අම්මා එයා දිහා බලාගෙන හිටියේ හරි ආසාවෙන් - ධම්මිකා බණ්ඩාර
Q අප රටේ ප්‍රවීණ කලාකාරියක් වන ලතා වල්පොල මහත්මියගේ අසූ නව වැනි උපන්දිනය දා ඔබගේ ලේලිය ඔබ ගායනා කරන ''දූවිල්ලෙන් වත්සුණු තවරා'' ගීතය හරි අපූරුවට ගායනා කළා. ඇගේ හැකියාව ගැන ධම්මිකාට මොකද හිතෙන්නේ?
ක්‍රිස්ටිනා මගේ දෙවැනි පුතා තිසරගේ බිරිඳයි. ඇත්තටම මුලදී ඇයට සිංදු ගායනා කරන්න පුළුවන් කියල අපි හිතුවේ නැහැ. කොහොමටත් දරුවන්ගේ පෞද්ගලික ජීවිත ගැන අපි කවදාවත් ඇඟිලි ගැහුවේ නැහැ. ඒ නිසා ක්‍රිස්ටිනා දුව කියන්නේ මගේ තිසර පුතා කැමැත්තෙන් හොයාගත්ත කෙනායි. කොහොමටත් ක්‍රිස්ටිනා දුව සංගීතයට ලැදියි කියලා අපිට තේරුණා. එයා ව්‍යාපාර කටයුතු කරන දුවෙක්. හැබැයි සංගීතය ගැන දුවට හොඳ හැකියාවක් තිබෙනවා. මුලින් ක්‍රිස්ටිනා දුව නිරෝෂාගේ ගීතයක් ගායනා කළා. ''ලස්සනට කියනවනේ'' කියල අපි දුවගේ ඒ ගායනය අගය කළා. ඉතින් එදා අම්මගේ උපන්දිනය දවසේ මට ඒ ගීතය ගායනා කරන්න කියලා කිව්වාහම ''නෑ... උඹ කියපං'' කියලා මම දුවට කිව්වා. ඊට කලින් මගේ එක්ක ''රතු ගුරු පාරේ...'' ගීතය එහෙමත් දූ ලස්සනට ගායනා කළා. ඉතින් එදා දුව ''දූවිල්ලෙන් වත්සුණු තවරා'' ගීතය ලස්සනට ගායනා කළා.
Q ඒ ගීතය ගායනා කරද්දී ලතා වල්පොල මහත්මිය ඇයට දැක්වූ ප්‍රතිචාර කොහොමද?
අම්මෝ... අම්මා හරි ආසාවෙන් දුව දිහා බලාගෙන හිටියා. අම්මා එදා ගොඩාක් සතුටු වුණා... කොහොමටත් අම්මා හැමදාම තිසර පුතාට සිංදු ගායනා කරන්න කියලයි කිව්වේ. තිසරටත් හරි ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් තිසර ලංකාවට එන්නත් මගේ අම්මා ප්‍රබලම හේතුවක් වුණා. අම්මා දරුවන්ට හරි ආදරෙයි.
Q තිසර වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඔහු ලංකාවට එන්න ලතා වල්පොල මහත්මිය ලොකු හේතුවක් වුණා නේද...?
මගේ පුතාලා තුන්දෙනාම ඕස්ට්‍රේලියාවේ හිටියේ. තිසර ලංකාවේ සංගීතය ඉගෙන ගෙන සංගීතය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. මේ තුන්දෙනාටම ගායනය සහ වාදනය සම්බන්ධයෙන් ලොකු හැකියාවක් තිබුණා. ඒ රටේ ඉඳිද්දීත් සංගීතය වාදනය කරමින් ගායනා කරමින් මෙයාලා අපිට වීඩියෝ එව්වා. අම්මා ඒ හැමදෙයක්ම හරිම ආසාවෙන් බලනවා. ඒ නිසාම ඒ තුන්දෙනා ලංකාවේ නැති එක ගැන අම්මා ගොඩක් දුක් වුණා. ඒ වෙද්දි වසර හතක් ඕස්ට්‍රේලියාවේ හිටපු තිසර සංගීතය සම්බන්ධයෙන් බොහෝ දෑ ඉගෙන ගත්තා. හැබැයි PR එක ගන්නට තිසරට උවමනාවක් තිබුණේ නැහැ. තිසරට ලංකාවට එන්න ඕන වුණා. ඒ අතරේ මගේ ලොකු පුතාගේ පළමු දරුවාගේ ඉගෙනීමත් එක්ක මට ඕස්ට්‍රේලියාවට යන්න සිදුවුණා. මම ගියාට පස්සේ ''අම්මා මට ලංකාවට එන්න ඕනේ'' කියලා තිසර හැම මොහොතක මට කිව්වා. ඒ කතා කරන හැම දවසකම ''අනේ පුතේ ලංකාවට එන්නකෝ...'' කියලා අම්මත් තිසරට කිව්වා. ඒ වෙද්දී මාස තුනක් ඕස්ට්‍රේලියාවේ හිටපු මම ලංකාවට එන්න දින ලංවෙද්දී ''හරි පුතේ... ඔයත් යමු ලංකාවට...'' කියලා තිසරටත් ටිකට් හදාගෙන අපි ලංකාවට ආවා. තිසර ලංකාවට ආපු දවසේ අම්මා පුතාව තුරුළු කරගෙන ගොඩක් වෙලා එයාගේ සතුට පලකළා.
