අපි ලොක්කො ගැන හිතලා, එයාලව පත් කරවන්න වෙහෙසෙනවා
විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ, නීල පබළු සහ අප්‍රේල් පළමුවැනිදා විකාශයට නියමිත බයිස්කෝප් ටෙලිනාට්‍ය සහ පොඩි වැඩ්ඩෝ සමග ද අපට හමුවන ප්‍රවීණ රංග ශිල්පි, ගිහාන් ප්‍රනාන්දු. ඊට අමතරව අප්‍රේල් 5 වැනිදා සිට ප්‍රේක්ෂකයන් හමුවට සජිවිව පැමිණෙන්නේ ‘‘ලොක්කා ලෙඩ වෙලා’’ වේදිකා නාට්‍යය සමගය. එය ඔහුගේම නිර්මාණ අධ්‍යක්ෂණයකි. වේදිකාවේ මෙතෙක් රංගනයෙන් බොහෝ දේ කළ ද ‘ලොක්කා ලෙඩ වෙලා’ යනු ගිහාන් ගේ ප්‍රථම නිර්මාණ වෑයමය. මේ විදිහට ඔහුගේ මේ වේදිකා නිර්මාණයට අමතරව වේදිකා ගතවන- බල්ලොත් එක්ක බෑ-2 , චරිතෙ හොරු අරං, නැතුව බැරි මිනිහෙක්, ඊඩිපස් සහ 361 යන නාට්‍ය සමග සති අන්තයේ දී රටේ කොතැනකදි හෝ ඔහු ඔබට සජිවීව හමුවේ.
‘‘සති අන්තයේදි මම රටේ
කොහේ හරි තැනක, වේදිකා
නාට්‍යය රංගනයක,
අනෙක් දිනවල ටෙලිනාට්‍ය
රූගත කිරීම්වල’’.
ඒ විදියට අදහස් ප්‍රකාශ කරන ගිහාන් සමග අද අප කතා කරන්නේ විශේෂ මාතෘකාවක් ඔස්සේය. එනම් ‘‘තාත්තයි- පුතයි’’ විශේෂාංගය වෙනුවෙනි. ඊට අමතරව අපි ඔහුගේ මේ අලුත්ම නාට්‍ය නිර්මාණය වන ‘‘ලොක්කා ලෙඩ වෙලා’’ නාට්‍යය ගැනත් කතා කරමු.
‘‘තාත්තයි-පුතයි’’ මාතෘකාව ඔස්සේ කතා කිරීමේදී ඔහුට සිටින්නේ දියණියන් තිදෙනෙකි. කොහොම වුණත් මව්පියන් දියණියන්ට හෝ පුතුනට කතා කරන්නේ ‘පුතා’ යනුවෙනි. එනිසා මාතෘකාවට අදාළව ගිහාන් අපට කියන්නෙ මොනවද බලමු.
ගිහාන්, මුළු සතියම කාර්ය බහුලයි වගේ. ගෙදර ඉන්න දවසක් තියෙනව ද?
ගෙදර ඉන්න කාලය හරි අඩුයි. ගෙදර ඉන්න වෙලාවට කරන්නෙ ගෙදර කට්ටිය එක්ක කොහේ හරි එළියට යන එක. නමුත් මේ දිනවල තමයි මම මගේ ජීවිතයේ අවිවේකිව කාලය ගෙවන්නෙ.
ඒකට හේතුව?
අන්තිමට 2016 දී මගේ නාට්‍ය ජීවිතයේ වසර විසිපහක් පිරීම නිමිත්තෙන් නාට්‍ය උලෙළක් කළා. ඉන්පසුව වැඩියෙන්ම මහන්සි වුණේ මේ වැඩේට. මගේ නාට්‍ය ජීවිතයට වසර 35ක් පිරීම සමග මම විසින්ම නිර්මාණය කළ ‘ලොක්කා ලෙඩ වෙලා’ නාට්‍යය වෙනුවෙන් රඟපාන අවස්ථාවලදී කළ යුතු කැපවීමට වඩා මේ වගේ දෙයක් කරද්දී ඒක විශාල වගකීමක්.
