අපි කෝ අහගෙන ඇමෙරිකාවේ ජනාධිපති වේදිකාවට ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩාම සන්ධියේ සිට වයසට අනුව යමින් වැඩිදියුණු වුවද ජීවිතයේ අප ළංවන වෘත්තීය පිළිබඳව අප විවිධාකාර සිහින දකින්නෙමු. ඒ අතර දියණියක නම් තම මෑණියන් වැනි කෙනෙකු වීමද පුතෙකු නම් පියා මෙන් වීමද පුංචිම කාලේ අපේ සිහිනයයි. ඔහුද කුඩාම වියේදී සිතුවේ පියා වගේ වීමටය. කලාවට ඔහුගේ පවුල තුළ තිබූ නෑදෑකම් ගැලපුණා වනු ඇත්තය. එහෙත් අද වනවිට දශක 5ක් පුරා පැතිරී යන ඔහුගේ නර්තන චාරිකාව නම් සැබෑ ලෙසම රඳා පවතින්නේ ඔහු සතු අසමසම නර්තන කුසලතාවය නිසාමය. නිර්මාණශීලීත්වය නිසාමය. අලුත් අලුත් දේ සොයා යමින් නිරතුරු යාවත්කාලීන වන නිසාමය. මෙරට ජනප්‍රිය නර්තන කලාවේ ඉහළින්ම ඔහුගේ නම සටහන්ව ඇත. නර්තනයේ අද හමුවන බොහෝ නර්තනවේදීන්ගේ ගුරුවරයා ඔහුය. ඔහු නමින් ආචාර්ය චන්න විජේවර්ධන නම් වන්නේය. අද හදසර අපේ කතාබහ මෙම ප්‍රවීණ නර්තනාචාර්යවරයා සමඟින්ය.

ඉසිපතන විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළ චන්න තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හිරු නොබසින අධිරාජ්‍යයේය. ඔහුගේ ආදරණීය පියා විදේශ සේවයේ නියුතු වීම හේතුවෙන් ඔවුනට කුඩා කල සිට විවිධ රටවල ජීවත්වීමට සිදුවූ අතර චන්න මෙලොව එළිය දුටුවේද විදේශයකදීය. ඔහුට වැඩිමල් සහෝදරයෙකු හා සහෝදරියක සිටින අතර බාල සහෝදරිය හදිසියේම ජීවිතයෙන් සමුගෙන ගියාය. මව රුකියාවක් නොකළ අතර ඇය දරුවන්ගේ සියලු වගකීම් දරමින් පවුල ඉදිරියට රුගෙන යාමට පියා සමඟ කැපවුණාය. මේ වනවිට ඔහුගේ ආදරණීය මව (චිත්‍රා විජේවර්ධන) සහ පියා (ප්‍රේම් විජේවර්ධන) දෙදෙනාම ජීවතුන් අතර නැත. &පුංචි කාලේ මම ටිකක් දඟයි. අලුත් දෙයක් කරන්න වෙනත් දෙයක් කරන්න මම හරි ආසයි. තෑග්ගක් හමුබවුණත් එසැණින් ඒවා ගලවලා බලනවා. සෙල්ලම් කාර් එකක් වගේ හම්බවුණත් ඒකේ රෝද ගලවලා ආයෙ හයි කරනවා. මාව අම්මා එළියට එක්ක ගියෙත් බඩමැදින් පටියක් දාලා. පොඩ්ඩ බැරිවුණ ගමන් මම දුවනවනේ ඒකයි.* චන්න විජේවර්ධන පවසනුයේ සිනාවෙමිනි.

