව්ද?
ඒක ඇත්තටම අමාරුම ප්‍රශ්නයක් මගේ දුවලා පුතාලා තරහා කරන වැඩක්. ඒ ගැන කියන්න ඇත්තටම අමාරුයි. නමුත් මට ටෙලිනාට්‍යයක වැඩිපුරම අම්මා වෙන්න වුණේ දෙවනි ඉනිමේ දෙව්මිට සහ ධනුකට. ඒ කියන්නේ නයනතාරාට සහ දේව් සුරේන්ද්‍රට ඒ දුවයි පුතයි ඇත්තටම හරි සහයෝගයෙන් වැඩ කරන දෙන්නෙක්. ඉතින් ඒ දෙවනි ඉනිමේ ආනන්දගේ පවුලට ගොඩක් දෙනෙක් ආදරය කළා. තවමත් ආදරය කරනවා. අවුරුදු 4ක් තිස්සේ ඒ ප්‍රතිචාර ගොඩක් ඉහළයි. ඒ වගේම මේ දිනවල මගෙත් එක්ක වැඩ කරන හිත ළඟ හිනැහුණා හි ඒ දුව ෂෙනායා ඇයත් හරිම ආදරණීයයි. ඇය අලුත් රංගන ශිල්පිනියක් වුණත් හරිම දක්ෂ විදියට රංගනයේ යෙදෙනවා. ඒ වගේම දියනි නාට්‍යයේ දියනියත් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.
ඒ හැමෝම එක්ක හරි ආදරයෙන් වැඩ කරගෙන යනවා. මගේම දුව වගේ තමයි.
අංජලීගේ දුවගෙන් බර බරේ නැද්ද පුංචි තිරයේ දුවලා හුරතල් කරද්දි?
අම්මෝ සමහර වෙලාවට ඊර්ෂයා වෙන වෙලාවල් තියෙනවා. වෙන දුවලාව හුරතල් කරද්දි මගෙත් එක්ක කතා කරන්නෙත් නැති තරම් නමුත් මම කරන්නේ ඒ වෙලාවට ඒ රංගන ශිල්පිනියන්ට කතා කරන්න දෙනවා මෙන්න ෂෝක් අක්කි කෙනෙක් එහෙම කියලා එනකොට ටිකක් ෂේප් ඉතින් මගේ දුව තවමත් ඉගෙන ගන්නවා.
මේ වෙද්දි පුංචි තිරයේ ආදරණීය අම්මා විදියටනේ චරිත ලැබෙන්නේ මේ තරම් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉද්දි අංජලීට කලු චරිතයක් කරන්න දුන්නොත් භාර ගන්නවද?
මෙහෙමයි රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ තමන්ගේ සීමාව දැනගෙන. ඉතින් මට ලැබෙන කලු හෝ සුදු චරිතයත් කරනවා මගේ සීමාව තියාගෙන. මම ඉදිරිපත් කරන්නෙ චරිත රංගනයක් විතරයිනේ. ඒ මගේ සැබෑව නෙවෙයි. එතකොටම නපුරු චරිතයක් කළත් ඒ මම නෙවෙයි. මම අංජලී ලියනගේ පුංචි තිරයට විතරයි මම චරිත මවන්නේ ඒ නිසා මට කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම භාරගන්නවා ඒ මගේ සීමාවන් තුළ නමුත් මම දන්නේ නැහැ. මගේ මූණට පෙනුමට ගැලපෙන්නේම අහිංසක දුප්පත් අම්මා චරිතයම තමයි.
ධනු විජේරත්න