මේ නාට්‍යයෙන් මොන වගේ කතාවක්ද කියන්නේ?
කිව්ව හැටියෙ හැමෝම හිතන්න පුළුවන් මේක දේශපාලන ප්‍රහසනයක් කියලා. එහෙම එකක් තමයි. ඒත් මම කියන්න හදන්නෙ ලොක්කා කියන්නෙ දේශපාලන චරිතයක් නොවෙයි. සමාජයේ තමන් නියෝජනය කරන අංශයේ ලොක්කෙක් වෙච්ච ගමන් එයා ලෙඩ වෙනවාය කියන එක ප්‍රකාශ කරන්නෙ. ඒක දේශපාලනයේදි අපට හොඳට පෙනෙනවා. නමුත් ආයතනයක හෝ වෙනත් ඕනෑම වෘත්තියක ‘ලොක්කා’ වූ විගස ඒ ලොක්කා ලෙඩ වෙනවා.
ඔබ කියන්නේ කෙනෙකුට තනතුරක් ලැබුණාම ඔය ලෙඩේ හැදෙනව කියල ද?
හරියටම හරි, අපේ ලංකාවේ විදිය එහෙමයි. ඒ නිසාම තමයි මේ රට මේ විදියට විනාශ වෙලා තියෙන්නෙ. අපි ලොක්කො ගැන හිතලා, එයාලව පත් කරවන්න වෙහෙසෙනවා. හැබැයි පත්වුණාම එයාලා ලෙඩ වෙනවා. අනෙක පොඩි සල්ලිකාරයෙක් වෙලා ලොක්කෙක් වෙන්න බැහැ. ලොකු සල්ලිකාරයෙක් වෙලා ලොක්කෙක් වෙන්න පුළුවන්.
මේ නාට්‍යයේ සිටින පිරිස?
ලොක්කා ලෙඩ වෙලා නාට්‍යයේ, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ආලෝක සම්පත්, සමන්ත පරණලියනගේ, මධුෂානි වික්‍රමසිංහ, කසුන්, ඉසුරු, රවින්ද්‍ර සම්පත් එයාලා ඔක්කොම රඟපෑමට අමතරව මේ නාට්‍යයේ විවිධ දේ සඳහා දායක වෙනවා. මේක මේ මුළු කණ්ඩායමේ සාමුහික ප්රයත්නයක්.
කවද ද මංගල දර්ශනය පැවැත්වෙන්නෙ?
අප්‍රේල් 5 වැනිදා සවස 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙනවා. කොළඹින් පිට අප්‍රේල් 6 වැනිදා රුක්මණී දේවි රඟහලේ සවස 3.30ට සහ 6.30ට පැවැත්වෙනවා. අප්‍රේල් 7 විශේෂ දර්ශනයක් පැවැත්වෙන්නෙ. කොළඹ සුදර්ශි ශාලාවෙ අභිනවයෙන් විවෘත වූ එළිමහන් රංගපීඨයේදී. එම එළිමහන් රංග පීඨයේදී රඟ දැක්වෙන පළමු නාට්‍යය. ‘ලොක්කා ලෙඩ වෙලා’. ඒක අපට වගේම ප්රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.
ඇයි මේ නාට්‍යය නැරඹිය යුත්තෙ?
නාට්‍ය කලාවේ නිරතවන කෙනෙක් හැටියට මේ මොහොතේ අපෙන් සමාජයට යම්කිසි පණිවුඩයක් දිය යුතුයි. අඩු තරමින් මේ එන ඡන්දයේදීවත් ලෙඩ නොවන ලොක්කෙක් අපි තෝරා ගන්නට ඕනෑ. මිනිස්සු ඇති තරම් දුක් විඳිනවා. ඒත් මොනවා හරි දෙයක් දුන්න හැටියෙ එයා තෘප්තිමත්, නමුත් රට දියුණු කරන්න එහෙම වෙලා බැහැ.
