අපි කොච්චර හරි වුණත් පිට අයගේ වැරැද්දෙන් අපිට වරදින්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ සත්ගුණවත් ස්වරයක් පෙන්නුම් කරන හිරාන් නමැති දේශපාලනඥයාගේ හිත ඇත්තේ නාහෙට අහන්නෙ නැති කාංචනා කෙරෙහි වග පෙනී යයි. මේ ‘කාංචනා’ නමැති කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නේ ශිරෝෂි රොමේෂිකා ය. හිරාන්ගේ බලවත් ඇරයුමින් කාංචනා දේශපාලනයට ඒවිද? ඒ ගැන ‘සර්කස්කාරයෝ’ නැරඹීමට ඔබට ඉඩ තබා, ශිරෝෂි කොහොමද සැබෑ ජීවිතයේදී දේශපාලනය ගැන හිතන්නෙ කියලා අපි අහලා බලමු? 

සැබෑ දේශපාලනය ගැන ශිරෝෂි හිතන්නෙ කොහොමද?

ඍජු දේශපාලනය ගැන මම ගොඩක්ම සංවේදී නැහැ. කලාව කියන්නෙත් එක්තරා විදියක දේශපාලනික කාරණයක් තමයි.

එතකොට ශිරෝෂි දේශපාලන විෂයයට අකැමැති ද?

ඒ විෂයයට සංවේදී නැති නිසා, කැමැත්ත සහ අකැමැත්ත ගැන කියන්න බැහැ.

ජීවිතේ මුලින්ම ඡන්දය දුන්නේ කාටද කියලා මතකද?

ඒක ඇත්තටම මට මතක නැති තරම්.

හරි අපි කතා කරමු, මේ නාට්‍යයේ සුරාජ් දේශපාලනඥයකු ලෙස රඟපාන විදිය ගැන?

මෙහි අනෙක් චරිත රඟපාන ශිල්පීන් ශිල්පිනියන් වගේම සුරාජ් අයියත් ඉතාම හොඳ සාධාරණයක් එයාගෙ චරිතයට කරනවා.

එතකොට කාංචනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

ඉතාම සතුටුදායකයි. කාංචනාට වෛර කරන සහ ආදරේ කරන දෙපිරිසක් ඉන්න බව පෙනෙනවා. ඒ චරිතයට මම සාධාරණයක් කරනවා කියලා මට දැනෙනවා.

මේ විදියට ‘චණ්ඩි’ කාන්තාවකගේ ස්වරූපයෙ චරිතයක් g රඟපෑමට ලැබීම ගැන කැමැති ද?

අනිවාර්යයෙන්ම ඔව්.

කාංචනා වීම නිසා මුහුණ දුන් සිදුවීම් තියෙනව ද?

මේ කාලයේ සිටින ප්‍රේක්ෂකයින් බුද්ධිමත්. කාංචනා සහ සැබෑ ජීවිතයේ ශිරෝෂි ඒ ප්‍රේක්ෂකයින් පටලවා ගෙන නැති බව පෙනෙනවා.

හිරාන් සහ කාංචනා ගැන ඔබ හිතන විදිය?

ඒ ගැන හරියට කියන්න නම් මම ප්‍රේක්ෂකයකු වෙන්න ඕනෑ. හැබැයි දැන්ම ඒ ගැන කියන්න වෙලාසන වැඩියි. බලා ඉමු ඉදිරියට මොකද වෙන්නේ කියලා?

ආයෙත් අපි සැබෑ දේශපාලනය ගැන කතා කරමු. අපේ රටේ දේශපාලනය කරන කාන්තාවන්ට ඇයි ප්‍රබල හඬක් නගන්න බැරි? කාන්තාවක ලෙස බාහිරව සිට ඔබ ඒ ගැන හිතන විදිය?

එහෙම බැහැ කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. හඬ නගන කාන්තාවෝ සුළු වශයෙන් හෝ මම දැකලා තියෙනවා. ලංකාවේ දේශපාලනය ඇතුළෙ එහෙම අය නැහැ කියන්නම බැහැ.

ශිරෝෂිගෙ දේශපාලන දැක්ම මොන වගේද?

ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න මා ළඟ දේශපාලන දැක්මක් තියෙනවද කියලා මම දන්නෙ නැහැ. මට හැඟෙන විදියට දේශපාලනය වෙතින් සියලුම මනුෂ්‍යයින්ට හිතවාදී ප්‍රතිචාර ලැබිය යුතුයි කියලයි විශ්වාස කරන්නෙ.

මෙතෙක් ලෝකයේ ඔබ දුටු හොඳම දේශපාලන කාන්තා චරිතය කවුද?

ලෝක දේශපාලනය ගැන මට කොහෙත්ම කියවීමක් දැනුමක් නැහැ. ඒ නිසා ඒකට උත්තරයක් මා ළඟ නැහැ.

ඔබ දුටු ලස්සනම දේශපාලන කාන්තාව?

මිනිස්සුන්ගෙ සිතිවිලිවලට පැවැත්මට බලපෑම් කරන සියලුම අය මට නම් හිතෙන්නෙ දේශපාලනිකයි. කලාවත් දේශපාලනිකයි කියලා මම කිව්වේ ඒ නිසයි. එහෙම බලද්දි බොහෝ ආගම්වල ශාස්තෘවරු පුදුමාකාර දේශපාලනයක් තවමත් මිනිස්සු එක්ක කරනවා. මම දැකපු ලස්සනම කාන්තාව නම් ‘දේවමෑණියන්’.

සැබෑ සමාජයේදී ඔබත් කැමැතිද ‘කාංචනා’ වගේ සැර චරිතයක් ලෙස ජීවත් වීමට?

කොහෙත්ම නැහැ. මාව දන්න අය දන්නවා, මම ගොඩාක්ම සාමකාමි අහංකාර නැති චරිතයක්. නමුත් ඒ නිහතමානීකම වැරැදියට තේරුම් අරන් සීමාව කඩන්න එනවා නම් කාංචනා වගේ ස්වරූපයක් මගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මට හිතෙන විදියට සෑම කාන්තාවක් ඇතුළෙම කාංචනා වගේ චරිතයක් බොහෝ දුරට ඇති.

කොහොමද ඉතින් ශිරෝෂිගෙ පෞද්ගලික ජීවිතේ විස්තර?

කලාව එක්ක තරමක් කාර්ය බහුලයි. ඒ හැරුණු විට ජීවිතේ විඳීම් සහ විඳවීම් සාමාන්‍යයි.

ජීවිතේ වරද්දා ගන්නෙ නැතුව ජීවත්වීමට නම් තරුණියන්ට ඔබ දෙන උපදෙස්?

ජීවිතේ වරද්දා ගන්නෙ නැතුව ඉන්න එක ලේසි නැහැ. එහෙම වැරදුණෙ නැති අය මේ ලෝකෙ නැතුව ඇති. අපි කොච්චර හරි වුණත් එළියෙ ඉන්න අයගෙ වැරැද්දෙන්, අපිට වරදින්න පුළුවන්. උපදෙසක් විදියට කියන්න තියෙන්නේ වැරදුණොත් ඒ වැරැද්ද ආයෙත් නොවෙන්න වග බලාගන්න. ඒ වැරදීමෙන් ඉගෙන ගන්න.

කාංචනාගේ චරිත රංගනය වෙනුවෙන් ඔබට සම්මානයක් ලැබේවි කියලා සමහරු විශ්වාස කරනවා?

මම එහෙම සම්මාන බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි. ඒක මට ලස්සන බලාපොරොත්තුවක් නොවෙයි. හැබැයි ලැබෙනව නම් ඒක මට සතුටක්. දැනට ලැබෙන ප්‍රතිචාර දෙස බලද්දි ඒකම මට දැනෙන්නෙ සම්මාන විදියට.

ජනප්‍රිය සම්මාන ගැන හිතන්නෙ කොහොමද?

දක්ෂතාවට විතරක් ප්‍රේක්ෂකයින් කැමැති වෙන්නෙ නැහැ. තවත් හේතු නිසා කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් ආදරේ වෙන්න පුළුවන්. ආදරේ කරන්න පුළුවන්. පෞද්ගලිකව ගත්තොත් මම මුල් තැන දෙන්නෙ දක්ෂතාවට. අනෙක් අතට ප්‍රේක්ෂකයින්ගෙ ආදරය දිනාගන්න දක්ෂතාවට වඩා දේ තිබීම එකතකට ඒකත් සුන්දර ආශීර්වාදයක්.

සඳුන් ගමගේ