අම්මාගේ මරණයත් එක්ක මම සෑහෙන මානසිකව වැටිලා හිටියේ
පශ්චත්තාපී මානව ආධ්‍යාත්මයේ චිත්ත සංවේදී රූප සංධ්වනිය "ස්වර" සිනමාවේදි සංජය නිර්මාල්ගේ නවතම සිනමා නිර්මාණය නුදුරේදීම ඔබගේ සිනමාගාරයට පැමිණිටම නියමිතව තිබෙන මොහොතක එහි සුවිශේෂි භුමිකාවක් නිරූපණය කරන ඔබ ආදරය කරන චරිතයක් අද කතා බහතුළින් කැඳාවාගෙන එනන්න සිතුවා. ඔහු තමයි ධනූ ඉන්නාසිතම්බි. ධනූ කියන්නේ යූටියුබ්, ටික්ටොක්, ෆෙස්බුක්, සෝෂල් මීඩියා ඉසව් නියෝජනය කරමින් විවිධ කතා මවන්නෙක්. නිවේදකයෙක් ලෙස නිතර දකින ධනූගේ ප්‍රථම සිනමා චාරිකාව ගැන මතකයන් ඔහු සටහන් තැබුවේ මේ විදිහට.
ස්වර චිත්‍රපටය නරඹද්දි මේ ඉන්නේ ධනුමද කියලා එක තැනකදි මට හිතුනා?
අවුරැදු 13ක අතීතයක්..
ඇත්තටම මේ චිත්‍රපට රෑගතකිරීම් අවසන් කරලා අවුරුදු 13ක්. ඒ කාලේ මගේ හැඩ රුව හරිම වෙනස්. ස්වර මම රංගනයෙන් දායක වුණ පළමු චිත්‍රපටය.2011 තමයි එය රූගත කළේ. මුලින්ම නීටා ප්‍රනාන්දු මහත්මිය මම වේදිකා නාට්‍යයක දැකලා මට දවසක් කතා කළා. අපි මුණ ගැහුණම මට මේ කතාව ගැන පැහැදිලි කළා. මේක සත්‍ය කතාවන් එකතු කරලා හදපු එකක්. මේක අභියෝගයක්. බර චරිතයක් ඒත් ඔයාට මේක පුළුවන් කියලා මට කරන්න කිව්වා. මට ඒ වෙනකොට සිංහල කතා කරන්නත් හරිම අමාරුයි. ඇත්තටම මේක හරිම ලස්සන කතාවක්. මට ඒ චිත්‍රපටයේ රඟපාන්න ගොඩක්ම අමාරු වුණා. චරිතය සංකීර්ණයි. මට මුලින්ම රඟපාන්න තිබුනේ දමිතා අක්කා එක්ක. ඇය මට ගොඩාක් උදව් කළා. ස්වර චිත්‍රපටයේ මම රඟපාන්නේ එච්අයිවී ඒඩ්ස් එක්ක ජීවත් වෙන ජෝ කියන චරිතය. මේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට යනකොට අම්මා හිටිය. ඒත් ෆිල්ම් එක ෂූට් කරන්න ඔන්න මෙන්න තියෙද්දි අම්මා නැති වුණා.
ඒ කියන්නේ ජීවිතේ තීරණාත්මක අවධියක්?.
ඔව් ..අම්මාගේ මරණයත් එක්ක මම සෑහෙන මානසිකව වැටිලා හිටියේ. මට මේක කරන්න හිත දුන්නෙම නැහැ. පස්සේ බොහෝ දෙනා මගේ හිත හැදුවා. අම්මා කොහේ හරි ඉඳන් සතුටු වෙයිනේ කියලා මම චරිතය කරන්න හිත හදාගත්තා. එහි සමහර දෙබස් මට අමුතුවෙන් රඟපාන්න වුනේ නෑ. මොකද යුධ කාලේ මං අත්දැකපු අත්දැකීම් නිසා මේ චරිතය කරන්න මට පහසු වුණා. ඒ කාලේ මම හරිම කෙට්ටුයි. අවුරුදු 13 කට පස්සේ මේ චිත්‍රපටය එළියට ආපු එක ගැන ඇත්තටම මට හරිම සතුටුයි. මට මේ චිත්‍රපටය ගීතයකුත් ගායනා කරන්න ලැබුණා. ඒකත් මට ජීවිතේ ලැබුණු ලොකු අවස්ථාවක්. ස්තූවන්තවෙනවා නීටා අක්කාට සහ සංජය අයියාට මට මේ අවස්ථාව දුන්නාට.
