අපේ ගෙදර හදන ඕනෑ කෑමක් මට රසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රැල්ල වෙරළට ආදරේයි ටෙලි නාට්‍යයේ යෙනුකි ලෙස ඔබේ ආදරය දිනා සිටින දසුනි සෙනිත්මා සාරවිට තරු කතාබහට අද අප සමග මෙසේ එක්වුණා. කලාව සම්බන්ධ ප්‍රශ්න හැමවිටම ඇයට යොමු කරන නිසාම මෙවර අපි දසුනිට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්.

නර්තනය හා රංගනය අමතරව දසුනි තව දක්ෂ මොනවටද?

මම නර්තනයට හා රංගනයට අමතරව පාසල් මට්ටමෙන් නම් චිත්‍ර හා සංගීතයටත් සම්බන්ධ වෙලා හිටියා. ඒ අංශවලින් ජයග්‍රහණ පවා ලබාගත්තා. ඊට අමතරව ක්‍රීඩාව පැත්තෙන් නෙට්බෝල් ක්‍රිඩාවටත් ගොඩක් දක්ෂ කෙනෙක් මම.

විලාසිතාවලට දසුනිගේ තියෙන කැමැත්ත කොහොමද?

ගොඩක් තරුණ පිරිස දැන් විලාසිතා කරනවා නේ. මාත් ඉතින් ඒ ගොඩේ ඉන්නවා. හැබැයි මම එන හැම විලාසිතාවක් භාරගන්නේ නැහැ. තැනට උචිත විදිහට මට ලස්සනයි කියලා හිතෙන විදිහට මම අදිනවා.

කන්න ආසම කැම ජාති මොනවද?

ගෙදර හදන ඕනෑ කෑමක් මට රසයි. මගේ අම්මට හොඳට රසට උයන්න පුළුවන්. ඉතින් කොහේ ගිහින් කැවත් අම්මාගේ කැම එක තරම් මට අල්ලන්නේ නැහැ අනිත් ඒවා.

විදේශිය චිත්‍රපට, ටෙලි නාට්‍යය එහෙම නරඹනවාද?

ඔව්, ගොඩක් වෙලවට ගෙදර ඉන්න කොට කරන වැඩක් තමයි ඒක. රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරද්දි ඒ වගේ දේවල් බලන එක ඉතා වැදගත් කියලයි මට හිතෙන්නේ. අපිට රංගනය ගැන යම් දේවල් මේ විදේශිය නිර්මාණ බලලා ඉගෙන ගන්නත් පුළුවන්.

ආදර යෝජනා එහෙම දසුනිට ලැබිලා නැද්ද?

යෝජනා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒත්, මම ඒ එකක්වත් භාර ගත්තේ නැහැ. මොකද, ඒ වගේ දෙයක් හිතන වයසක නෙමෙයි මම ඉන්නේ. තාම මට වයස අවුරුදු 17යි. ඉතින් ඒ දේවල්ඔක්කොම මම මගේ අම්මාට භාර දීලා තියෙන්නේ. සුදුසු කාලේදී අම්මා ඒ තිරණ ගනියි.

බුද්ධික සේනාධීර