චන්න පාසල් කාලයේ සිටම ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කළේය. මලල ක්‍රීඩාවට ඔහු උපන් හපනෙකු විය. එමෙන්ම රගර්, පැසිපන්දු ආදී ක්‍රීඩාවලද ඔහු නිරත විය. නිහාල් මෙන්ඩිස් යනු පාසල් රගර් කණ්ඩායමේ නායකයාය. එවක චන්නගේ ජීවන ආදර්ශය බවට පත්ව සිටියේ එම දක්ෂ ජවසම්පන්න නායකයාය. තවද ඔහු පාසල් කාලයේම චිත්‍රසේන ඇඳුරාණන්ගෙන් නර්තනය හැදෑරීමට යොමුවිය. එය ඔහුගේ ජීවන රිද්මය වෙනස් කළ හමුවීමක් විය. ජවයෙන් හැඩයෙන් විශිෂ්ට නර්තන ගුරුවරයා එදා සිටම ඔහුගේ ජීවිතයට පාර කියන තාරකාවකි. දශක පහක් පුරා විහිද පැතිර යන නර්තනයේ චන්න විජේවර්ධන නම් දක්ෂ නිර්මාණකරුවාගේ නර්තන සම්ප්‍රාප්තිය සිදුවූයේ එලෙසය.

නර්තන කලාව තුළ නවමු අත්හදාබැලීම්, නිර්මාණයන් නිසාම ඔහුගේ නර්තනයන්ට බොහෝ විවේචන එල්ල විය. එහෙත් කාලයේ ඇවෑමෙන් විවේචකයින්ද ඔහුගේ නර්තන හැකියාව අගයන්නට පටන් ගත්තෝය. &කරදිය* මුද්‍රා නාටකය තුළින් ඔහු නර්තන කරළිය තුළ කරණම් ගසන්නට ආරම්භ කළ අතර, ක්‍රීඩාවේ චලනයන්, උපයෝගී කරමින් ඔහු කළ ස්වෛරී ඒකපුද්ගල රංගනය තුළින් ඔහු ජන ආකර්ෂණය දිනුවේය. ඒ 1979දී පමණය. ඉන්පසුද වරින්වර ඔහු ඉතා විශාල මුද්‍රා නාටකවල චන්න ප්‍රධාන චරිතය නිරෑපණය කළ අතර මේ වනවිට නර්තන අංගයන් හයදහසක් ඉක්මවා ඇත.

1981 වසරේ චීනය, බැංකොක්, හොංකොං සඳහා නර්තන කණ්ඩායමක් රුගෙන යාමට චන්න විජේවර්ධනට අවස්ථාව උදාවිය. එහිදී ප්‍රවීණ නර්තනාචාර්ය පණීභාරත යටතේ පුහුණුවීමට ඔහුට ඉඩ ලැබිණ. මාස තුන හතරක් පුරා පැවති පුහුණුවීම් අතරතුර ඔහුට ඔහුගේ ජීවිතයේ වඩාත් සුවිශේෂ කාන්තාවක හමුවූ අතර ඇය නමින් උපුලී පණීභාරත වූවාය.

පුහුණු කාලයෙන් පසු ඔවුහු එම අදාළ විදේශ සංචාරයේ යෙදුණහ. ඉන්පසු උපුලී ඇතුළු ශිල්පිනියන් පිරිසක් චන්න විජේවර්ධන යටතේ නර්තනය හැදෑරීමට එක්වූ අතර එම හැදෑරීම ප්‍රේමයක් කරා සිත් මෙහෙයවන්නට විය. විවිධ නර්තන අංග මෙන්ම යුගල නර්තනයන් රුසක්ද චන්න උපුලී වෙනුවෙන් නිර්මාණය කළේය. එසේම ඔවුන් දෙදෙනාගේ නර්තන සුසංයෝගය කාගේත් කතාබහට ලක්විය. ප්‍රේමයක් සිත්වල ඇතිවන්නට පෙර චන්න හා උපුලීගේ මෙම යුගල නර්තනයන් දකින මිනිසුන් ඔවුන් ප්‍රේමයෙන් බැඳී ඇතැයි විශ්වාස කළහ. එම කතාව, තුළම පසුකලෙක ඔවුහු ප්‍රේමයෙන් බැඳුණ අතර කාලයේ ඇවෑමෙන් දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වූහ. ඉන්පසුව 1988දී පමණ චන්න උපුලී නර්තන පාසල ආරම්භ විය.

