අපි ලංකාවට පලවෙනි වතාවට ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝව ගෙනාවා දුම් දුම් රැළි රැළි ගීතය හරහා
මීට දශක දෙකකට පමණ පෙර පටන්ම ලංකාවේ ගීත ලෝලීන් ආදරෙයන් වැළඳගත් සංගීත කණ්ඩායමක් තමයි B Positive. ඔවුන් නිර්මාණය කළ ගීත අදටත් ජනප්‍රියයි. එමෙන්ම ඒ ගීත තවමත් අතීතකාමයෙන් අසන පිරිසක් සිටිනවා. කෙසේවෙතත් B Positive හි ලසිත පෙරේරා ළඟදීම තවත් ගීත කිහිපයක් එළිදක්වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ පිළිබඳව දැනගැනීමට සාරවිට අප ලසිතව කතාබහකට එකතු කරගත්තා.
ලසිත, මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල වැඩ ගොඩක්ම සිදුවෙනවා. අපේ හින්දි ගීත කිහිපයක්ම මේ දවස්වල හැදෙනවා. ඒ වගේම ඉංග්‍රිසි ගීත කිහිපයකුත් සිංහල ගීත කිහිපයකුත් මේ දවස්වල හැදෙමින් තිබෙනවා. මගේ ඇකඩමි එකෙන් අළුත් ආටිස්ට්ලා කිහිපදෙනෙක්ම එළියට ආවා. ඒ වගේම මගේ ‘හම් තුම්’ ගීතයේ ට්‍රේලර් එක එළිදක්වලා තිබෙනවා. ඒ වගේම මගේ ටැමිල් ප්‍රඩක්ෂන් එකක් ඉන්දියාවේ එළිදැක්වූවා. මේ 18 වැනිදාට මගේ අළුත්ම ගීතය වන ‘උමතු වෙලා’ ගීතය එළිදක්වනවා. හින්දි ගීතයත් මේ සතියේ එළිදක්වනවා. ඒ වැඩත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
‘උමතු වෙලා’ ගීතය ගැන කිව්වොත්?
මේ ගීතය EDM වලට බර ලැටින් ටයිප් ගීතයක්. ගීතයේ මියුසික් කළේ මගේ පුතා ඔමිත් පෙරේරා. තනුව සහ වචන මගේ. මේකේ මාත් එක්ක වොයිස් කරනවා ගායත්‍රී. එයයි මමයි තමයි ගීතය ගායනය කරන්නේ. වීඩියෝ එක කළේ චමු ශ්‍රී. මේ 18 වැනිදා සවස හතට අපි නුවර cocoba එකේදී නිල වශයෙන් එළිදක්වනවා. ඒකට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක්ම එනවා. ඊටකලින් 16දා නුවර අළුත් හෝටලයක් විවෘත කරනවා. එහි විවෘත කිරීමේදී මගේ ‘හම් තුම්’ ගීතය එළිදක්වනවා.
ලංකාවෙන් එළියට මියුසික් ගෙනියන්න පටන් ගන්නේ කොහොමද?
ඇත්තටම අපි B Positive ගහන කාලේ අපිට ඇත්තටම ලොකු වයිබ් එකක් තිබුණේ නැහැ වෙන භාෂාවකින් සිංදු කරන්න ඕනේ කියලා. ඒ වුණාට ඒක තමයි ලංකාවේ පළවෙනි ත්‍රිමාණ සජීවීකරණ මියුසික් වීඩියෝව. ඒක මාස අටක් විතර අපි ඇනිමේෂන් කළා. ඒ විෂුවල් එකෙන් ඒ කාලේ අපි ගැන ගොඩක් අය කතා කළා අපි ඉන්ටර්නැෂනල් වැඩක් කළා කියලා. ඇත්තටම අපි දන්නේ නැහැ ඒක ඒ කාලේ කොච්චර ලංකාවෙන් එළියට ගියාද කියලා. ඒ කාලේ යූ ටියුබ්, ෆේස්බුක් සෝෂල් මීඩියා මුකුත් තිබුණේ නැහැනේ. එතකොට අපි ටෙලිවිෂන් එකෙනුයි රේඩියෝ එකෙනුයි තමයි සිංදු හිට් කළේ. ඒ කාලේ අපිට ලොකුවට ඉන්ටර්නැෂනල් මාර්කට් එකට යන්න පාලමක් තිබුණේ නැහැ. දැන් ඉතින් සෝෂල් මීඩියාවලින් ඒ පාර හැදිලා තිබෙනවා. ඒ හරහා ඉන්ටර්නැෂනල් මාර්කට් එකට සිංදු ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා වෙනස් වෙනස් භාෂාවලින් සිංදු කරන්න ඕනේ කියලා. පහුගිය කාලේ යොහානිලාත් ඉන්දියාවේ වැඩ ගොඩක් කරානේ. අපිට ළඟම රටත් ඉන්දියාව. අපි ඉතින් මුලින්ම ඉන්දියාවේ ඕඩියන්ස් එක අල්ලන්න ඕනේනේ.
