අපි ඉක්මණින් විවාහ වුණු හේතුව නම් විදෙස්ගත වෙන්නට බලාපොරොත්තු වුණු නිසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායන අංශය තුළ තමන්ගේම අනන්‍යතාවයක් සනිටුහන් කරමින් රටක්ම වසඟයට පත් කළ ගායන තරුවක් සමගින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඔහු ජනිත් ඉද්දමල්ගොඩ. 
‘අකාමකා වීලා වේදනා මැකී යනවා 
සාමයෙන් හදේ හාවා පාඩුවේ ඇවිත් යනවා
 හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා 
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා 
ඉන්නේ හිනාවෙලා මුලු හදවතින් බදා 
එහෙමයි අපේ එකාලා.....
ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා 
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා 
ගැලපෙනා කෙනා එනවා යනකෙනා ලොවෙත් යනවා 
කල් ගියත් ඒදේ වෙනවා හොඳම දේ තමා වෙනවා 

ජිවිතේ හොඳම දේද සිද්ධ වෙන්නෙ ජනිත්? 

අනිවාර් යෙන්ම ඒ දේ මම හොඳින්ම විශ්වාස කරනවා. 

ගෙවුණු වසරේ අවසානයට කරපු මේ ගීතය පත්තුවෙලාම ගියා නේද? 

ඔව්. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම මේ ගීතය ගැන සඳහන් කළොත් පසුගිය වසරේ අවසාන මාස 6ම වගේ මම මහන්සි වුණේ මේ ගීතය වෙනුවෙන්. ඒ කියන්නේ අවුරුද්දෙන් භාගයක්ම මේ වෙනුවෙන් තමයි කැප කළේ. 
ඉතින් ඒ කැප කිරීමේ සාර්ථකත්වය ගීතය එළිදැක්වීමෙන් පසුව මම අත්දුටුවා. ඇත්තටම මම බලාපොරොත්තු නොවුණු විදියට ගීතයට ප්‍රතිචාර ලැබුණෙ. තවමත් එහි අඩුවක් නැහැ. 

ඉතින් මේ ගීතය ගැන වැඩි විස්තර කතා කළොත්? 

මේ ගීතයේ මෙලඩිය මීට වසර දෙකකට පමණ ඉහත දී තමයි කළේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ සංකල්පය මගේ ඔළුවට දැම්මේ පැතුම් දමින්ද සහෝදරයා. ඔහු මට මුලින්ම මලයාලම් ගීතයක් පෙන්නුවා.  

එහි වයිබ් එක අරන් තමයි මේ නිර්මාණය කළේ. අපි සති දෙකක් තුළ මෙලඩිය දැම්මත් ගීතයේ පද රචනය වෙනුවෙන් ටික කාලයක් ගත වුණා. මොකද අපිට අවශ්‍ය වුණු අදහස එනතුරුම ගීතය කරන්න හිතුවෙ නැහැ. ගී පද රචනය වෙනුවෙන් 8 දෙනෙකුට වගේ අවස්ථාව දුන්නා. අපේ මෙලඩියට හරි යන විදියට ගී පද රචනා කළේ යශෝධා අධිකාරී. ඇත්තටම ඇය රචනා කරපු ගීතය අපි හැමෝටම සෙට් වුණා. මෙලඩිය කරලා අවුරුදු 2ක් ඉවසගෙන හිටපු එකේ ප්‍රතිඵලවල සාර්ථකත්වය ඉතාම හොඳයි. මොකද මේ ගීතය එළිදක්වලා දැන් මාස 2ක් වගේ වෙනවා. නමුත් අද වනතුරුම කිසිම කෙනෙක් ගීතයේ වරදක් කියලා නැහැ. මේ ගීතය නරඹපු සංඛ්‍යාව මේ වෙද්දි මිලියන 4කට වඩා වැඩියි. මම හිතන්නෙ මගේ ජීවිතේ මේ ගීත නිර්මාණය හැරවුම් ලක්ෂයක්. Dream Star තරඟයෙන් ජයග්‍රහණය කළාට පසුව මගේ භාෂාවෙන් කියනවා නම් මගේ සංගීත ජීවිතේ මම ලබපු හොඳම ආතල් එක මේක තමයි. 

ටික්ටොක් මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි නේද? 

මුලින්ම මේ ගීතය ටික්ටොක් හරහා තමයි පත්තු වෙන්න ගත්තෙ. ගොඩක් දෙනෙක් ඒ වෙනුවෙන් වීඩියෝ හදලා මට එවලත් තිබුණා. ඇත්තටම මේ ගීතයට ලැබුණු ප්‍රතිචාර සහ ආදරය නිසාම අපි ඉදිරියේදී මේ ගීතය female  වර්ෂන් එකකින් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එය නුදුරේම දැක ගන්නට ලැබෙයි. 

ඉතින් අද ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ? 