එකල චන්න විජේවර්ධන බෙරවාදන හා අනෙකුත් සංගීත ඛණ්ඩ සඳහා නිර්මාණය කළ නර්තනාංග අතිශය ජනප්‍රියත්වයට පත් විය. &ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, දිලිප් ගබඩාමුදලිගේ වගේ අය තමයි මේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ. ඉන්පසු බොහෝ කලකට පසු තමයි මම ගීත සඳහා නර්තන නිර්මාණය කරන්න ආරම්භ කළේ. ඒක ඇත්තටම වෙනම කලාවක්. මෙහි ආරම්භය සිදුකළේ සම්මාන උළෙලක් වෙනුවෙන්, මොකද නර්තන ප්‍රසංගයකදී ප්‍රේක්ෂකයා ඒ නර්තනය විඳීමට දැහැනට සමවැදිලා ඉන්නේ. එතකොට එහිදී ගැඹුරු නර්තන නිර්මාණයක් කළත් එය තේරුම්ගත හැකියි. නමුත් සම්මාන උළෙලෙකදී එය ලේසි නැහැ. මොකද එතැන ඉන්න පිරිස බලාපොරොත්තුවෙන් ඉන්නේ ඊළඟ සම්මානය කාටද? තමන්ට මොනවාද වෙන්නේ කියන කල්පනාවෙන් ගැඹුරු නර්තන නිර්මාණයක් අවබෝධ කරගැනීමට අපහසුයි. මේ නිසා තමයි විනාඩි දෙක තුනක ගීතයක් සඳහා නර්තන නිර්මාණ කිරීම මා ඇරඹුවේ. එය පැහැදිලි කළේ මේ ගීතය නාට්‍යය හරිම බාල බොළඳ වැඩක් කියලා හැඟීමක් තියෙනවානේ. හැබැයි එය එසේ නොවන බව තේරුම් ගැනීමටයි. ගීතයක රචකයාගේ, සංගීතඥයාගේ, ගායකයාගේ කියන තිදෙනාගේම දැක්ම අවබෝධ කරගෙන තමයි ගීතයක් සඳහා නර්තනයක් නිර්මාණය කළයුතු. එය එහෙම බාල වැඩක් නොවෙයි. එය ඉතා අවබෝධයෙන් කළයුතු කාර්යයක් එහෙම නොවන තැන්වල තමයි ගීතය වෙනම, නර්තනය වෙනම අපි දකින්නේ. ඇත්තටම මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්.

 

පණ්ඩිත් අමරදේවයන් ගයන බොහෝ ගීතවලට එවක චන්න විජේවර්ධන නර්තන නිර්මාණ කළ අයුරු අප කාහටත් මතකය. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ගීතය, අනෝතත්තවිල ගීතය ආදිය ඊට නිදසුන්ය.

මේ කාලයේදී මම වින්ධ්‍යා, චමී, හිරෝෂි, නිම්මි ශිල්පිනියන් යොදාගෙන කණ්ඩායමක් හැදුවා එහිදී අපිට බැංකොක් සංචාරයක් ආවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක. එතැන ගීත ගයන්න රෑකාන්ත ආවා. එහිදී තමයි අංගනාවෝ ගීතයට නර්තන නිර්මාණ කළේ. මේක ගොඩක් ජනප්‍රිය වුණා. ඉන්පසුත් ඊට පෙරත් මා අතින් ගීත බොහොමයක් සඳහා නර්තන නිර්මාණයක් සිදුවුණා.