Q තිසරගේ ඒ හැකියාවන් ඔහුටම හොයාගෙන යන්න මහින්ද ඉඩ දුන්නා නේද...?
ඔව්... තිසර හරි දක්ෂ දරුවෙක් කියල මම දන්නවා. ඒක මහින්ද අයියත් දැනගෙන හිටියා. (ධම්මිකා තවමත් ඇගේ සැමියා වන මහින්ද බණ්ඩාරට ''මහින්ද අයියා'' කියා පවසන්නේ) මහින්ද අයියා හැමදාම රෙකෝඩින්වලට ගියා. ඒ නිසා ''අනේ මහින්ද අයියෙ... පුතාටත් චාන්ස් එකක් හදලා දෙන්න.'' කියලා මම දවසක් දෙකක් මහින්ද අයියට කිව්වා. තුන්වෙනි දවසේ ''ධම්මිකා.... ඒ රටේ ඒවා ඉගෙන ගත්තට මට වැඩක් නැහැ. එයාට සිංහල ස්වර හරියට ඉගෙන ගන්න කියන්න. සිංහල විදිහට එයාගේ දක්ෂතාවයෙන් එන්න කියන්න'' කියලයි එයා කිව්වේ. පුතා ඉක්මනට සිංහල ස්වර අභ්‍යාස ටික ඉගෙන ගත්තා. හැබැයි මහින්ද අයියා එයාට රෙකෝඩින් කළේ නැහැ. ''මහින්ද බණ්ඩාරගේ පුතා, ලතා වල්පොලගේ, ධර්මදාස වල්පොලගේ මුණුපුරා කියලා යන්න එපා. එයාට එයාගේ ගමනින් ඉදිරියට යන්න'' කියලයි මහින්ද අයියා පුතාට කිව්වේ. එතැන් සිට තිසර පුතා එයාගේ ගමන යන්න පටන් ගත්තා. පුතා කවදාවත් මගේ අම්මා, තාත්තාගේ, එයාගේ අම්මා, තාත්තාගේ නමින් මේ ගමන පටන් ගත්තේ නැහැ.
Q ක්‍රිස්ටිනාගේ කෑම රසයි කියලයි ආරංචිය...?
අම්මෝ.... ඔව්.... ක්‍රිස්ටිනාට හරි රසට කෑම හදන්න පුළුවන්. එයා කතෝලික ආගමේ. දුව හරිම උනන්දුවෙන් එයාගේ සංගීත හැකියාව වැඩිදියුණු කරගත්තා. එයාට හරි ලස්සනට හින්දි සිංදු ගායනා කරන්න පුළුවන්. එයාට භාෂා දෙක තුනක් කතා කරන්නත් පුළුවන්. එයා මට ලේලි නෙමෙයි. මගේ පුතාලා තුන්දෙනා විවාහ වුණ හැම දරුවෙක්ම මට දුවලයි. මම එයාලාට ''නැන්දම්මා'' කෙනෙක් නෙමෙයි. මට ඒ දරුවන් තුන්දෙනාම ''අම්ම''යි. මට මගේ මහින්ද අයියගේ අම්මට ''අම්මා'' කියලා කියන්න වාසනාව ලැබුණා. ඒ අම්මා කවදාවත් මට ''ලේලි'' කිව්වේ නැහැ. අදටත් මම ඒ අම්මා ගැන ආදරෙන් කතා කරන්නේ ඒ මට දුන්න ආදරය නිසාමයි. කිසිම දවසක අපි විරසක වෙලා නැහැ. ඒ නිසා මේ තුන්දෙනාත් මට දුවලා වගේ ඉන්නවට තමයි මම හැමදාමත් ආදරය කළේ.
Q ඔබේ ආදරණීය පියා වන ප්‍රවීණ කලාවේදී ධර්මදාස වල්පොල මතකාවර්ජනය සමඟ ලතා වල්පොල උපහාර ප්‍රසංගයක් පැවැත්වීමට සූදානමක් තිබෙනවා නේද?
ඔව්... තාත්තා මියගොස් මේ මස විසිපස් වෙනිදාට වසර හතළිහක් ගතවෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ''නොමියෙන මිනිසුන්'' නමින් උපහාර ප්‍රසංගයක් නොවැම්බර් මස විසි තුන්වෙනිදා සවස දෙකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙනවා. මගේ තාත්තා මගේ මතකයේ හැමදාමත් ඉන්නවා. මගේ ජීවිතේ වීරයා ඔහුයි. ඔවුන් මිනිසුන්ගේ හදවතට කතා කරපු කලාකරුවන් වුණා. එවැනි හදවත්වලට කතා කළා මිනිසුන්ව අමතක කරන්නට කාටවත් බැහැ.
► දිශානි ජයමාලි
සේයාරූ I දයාන් විතාරණ