ඔබේ මියුසික් ඇකඩමිය ගැනත් කිව්වොත්?
අපි ඇකඩමිය පටන් අරගෙන දැන් අවුරුදු විසි හතරක් විතර වෙනවා. මම ඒ අවුරුදු විසි හතරට ළමයි පහළොස්දාහකට පමණ උගන්වලා තිබෙනවා. මගෙන් ඉගෙනගත්තු දැන් වැඩ කරන සෑහෙන පිරිසක් මේ වෙද්දි ලංකාවේ ඉන්නවා.
එදා ලංකාවේ මියුසික් ගැනයි අද ලංකාවේ මියුසික් ගැනයි මොකද හිතන්නේ?
ඒ කාලේ අපිට ලොකු තරඟයක් තිබුණා ෆීල්ඩ් එකට එන්න. අපිට වඩා සීනියර් ආටිස්ට්ලා හිටියා. ආධුනිකයන්ට ලොකු දෙයක් කරන්න තිබුණා එතකොට. දැන් ඉතින් තමන්ට ගෙදර ස්ටූඩියෝවක් දාගෙන සිංදුවක් හදලා යූ ටියුබ් දාලා එන්න පුළුවන්. අපි ෆීල්ඩ් එකට එන්න අවුරුදු එකහාමාරකට කලින් තමයි භාතියලා ෆීල්ඩ් එකට ඇවිත් හිටියේ. ඒගොල්ලෝ ගොඩක්ම හිට් වෙලා ඉද්දි තමයි B Positive බෑන්ඩ් එකේ අපි එන්නේ. අපිටත් ඒ වගේම Uncommon වැඩ කරන්න සිද්ධ වුණා. ආටිස්ට්ලාගේ හිත දිනාගන්න සිද්ධ වුණා. මීඩියාවල හිත දිනාගන්න වුණා. අපි ගොඩක් ලොකු අමාරුවෙන් ඒ කාලේ ආවේ. දැන් එහෙම නැහැ. අපි චැනල්වලට එකම සිංදුව දහස්වතාවක් අරගෙන ගිහිල්ලා ඇති ප්ලේ කරගන්න. දැන් ගෙදර ඉඳලාම තමන්ගේ චැනල් එකේ සිංදුවක් පබ්ලිෂ් කරන්න පුළුවන්නේ. දැන් ඒ තරඟකාරීත්වය අඩු වෙලා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
හම් තුම් එක ගැන ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වෙද්දි මගේ ට්‍රේලර් එක ඉන්දියාවේ ගොඩක් අය බලලා තිබෙනවා. මට තේරෙනවා හම් තුම් ගීතය ඉන්දියාවේ බොහෝ දෙනෙක් නරඹයි කියලා. උමතු වෙලා ගීතය EDM සහ ලැටින් මික්ස් කරපු ගීතයක්. මේ ස්ටයිල් එක ලංකාවට අළුත් වෙයි. උමතු වෙලා ගීතයේ මියුසික් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ඒ ගීතයත් අතිශයින්ම ජනප්‍රිය වෙයි කියලා හිතනවා. ඒ වගේම ඉදිරියේදී තවත් ප්‍රඩක්ෂන් කිහිපයක්ම එළියට එන්න තිබෙනවා.
සාකාච්ඡා - කැළුම් දේවින්ද