ධනූගේ ජීවිතේ මතක ගැන කතා කරනවනම් මං හිතන්නේ අපි යාපනෙන්ම කතාව පටන් ගමු?
අපි ජීවිතේ කුඩාම කාලය ගෙවෙන්නේ යාපනයේ චිල්ලාලේ කියන පරිසරයත් එක්ක. මගේ පවුල යාපනේ හොඳ සමාජ මට්ටමක,සංස්කෘතියකින් පිරිච්ච ,ලොකු වටිනාකමක් තිබුණ පවුලක්. මගේ තාත්තා දමිළ. එයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. අම්මාගේ ගම කොළඹ. ඇය වෘත්තියෙන් ඉංග්‍රිසි ගුරුවරියක්. අම්මා තාත්තා එක්ක විවාහ වෙලා යනවා යාපනයට. ඊට පස්සේ අක්කායි මමයි ඉපදෙනවා.කාලය ගෙවෙනවා.
93 මගේ ජීවිතේට ගොඩක් විශේෂයි . මොකද තාත්තා නැති වෙලා අතිශය බිහිසුණු යුධ කාලයක අම්මා අක්කාවයි මාවයි අරගෙන කොළඹට එන්නේ 93 අවුරුද්දේ. 93 මාර්තු පළමුවෙනිදා තමයි තාත්තා හෘදයාබායකින් නැති වෙන්නේ. 92,93 කාලෙදි යුධ කාලේ මාලිගාවල් වගේ තිබුණ අපේ ගෙවල් වලටත් බෝම්බ වැටෙද්දි අපට ඒ ගෙවල් වලින් යන්න කිව්වා. අපි හිටියේ කෑම්ප් වල. ඒ කලබල කරදර එක්ක තාත්තා මානසිකව ගොඩාක් වැටිලා හිටියේ. සමහර දේවල් එයාට දාරාගන්න බැරි වුණා. ඒ දේවල් එක්ක තමයි තාත්තා ඉක්මණින්ම නැතිවෙන්නේ. 93 අවුරුද්ද කියන්නේ යාපනේ ප්‍රශ්න වැඩිම කාලේ. කොහොම හරි අපි කොළඹට එද්දි මට අවුරුදු 7යි. අපිට යාපනයේ ඉඳලා කොළඹට එන්න දවස් 5ක් ගියා. එල් ටිටීඊ එකෙන් අවසර අරන් ඕන කොළඹට එන්න. අම්මා අවසර ගන්න ගියහම කිව්වා කොළඹට යන්න අවසර දෙන්නම් හැබැයි දුවව හරි පුතාව හරි එල්ටීටී එකට දෙන්න කිව්වා. මගේ අම්මා එදා නොසෑහෙන්න ඇඩුවා දරුවෝ දෙන්නා එක්ක යන්න දෙන්න කියලා. ඒ විදිහට ලොකු කට්ටක් කෑවා කොළඹට එන්න. අපි කොළඹ ඇවිත් ජීවත් වුණේ වැල්ලවත්තේ.
නිවේදකයෙක් වෙන්න පාර කැපෙන්නේ කොහොමද?
කොළඹට ආවට පස්සේ මම පාසල් ගියේ සෙන්පීටස් කොෙල්ජ් එකට .මම පාසල් කාලේ වේදිකා නාට්‍ය,සංගීතය, නර්ථනය, නිවේදනය පැත්තනේ ඉස්සරහට යන්න ලොකු පිස්සුවක් තිබුණා. මම සාමාන්‍යපෙළ ගණිතය අසමත් වුණාම මට නැවත අධ්‍යාපනය පැත්තට ඔළුව ගියේම නැහැ. අම්මා කිව්වේ ඔයාට පුළුවන් දේ කරන්න කියලා විතරයි. එතකොට මගේ වයස අවුරැදු 17 යි. මම ගියේ රේඩියෝ පැත්තට. මම ඉතින් ඔය තියෙන හැම එකකටම කතා කරකර රස්සා හොයන කොට රේ ගොමස් මහත්මා කියලා කෙනෙක් තමයි මට ගෝල්ඩ් එෆ් එම් රේඩියෝ එකේ රැකියාව දුන්නේ. ටීවී නිවේදකයෙක් වෙන්න ආසාව තිබුණත් මේ කැත මූණට ටීවී එකේ අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියලා හිතුනා. මොකද ඒ කාලේ මම ටීවී නිවේදකයෝ දැකලා තිබුණේ ලස්සන අය විතරයි. කොහොම හරි ඒ විදිහට තමයි මගේ මාධ්‍ය ගමනේ ආරම්භය. හැබැයි රේඩියෝ වලින් මම මීඩියා ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රේඩියෝ වල වැඩ කරලා මම ඊට පස්සේ එනවා ටීවී පැත්තට මුලින්ම එන්නේ මහරාජා ආයතනයට.