ස්වෛරී, දස්කොන්, සියපත්සිළු, බුද්ධ චරිතය, සන්නාලියනේ ආදී මුද්‍රා නාට්‍ය ගණනාවක් මම නිර්මාණය කළා. මේවා සඳහා විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ගොඩක් චෝදනා ආවා. මොකද මම ශිල්පිනියකට ඇඳුමක් නිර්මාණය කරන්නේ හොඳ අවබෝධයකින්. එහි චලනයන් ගැන හොඳ අවබෝධයෙන්. චෝදනා එන්නෙ මම යමක් කළ නිසා කියන දේ මම අවබෝධ කරගෙන ඉන්නවා මොකද මේ වෙද්දි හැමෝම මා ආරම්භ කළ වෙනස ඔස්සේ ඉදිරියට යනවා.*
චන්න විජේවර්ධන පවසන්නේ සැබෑම අභිමානයෙනි.

ජාතික සේම ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට චන්න - උපුලී නර්තන පාසලට හැකිවිය. ජර්මනියේ Carnival of Cultures සඳහා රටවල් 99කින් පළමු තැන ගන්න අපට හැකිවුණා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස්හි, ඇමෙරිකාවේ කෙනඩි සෙන්ටර් ආදියේ මුලින්ම තර්තන ඉදිරිපත් කරන්නට අපිට හැකිවුණා. ඇත්තටම අපේ නැටුමට ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. අවබෝධයෙන් එය කළ යුතුයි. ලොවපුරා රටවල් අතිවිශාල ප්‍රමාණයකට යන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා.

ලෝක සංචාරයන් අතර සුවිශේෂ අවස්ථා රුසක් චන්න විජේවර්ධන හට හිමිවිය. ඇමෙරිකා හිටපු ජනපති ජිමී කාටර් දිනක් ටෙක්සාස් හි ඔවුන් එක් වූ ප්‍රසංගයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. නර්තනය අවසානයේ ඔහු ආරක්ෂකයින්ද කැටුව කෝ ඉන්දියානු කණ්ඩායම යනුවෙන් අසමින් වේදිකාව පසුපසට පැමිණියේය. පසුව මේ ඉන්දීය කණ්ඩායම නොව ශ්‍රී ලංකා කණ්ඩායම බව පැහැදිලි වූ විට ශ්‍රී ලාංකික නර්තනය පිළිබඳ කතා කරමින් ප්‍රශංසා කළේය. එසේම තවත් වතාවකදී චාල්ස් කුමරාද මෙලෙස වේදිකාවට පැමිණ ඔවුන්ව අගය කළේය. සුප්‍රසිද්ධ සායිබාබාද චන්නගේ නර්තනයක් දැක වේදිකාවට පැමිණ ඔහුට මල් මාලයක් පැළඳවීය. මේවා ඔහුගේ නර්තන ජීවිතයේ ලැබූ ඇගැයුම් ලෙස මතකයේ තැන්පත්ව ඇත.

රවිබන්ධු විද්‍යාපති හා චන්න විජේවර්ධනගේ නර්තන දිවියේ පනස් වසරයි මේ ගෙවෙන්නේ. ඒ වෙනුවෙන් ගෙනෙන &සඳකඩපහණ* මේ වසරේදී අපට දැකගත හැකිවනු ඇත. එමෙන්ම &ලැවීනියා*ගේ ජීවිත කතාවද ඉදිරියේදී වේදිකාවට කැඳවීමට චන්න විජේවර්ධන බලාපොරොත්තු වේ. අසේකා යනු චන්න - උපුලී දෙදෙනාගේ එකම දියණියයි. අද ඇයද නර්තනයේ බොහෝදුර ගොස් සිටී. තමා ලද ඉහළම සම්මානයද ඇය බවයි චන්න විජේවර්ධන පවසන්නේ. කලාසූරී, කලාභූෂණ, ආචාර්ය සම්මාන රුසක් පිදුම් ලැබුවද තමන්ට වඩාත් ප්‍රබල තම නම බවයි ඔහු පවසන්නේ. තම සිසුන්ගේ දක්ෂතා දකිමින් නර්තන දිවියේ පනස් වසර සමරන චන්න විජේවර්ධන නම් නර්තනයේ ජනප්‍රියතම ඇදුරාට අප නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