මුලින්ම සඳහන් කළා වගේ අපේ මහන්සියේ ප්‍රතිඵල තමයි ප්‍රතිචාර ඔස්සේ දකින්න තියෙන්නේ.  ඇත්තටම මේ අපි ගොඩක් සැලසුම් කරලා කරපු වැඩක්. මියුසික් වීඩියෝව වෙනුවෙනුත් ගොඩක් මහන්සි වුණා. දර්ශන තල බලන්න දෙවරක් යන්න වුණා. මේ දවස් දෙකක රූගත කිරීමක්. මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය  කළේ පැතුම් දමින්ද. ඇත්තටම මේ ගීත නිර්මාණය සමග ලොකු කණ්ඩායමක් හිටියා. 
ඒ හැමදෙනාගෙම සහයෝගයත් එක්ක තමයි මේ වැඩ කටයුත්ත සාර්ථකව කර ගන්න ලැබුණෙ. 

හඳේ හාවා වෙනුවෙන් ගිය වසරේත් භාගයක්ම වෙන් කළානෙ. දැන් මේ අවුරුද්දෙ මොනවද සැලසුම්? 

ඒක මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඇත්තටම ඊළඟ මාසේ වගේ තවත් ගීතයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ගීතයේ audio එක මේ වෙද්දි කරලා ඉවරයි. Video එක තමයි ලබන මාසෙ කරන්න සූදානම් වෙන්නෙ. මේ ගීතය කොයි අතට යයිද කියලා හිතාගන්න බැහැ. ඉතින් මගේ ආදරණීයන්ට නුදුරේම දැකබලා ගන්න ලැබෙයි. 

සංගීත කටයුතු ඒ විදියට සිද්ධ වෙද්දි වැඩි සද්ද බද්ධයක් නැතිවම ජනිත් විවාහ වුණා නේද? 

ඔව් එහෙම දෙයක් වුණා. ඇත්තටම අපි ඉක්මණින් විවාහ වුණු හේතුව නම් විදෙස්ගත වෙන්නට බලාපොරොත්තු වුණු නිසා. නමුත් වීසාවල ප්‍රශ්නයක් ඇවිල්ලා මාස දෙකක කාලයක් ප්‍රමාදවීමකුත් වුණා ලංකාවෙන් එන්න. 

ඇයි ලංකාවෙන් එන්න හිතුණෙ? දැන් ලංකාවෙ ජීවත්වෙන්න බෑ වගේ හිතුණු නිසාද? 

ඇත්තටම දැන් ලංකාවෙ ඉන්න බැරි තත්ත්වයක් නම් තියෙනවා. ඒක පැහැදිලි කරන්න ඕනා කාරණයක් නෙමෙයි. නමුත් දිගටම විදෙස් ගතවෙලා ඉන්නවා කියන තැන අපි තවම නැහැ. බිරිඳගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන්නත් එක්ක තමයි අපි විදෙස් ගත වුණේ. දැන් කැනඩාවේ තමයි ඉන්නේ. ඉතින් ඉදිරියේදී ලංකාවේ තත්ත්වය එක්ක තමයි අපේ ගමන් මඟත් තීරණය වෙන්නෙ. 

ඉතින් ජනිත්ගේ හිතගත් ඒ සහකාරිය ගැනත් කියමු? 

ඇය තිළිණි ද සිල්වා. මගේ  යාළුවෙක් මාර්ගයෙන් තමයි තිළිණිව මුණගැහෙන්නෙ. අපි දැන හඳුනගෙන කතාබහ කරලා අවුරුදු එකහමාරකින් වගේ විවාහ වුණේ. ඉතින් ඇය මේ වෙද්දි මගේ ගමනට ලොකු ශක්තියක් වෙලා ළඟින්ම ඉන්නවා. 

අද ශක්තියක් වුණු බිරිඳ වගේම එදා ශක්තියක් වෙලා ළඟින් හිටපු අම්මා ගැනත් සඳහන් කරමු? 

අම්මයි, තාත්තයි දෙන්නා මගේ ගම කුරුණෑගල නිකවැරටියේ තමයි පදිංචි වෙලා ඉන්නෙ. ඉතින් ඒ දෙන්නත් ඉතා හොඳින් සතුටින් ඉන්නවා. තාත්තා  තමයි මගේ ගීත නිර්මාණවලට වැඩිම  ප්‍රතිචාර ලබා දෙන්නෙ. ඒ දේවල් ඉතින් මටත් ලොකු සතුටක්. එදා වගේම අදත් දෙන්නම හැම දේටම ළඟින් ඉන්නවා. 

ජනිත් ලංකාවේ ඉද්දි ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියනෙ? ඒවාට මොකද වුණේ.

ව්‍යාපාර කටයුතු නවත්තලා තමයි ආවේ. නුවරඑළියේ මගේ හොටෙල් එකත් දුන්නා.  ඇත්තටම ලංකාවේ ව්‍යාපාරයක් කරගෙන යන්න තරම් සුදුසු වාතාවරණයක් නැහැ. අපි මහා පරිමාණ ව්‍යාපාරිකයො නොවන නිසා ඒ ව්‍යාපාර කරගෙන ගියේ අසීරුවෙන්. ඉදිරියේදී ලංකාව හොඳ තත්ත්වයකට ආවොත් කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. අපේ රට හොඳ තත්ත්වයකට පත්වේවා කියලා ලැබුවා වූ අලුත් අවුරුද්දෙ ප්‍රාර්ථනාවකුත්  එකතු කරනවා. 

ධනු විජේරත්න