ගිහාන් ඔබගෙ ඒ නාට්‍යය ප්‍රේක්ෂකයින්ට බාරකර, අපි ඔබගේ තාත්තාගේ භූමිකාව ගැන කතා කරමු.! ඔබ තාත්තා වූ දවසේ ඇතිවූ හැඟීම් විස්තර කරමු?
නිර්මාණකරුවකු තමන්ගේ නිර්මාණයක් එළි දක්වන මොහොතේ ඇතිවන සතුට මෙන් හැඟීමක් තමයි තමන්ගේ ලේ වලින් උපදින දරුවකු බිහිවන අවස්ථාවෙ ඇතිවන්නෙත්. ඒ වගේම ඕනෑම තාත්තෙකුට ඇතිවන බිය මෙන්, මටත් බියක් ඇති වුණා. මම ඉස්පිරිතාලෙට ගිහින් දරුවා බලද්දී එයා සියලු දෙයින් නිරෝගී දරුවකු ද කියන හැඟීම ගැන තමයි මම බැලුවෙ. අතපය වැඩ කරන, ඇස් පෙනෙන, සම්පූර්ණ ළමයකුද කියන දේ තමයි මම හිතන්නෙ ඕනෑම කෙනෙකුට ඇති වන්නෙ. සැම මවක-පියකු කැමති තම දරුවා නිරෝගී සම්පන්න දරුවකු ලෙස දැකීමනෙ. මටත් ඒ වගේ හැඟීම ඇති වුණේ. මම හිතන්නේ මාගේ ජීවිතේ වඩාත්ම සතුටට පත්වූ දවසක්.
ඔබට සිටින්නෙ දියණියන්ම තිදෙනෙක්?
ඔව්, මල් වගේ දුවරු තිදෙනෙක්.
දියණියන් පමණක් සිටීම ගැන හිතන විදිය සහ පියකු ලෙස ඔබ හිතන විදියට.?
දරුවො කවුරුත් එකයිනෙ. ඉතින් සමාජයේ සමහර අය හිතන විදිය තමයි, දරුවො තාත්තාට බයෙන් ජීවත් විය යුතුය කියලා. තාත්තා ගෙදර එනකොට සමහර ළමයි හැංගෙනවා. හැබැයි මවක-පියකු කියන්නෙ දරුවකුට ඉතාම සමීපව සිටිය යුතු චරිත. එහෙම ඉන්නවා නම් මේ සමාජයෙ ළමයින් නරකට යොමුවන අවස්ථා අඩුයි.
විවාහයේ දී දරුවන්ට ඔබ කියන්නෙ?
විවාහය හරියන්න, වරදින්න පුළුවන්. හැබැයි තමුන් කැමති කෙනා තෝරාගැනීම තමයි ඉතා වැදගත්. අම්මා තාත්තා කී නිසාම හෝ හඳහන්කරු කී නිසා ඒ තෝරාගැනිම කළ යුතු නැහැ. ජාතිය-ආගම ගැන හිතලා නොවෙයි, තමුන්ට ජීවිතේ බොහොම සතුටින්-පහසුවෙන් ගත කරන්න පුළුවන් කෙනෙක් සොයා ගැනීමයි වඩා හොඳ. ඒ නිදහස මම එයාලට දුන්නා. අද එයාල 28, 27 වගේ වයසේ දරුවො. අදත් එයාලා- එයාලගෙ තාත්තා ගාවට ආවාම හැසිරෙන්න අවුරුදු 10-12 දැරිවියන් වගේ.
මේ දියණියන් කලාවට සම්බන්ධ නැද්ද?