ධනු කොහොමද සිංහල කතා කරන්න පුරුදු වුණේ?
ඇත්තම කියනවනම් මම රස්සාවට එනකොට සිංහල සහ ඉංග්‍රිසි දෙකම කතාකරන්න දන්නෙ නැහැ. අම්මා ඉංග්‍රිසි ගුරුවරියක් වෙලත් මට ඉංග්‍රිසි කතා කරන්න බැරි නිසා අම්මා හරියට මට බැන බැන හිටියේ. කොහොම හරි මම ඉංග්‍රිසි කතා කරන්න පුරුදු වුණා. තාම මට සිංහල ලියන්න සහ කියවන්න දෙකම බැහැ. හැබැයි මට කතා කරන්න ඕන වුණා. මම වැඩ කරන තැන් වල ඔක්කොමලා කතා කරන්නේ සිංහලෙන්. මට වැඩ කරගන්න හරියට අමාරු වුණා. හැබැයි මට සිංහල කතා කරන්න ලොකු ආසාවක් තිබුණා. කෙහොම හරි ඉගෙන ගත්තා. මගේ වටේ හිටපු යාළුවෝ ගොඩාක් උදව් කළා. නමුත් මගේ අම්මාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්.
අද ඉන්න තැන ගැන ධනුට මොකද හිතෙන්නේ?
මට අද ගෙවන ජීවිතේ ගැන සතුටුයි. අද වෙනකොට හිතාගන්න බැරි තරම් දේවල් ටිකක් මගේ ජීවිතේට ලැබිලා තියෙනවා. වැල්ලවත්තේ පොඩි කාමරයක සිමෙන්ති පොළවේ නිදාගත්ත මගේ ජීවිතේ මේ වගේ තැනකට මාරුවෙයි කියලා ජීවිතේට හිතුවේ නැහැ. තාත්තා නැතිවුන දා ඉඳලා අක්කාවයි මාවයි හදාගන්න අපේ අම්මා නොවිඳිනා දුක් වින්දා. අවුරුදු 15 ක් විතරම ජීවිතේ වින්දේ කටුක දේවල්ම තමයි. හැබැයි අපේ අම්මා අක්කාවයි මාවයි සතුටු කරන්න පුළුවන් හැමදේම කළා. අම්මා එක්ක ඉන්න කාලේ අක්කායි මායි හරිම සතුටෙන් ජීවත් වුණා. අද මට ලැබිලා තියෙන දේවල් ඔක්කෝම දීලා හරි මට ලබාගන්න පුළුවන් දෙයක් තියෙනවනම් මම අම්මාව මගේ ලගට ගන්නවා. මට විශ්වාස කරලා රුකියාවක් දුන්න අවස්ථා දුන්න හැමෝටම මම පිං දෙනවා.
යාපනය ඉන්න කාලේ ඉඳලා මම ආසම නත්තලට.
මගේ අම්මා අසනීප වෙලා හොස්පිට්ල් ගියේ 2010 දෙසැම්බර් මාසේ 2 වෙනිදා. යනකොට කිව්වා මම එනවා නත්තලට ගෙදර කියලා.මම නත්තල් ගහක් සරසලා තිබ්බා අම්මා එයි කියලා හැබැයි අම්මා ආවේ නැහැ. මට අවුරුදු 23 අම්මා නැතිවෙනකොට. අදටත් අම්මා වෙනුවෙන් අපි නත්තල් ගසක් ලස්සනට සරසනවා. නත්තල කියන්නේ අම්මාව හැම මොහොතකම මතක් වෙන මාසයක්. නත්තල් දාට පල්ලියට ගිහින් අදටත් අක්කායි මායි අඩනවා.
ධනුව ඉස්සරහට තව තව නිරිමාණ වලින් දැකගන්න පුළුවන් වේවිද?
තව තව රඟපාන්න ඕන කියලා පොඩි පිස්සුවක් තියෙනවා. මේ දිනවල ජානු ටෙලි නාට්‍යයෙත් රගපානවා. ඒක ටිකක් නොසන්ඩාල චරිතයක්. මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම. මම ආසයි විවිධ විවිධ චරිත කරන්න. ඉන්දිය නිර්මාණයකටත් දායක වුණා එය අධ්‍යක්ෂණය කලේ විජේ සේදුපතිගේ. ලබන වසරේ එයත් තිරගත වේවි. තව අලුත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදි ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නදීශා අතුකෝරළ