කලාවට සම්බන්ධ නැහැ. එක්කෙනෙක් ගණකාධිකරණ අංශයෙන් ඉහළට යන අතරේ, අනෙක් දෙන්නා රූපලාවන්‍ය අංශයෙන් ඉදිරියට යන්න ආසා බව පෙනෙනවා. ඒ නිසා එක්කෙනෙක් විදේශගත වෙලා. එක්කෙනෙක් නුවර රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. එයාලා ඡායාරූපයකටවත් එන්න කැමති නැහැ. ඒ තරමටම එයාලා ස්වාධීනව කටයුතු කරන හොඳ දියණියන් තිදෙනෙක්.
ඔබගෙ අරමුණ වුණේ? දියණියන් ගැන?
එයාලට කැපී පෙනෙන චරිත ලෙස පෙනී සිටින්න අවශ්‍ය වුණේ නැහැ. මාත් ඒ නිදහස එයාලට දුන්නා. රැකියාවෙදි අධ්‍යාපනයේදි සහ එයාලගෙ ජීවිතයේ සෑම කටයුත්තකදිම මම එයාලට මග කියා දී උදව් කළා. අද එයාලා ඒ සියලු දේ වෙතින් ජීවිත සැහැල්ලුවෙන් ගමන යනවා. මගේ විදේශගතව සිටින දියණිය සේවය කරන්නෙ ඉන්දියානු සම්භවයක් ඇති ආයතන ප්‍රධානියකු යටතේ. දියණියට හින්දි භාෂාව පුළුවනි. ඉතින් ඒ දේවල් අවශ්‍යයි කිව්වාම මම එයාලට ඉගෙන ගන්න උදව් කළා. අද එයාලගෙ ගමනට ඒ දේ පහසුවක් වෙලා. කිසිමදාක මම එයාලට බලපෑම් කරලා නැහැ. පිරිමිද-ගැහැනුද කියන හැඟීමට වඩා මට දරුවා කියන හැඟීම තමයි තියෙන්නෙ. දියණියන් තිදෙනාම මට අගනා වටිනා මැණික් කැට තුනක් වගෙයි. මගේ බෑනලා ඇසුරු කරන්නෙත් මගේ පුතාලාම විදියටයි. එයාලත් මට හරිම ආදරෙයි.
මෙච්චර තරුණ ඔබ දියණියන් දීග ගිය තාත්තා කෙනෙක්? ඒ ගැන කොහොමද හිතන්නෙ?.
මම විවාහ වුණේ ඉතාම තරුණ කාලයේදි. මම හිතන්නෙ ඒකත් මගේ ජීවිතයට වාසියක්. වාසනාවක් ගෙන දුන්නා. අපි නිරතව සිටින ක්ෂේත්රයේ ගත කරන්නෙත් සතුටින් නිසා ඔබ ඔය කියන තරුණ පෙනුම මගෙත් දකිනවා ඇති. හිත සතුටින් නම් පෙනුමත් මම හිතන්නෙ එළියයි. රටේ ලෝකයේ මිනිසුන්ගෙ ආදරය ලැබෙනවා. වැඩිහිටියන් වගේම දරුවො එක්කත් වැඩ කරනවා. ඒ සියලු දේ නිසා අපි නිතරම සතුටින්. මම හිතන්නෙ ලෝකයේ වාසනාවන්තම රස්සාව මේක වෙන්න ඇති. අපිට මිනිස්සු පිනවීමේ පින ලැබිලා තියෙන්නෙ. සතුටම වෙන්නැති අපි මේ විදියට තියලා තියෙන්නෙ.
ආදරණීය බිරිඳ ගැන?
මගෙත් දියණියන් තිදෙනාගෙත්, හැමෝගෙම ආදරය ඇයට. මම වගේ වෘත්තියක නිරත වන කෙනෙකුට තමුන්ගෙ පවුල වෙනුවෙන් කැප කරන්න තියෙන කාලය මදි. බිරිඳ තමයි අදටත් ගෙදර සියලු වැඩ ටික බලන්නෙ.
සඳුන් ගමගේ